කඳුලින් ලියැවෙන නූතන ” විසාලා මහනුවර”

නන්දජීව සූරියබණ්ඩාර

එදා බුදුන් සුවපත් කළ විසාලා මහනුවර අද

නූතන ඉන්දියාවේ ”බිහාර් ප‍්‍රාන්තයේ’’ ”තිරුට්’’ දිස්ත‍්‍රික්කයේ ”වෛසාලි’’ නම් පෞරාණික නගරයක් තිබේ. එය දැන් පුරාවිද්‍යාත්මක සංරක්‍ෂිත නගරයකි. මෙයට වසර දහස් ගණනකට එහා ගෞතම බුදුදුජාණන්ගේ කාලයේ වෛසාලි නගරය ”සාගත’’, ”වසංගත’’ සහ ”අමනුෂ්‍ය’’ යන තුන් බියෙන් ඇලලී යන්නට වූ බවත් එවිට එකී රාජ්‍ය පාලනය කළ ලිච් ඡවී රජ දරුවන්ගේ ඇරයුමෙන් පන්සියයක් භික්‍ෂූන් වහන්සේ සමග වෛසාලි වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ ”රතන සූත‍්‍රය’’ දේශනා කිරීමෙන් එකී තුන් බිය සංසිඳවූ බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. මෙම වෛසාලි පුරය සිංහල වහරට අනුව හැඳින්වෙන්නේ ”විසාලා මහනුවර’’ යනුවෙනි. ඉතිහාසය නැවත නැවත පුනරුච්චාරණය වන බවට වන කියමන සැබෑ කරමින් වෛසාලිද ඇතුළත් මුළුමහත් ඉන්දියාවම අද විසාලා මහනුවරක් වී හමාරය. මේ කඳුළින් ලියැවෙන ඒ විසාලා මහනුවර පිළිබඳ කථාවයි.

visala2පාලනයෙන් ගිලිහුණ කොවිඞ් තෙවන රැල්ල

පළමු කොවිඞ් රැල්ලෙන් ඉන්දියාවට වැඩි හානියක් නොවුණ අතර එකී කාලසීමාවේදී කොවිඞ් අර්බුදයෙන් පීඩාවට පත් ලොව බොහෝ රටවලට වෛද්‍යාධාර සහ වෛද්‍ය සැපයුම් ලබාදීමටද ඉන්දියාව කටයුතු කරන ලද්දේ ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට වශයෙන් සැලකිය යුතු ශක්තිමත් පදනමක ඔවුන් සිටි බැවිනි. ඉන් අනතුරුව එලැඹෙන දෙවන කොවිඞ් රැල්ලේදී ලොව දෙවන වැඩිම ආසාදිතයන් වාර්තාවන රට ලෙස වාර්තාගත වූවද ඒ හා සමග ”බි‍්‍රතාන්‍ය ඇස්ට‍්‍රා සෙනිකා’’ එන්නත මහා පරිමාණයෙන් නිපදවමින් සහ සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් පවත්වාගෙන යමින් වෛරසය සම්බන්ධයෙන් පාලනයකින් යුතුව කටයුතු කිරීමට ඉන්දියාවට හැකියාව ලැබුණි. ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය වන ”සේරම්’’ ආයතනය ඉන්දියාවේ පිහිටා තිබීම මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාවට ආඩම්බරයක් දෙන කාරණයක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත් තුන්වන කොවිඞ් රැල්ල සමග තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්වන අතර පාලනයෙන් ගිලිහී ගිය කොවිඞ් රකුසා මුළු මහත් ඉන්දියාවම ගිල ගනිමින් ලෝකය හමුවේ අන්ත අසරණ අඩියකට පත් කර ඇති බව දැන් රහසක් නොවේ. ඉන්දියාවේ දැන් පැතිර යන කොවිඞ් රැල්ලට හේතුව ”බී.1.617’’ ලෙස හැඳින්වෙන විකෘති වෛරස් ප‍්‍රභේදය බව සොයාගෙන ඇත. එංගලන්ත ප‍්‍රභේදයට සමාන එය පසුගිය ඔක්තෝබර් මාසයේදී පළමුවරට ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. ඉන්දියාවේ කොවිඞ් රැල්ල ක්‍ෂණිකව ඉහළ යෑමට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ මාර්තු 11 වන දින සිට ආරම්භ වූ ”කුම්භමේලා’’ උත්සවය සඳහා මිලියන ගණනක් මිනිසුන් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයන් නොතකමින් සහභාගිවීම බවට චෝදනා නැගේ. ”උත්තරාකන්ඞ්’’ ප‍්‍රදේශයේ ”ගංගා’’, ”යමුනා’’ නදී එකට එකතුවන ස්ථානයේ දිය නෑම සඳහා දහස් ගණනින් හින්දු ජාතිකයන්
එක්රැස්වන අතර එය සතියක් පුරා පැවැත්වේ.

