ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අ‍‍භයසුන්දර

මගේ භාර්යාව ආයුර්වේද වෛද්‍යවරියක්. ඇයගෙන් මගේ කලා දිවියට නිරතුරුවම ලැබෙන්නේ ශක්තියක්. ම‍ගේ දෛනික කටයුතු වලදීත් ඇයගෙන් ලැබෙන්නේ ඉහළම සහයෝගයක්.

ඒවගේම දැනට වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන දයේෂා දුවටත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක කළමනාකරණ විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔසඳ පුතණුවන්ටත් ඇය සැබවින්ම යහපත් මවක්

මම දවසේ වැඩ ආරම්භ කරන්නේ, උදෑසන තුනට අවදි වෙමින්. දවසේ වැඩ අවසන් කරන්නේ, රාත්‍රී එකොළහට පමණ නින්දට යමින්

කලාසූරී මහාචාර්ය ප්‍රණීත් අ‍‍භයසුන්