ලොව වැඩිම දෛනික කොවිඞ් ආසාදිතයන් ඉන්දියාවෙනි

ඉන්දියාවේ කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව සෑම දින තුනකටම වරක් මිලියනය ඉක්මවා යන අතර එය මේ වන විට එක් රටක් සඳහා වාර්තාගත ලොව ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව වේ. පසුගිය බ‍්‍රහස්පතින්දා දින ඉන්දියාවේ නව ආසාදිතයන් 379257 ක් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 200000 ඉක්මවා ගියේය. සැබෑ සංඛ්‍යාලේඛන මීට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බව විශේෂඥයන් අනුමාන කරයි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව දෛනික ආසාදිතයන් 300000 ඉක්මවා යන අතර දෛනික මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා යයි. ආසාදිතයන්ගේ අසාමාන්‍ය වැඩිවීමත් සමග රට පුරා සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී ඇති අතර ප‍්‍රතිකාර සඳහා රෝහල් ගතවීමට නොහැකිව ජනතාව මහමග මිය යන තත්ත්වයක් උද්ගත වී තිබේ. ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිරිපිට රෝගීන් රැගෙන ආ ගිලන් රථවල දිගු පෝලිම් දකින්නට ඇති අතර රෝගියෙකු රෝහල්ගත කිරීම සඳහා පැය ගණනාවක් පෝලිම්වල කාලය ගත කිරීමට එරට ජනතාවට සිදුව තිබේ. මෙවැනි අවස්ථාවලදී ප‍්‍රකෝප වූ රෝගීන්ගේ ඥාතීන් සහ හිතවතුන් විසින් රෝහල් කාර්ය මණ්ඩලය සමග ගැටුම් ඇතිකරගන්නා අවස්ථාවන් සුලබය. පසුගිය බ‍්‍රහස්පතින්දා වන විට ඉන්දියාවේ සමස්ත කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 18.5 ඉක්මවා ගිය අතර එය සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාවෙන් 30% ක ප‍්‍රමාණයකි. පසුගිය මාර්තු මාසය වන විට දිනකට මියයන ආසාදිතයන් සංඛ්‍යාව තිබුණේ 1000 පමණ වන සීමාවේ වන නමුත් අපේ‍්‍රල් අවසාන වන විට එය දෙගුණයකටත් වඩා ඉහළ වැඩිවීමක් පෙන්නුම් කරමින් දිනක මරණ 2500 ආසන්න අගයක් දක්වා ඉහළ නැග ඇත්තේ ඉන්දීය බලධාරීන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා බවට විවේචන එල්ල වෙමින් තිබේ. ඉන්දියාවේ ජනාකීර්ණම නගර වන නවදිල්ලි සහ මුම්බායි ප‍්‍රදේශ දැඩි බලපෑමට ලක්ව තිබේ. බිලියන 1.3 කට අධික ජනතාවක් වාසය කරන රට දැන් ගෝලීය කොවිඞ් වසංගතයේ කේන්ද්‍රස්ථානයයි.

කළුකඩයට ගිය ඔක්සිජන් සිලින්ඩරය

මේ වන විට නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ බෙහෝ ප‍්‍රදේශවල රෝගීන්ගේ සමීපතමයන්ට ඇති ප‍්‍රධාන ගැටලූව තම රෝගාතුර වූ ඥාතියා සඳහා රෝහල් ඇඳක් සොයා ගැනීම සහ ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමයි. රෝහල් ඇඳක් ලබාගැනීම සඳහා බැගෑපත්වන මිනිසුන්ගේ දසුන් සුලබ වන අතර ඔක්සිජන් සඳහා ඇති අධික ඉල්ලූම හේතුවෙන් ඒ සඳහා කළුකඩ මිලක් නියම වී තිබේ. සාමාන්‍යයෙන් ඉන්දීය රුපියල් 6000 ක් පමණ මිල වන ඔක්සිජන් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 50000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එවැනි මුදලක් වියදම් කිරීමෙන් පවා ඔක්සිජන් සිලින්ඩරයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යටතේ රෝහල්ගත කරන තෙක් තම පෞද්ගලික රථවාහනවල රෝගීන් තබා ගනිමින් ඔක්සිජන් ලබාදෙන අසරණ වූ මිනිසුන්ගේ විලාපයන්ගෙන් ඉන්දියාවේ වීදි පිරී යමින් තිබේ. ඉන්දීය සෞඛ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු ප‍්‍රකාශ කර තිබුණේ ඉන්දියාව මේ වන විටත් එහි ඔක්සිජන් සැපයුමෙන් 90% ක ධාරිතාවක් ප‍්‍රයෝජනයට ගනිමින් සිටින බවයි. මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා දිල්ලි මහාධිකරණයේදී පැවැති නඩු විභාගයකට අදාළව මහාධිකරණ විනිසුරුවරුන් වන ”විපින් සංගි’’ සහ ”රේඛා පල්ලි’’ යන විනිසුරුවරුන් ඉන්දීය මධ්‍යම රජයෙන් ප‍්‍රශ්න කර සිටියේ මහාරාෂ්ට වැනි ප‍්‍රාන්තවලට ඔවුන් ඉල්ලූම්කළ ප‍්‍රමාණයට වඩා වැඩි ඔක්සිජන් සැපයුමක් ලබා දුන්නේ මන්ද යන්නයි. ”ඔබට ඔක්සිජන් සැපයුම කළමනාකරණය කළ නොහැකි නම් එය අපට කියන්න අප එය කරන්නම්’’ යැයි ඔවුන් පවසා තිබේ. දිල්ලියේ ඔක්සිජන් ඉල්ලූමට අඩුවෙන් සැපයීම පිළිබඳව මෙම ප‍්‍රශ්නය මතුකර තිබේ.

ඉන්දියාව වෙත දිගු කෙරෙන සහයෝගීතාවයේ හස්තය

මෙම අසීරු තත්ත්වය යටතේ එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍ය, රුසියාව, යුරෝපා සංගමය, ඇතුළු ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවකින් ඉන්දියාව වෙත මානුෂීය ආධාර ගලා එමින් ඇති අතර එක්සත් ජනපදය ක්‍ෂණික ප‍්‍රතිදේශ පරීක්‍ෂණ කට්ටල මිලියනයක් සමග ඩොලර් මිලියන 100 වෛද්‍යාධාර ඉන්දියාව වෙත සපයා තිබේ. අර්බුදයේ බරපතළකම හමුවේ චීනය, පාකිස්තානය වැනි ඉන්දියාවේ සාම්ප‍්‍රදායික සතුරන්ද ඉන්දියාව වෙත මානුෂීය ආධාර ලබාදීමට ඉදිරිපත්ව තිබීම කැපී පෙනේ. ජර්මනිය විසින් ඔක්සිජන් උත්පාදක ජංගම ඒකක 23ක් ඉන්දියාව වෙත යවා ඇති අතර මේවා හමුදා කණ්ඩායම් මගින් ක‍්‍රියා කරවීමට අපේක්‍ෂිතය. සෞදි අරාබිය ද්‍රව ඔක්සිජන් මෙටි‍්‍රක් ටොන් 80 ක් ඉන්දීය සමාගමක් වන ”අදානි සමූහය’’ හරහා ඉන්දියාව වෙත යවා ඇති අතර එය මේ වන විටත් ”මුන්ද්‍රා වරාය’’ වෙත ළඟාවී ඇත. සිංගප්පූරුව විසින් හදිසි අවශ්‍යතා සඳහා ප‍්‍රදානය කරන ලද ඔක්සිජන් ටැංකි කිහිපයක් ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් පසුගිය 24 වැනිදා ඉන්දියාව කරා රැගෙන එන ලදි. මහා බි‍්‍රතාන්‍ය වෙන්ටලේටර්ස් 140 ක් සහ ඔක්සිජන් උත්පාදක 495 ක් ඉන්දියාව වෙත යවා ඇති අතර තවත් ආධාර ලබාදීමට නියමිතය.

ඉන්දීය විදේශ අමාත්‍ය ”එස්. ජයශංකර්’’ ඉන්දියාවේ විදේශ දූත මණ්ඩල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා ඇත්තේ ”ඔක්සිජන් ආධාර ලබාගැනීම සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙමින් මැදිහත් වන ලෙසයි. මෙම අසීරු අවස්ථාවේදී ඕනෑම ප‍්‍රමාණයක ඔක්සිජන් ටැංකියක්, සිලින්ඩරයක් හෝ බෑගයක් කුඩා නොවන බවත් ඉන්දියාවේ දෑතට ලබාගත හැකි සියල්ල ලබා ගැනීම මේ අවස්ථාවේදී ඉහළම අවශ්‍යතාව බවත්’’ ඔහු පවසා තිබේ.

කොවිඞ් මධ්‍යයේ පැවැත්වෙන ඡන්ද සටන

අගමැති නරේන්ද්‍ර මෝඩිගේ පක්‍ෂයට බහුතරය අහිමි බටහිර බෙංගාලයේ  ඡන්ද විසීමේ අවසන් අදියර පසුගිය 29 වන දින පැවැත්වුණ අතර මැයි 02 වන දින  ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමට නියමිතය. පසුගිය 25 වන දින පැවැති 7 වන අදියරේ  ඡන්ද විමසීම සඳහා 75%  ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතයක් දකින්නට ලැබුන බව ඉන්දියාවේ මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කර තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය යටතේ පැවැති මැතිවරණය සඳහා ජනතාවගේ ඉහළ උනන්දුව විශේෂ කාරණයක් වන අතරම රට පුරා පැතිර යන කනගාටුදායක තත්ත්වය මධ්‍යයේ දේශපාලන බල පොරය නොනවත්වා ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් මෝඩි ඇතුළු පාලකයන්ට ජනතා අප‍්‍රසාදය එල්ල වෙමින් තිබේ. බටහිර බෙංගාලයේ හිටපු මහ ඇමැති මම්තා බැනර්ජි ගේ ”සමස්ත ඉන්දියා ත‍්‍රිමූර්ති කොංග‍්‍රසය’’ සහ නරේන්ද්‍ර මෝඩිගේ ”භාරතීය ජනතා පක්‍ෂය’’ ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක් තරග කරන මෙම මැතිවරණයේදී ඇත්ත වශයෙන්ම තරගය පවතින්නේ නරේන්ද්‍ර මෝඩි සහ මම්තා බැනර්ජි අතර බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි. කෝටියකට අධික හින්දු ජනගහනයක් වාසය කරන බටහිර බෙංගාලයේ හිටපු මහ ඇමැති මම්තා බැනර්ජි තරමටම මෝඩි ජනප‍්‍රිය බව සැලකෙන අතර තරගය දෙපැත්තටම දෝලනය විය හැකි බව පෙනෙන්නට තිබේ.

අර්බුදය මධ්‍යයේ රට හැර යන ධනපතියෝ

මේ අතර කනගාටුදායක සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එනම් කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ඉතා දුෂ්කර තත්ත්වයකට වැටී ඇති එරට හැරදා යෑමට එරට ධනපතියන් පිරිසක් කටයුතු කරමින් සිටීමයි. පෞද්ගලික ජෙට් යානා සහ කුලියට ගත් ගුවන් යානා භාවිතා කරමින් රට හැර යන මෙම පිරිස් ඩුබායි ඇතුළු රටවල සුඛෝපභෝගී හෝටල් වෙන්කර ගනිමින් පවුල් පිටින් ආරක්‍ෂා වීමට කටයුතු කරනු ලබන්නේ සිය ආත්මාර්ථකාමී හැසිරීම ලොවට ප‍්‍රදර්ශනය කරමිනි. මේ අතර සිය පෞද්ගලික මෝටර් රථය විකුණා දමා ඉන් ලැබුන මුදලින් ඔක්සිජන් සිලින්ඩර මිලදී ගෙන මහමග රෝගීව දුක් විඳින ජනතාවට පරිත්‍යාග කරන ”ඔක්සිජන් මිනිසා’’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ”ගෞරව් රායි’’ නම් මානුෂික පුද්ගලයෙකු පිළිබඳවද ප‍්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහු පිළිබඳව බොහෝ දෙනා ප‍්‍රසංශනාත්මකව කථා කරයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවේ සංචාරය නොකරන මෙන් ඇමෙරිකානු පුරවැසියන්ට දැනුම්දී ඇති අතර ඉන්දියාවේ සිටින ඇමෙරිකානු පුරවැසියන්ගෙන් ”හැකි ඉක්මනින් ඉන්දියාවෙන් පිටවෙන්න’’ යයි ඉල්ලීමක් කර ඇත.

ආදාහනාගාරවලත් පෝලිම්

හිින්දු භක්තිකයන් තම මියගිය ඥාතීන්ගේ දේහයන් ආදාහනය කරයි. බෙහෝ ආදාහනාගාරවල ආදාහන කටයුතු සිදුකරන්නේ දර යොදාගෙන ස්වභාවික ආකාරයෙනි. දිනකට තුන්දහස් පන්සියයකට ආසන්න පිරිසක් කොවිඞ් හේතුවෙන් මරණයට පත්වීමත් සමග බොහෝ ආදාහනාගාරවල අසාමාන්‍ය තදබදයක් නිර්මාණය වී තිබේ. තම සමීප ඥාතියාගේ දේහය ආදාහනය කිරීම සඳහා පැය ගණනක් ආදාහනාගාර ඉදිරිපිට පෝලම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති අතර ආදාහනාගාරවල එක ළඟ දැවෙන ගිනි ගොඩවල් රාශියත්, ඒවායේ දුමාරයත්, ඥතීන්ගේ විලාපයත් විසින් මවා පෙන්වනු ලබන්නේ අතීත ”විසාලා මහනුවර’’ දර්ශනයම මිස අන් යමක් නොවේ. හද කම්පා කරවන මෙම දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය මගින් ලොව පුරා විකාශනය කළ අතර එහි දුක්්ඛිත ස්වභාවය විසින් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ නෙත්වලට කඳුළක් එක්කළ බව නම් සහතිකය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top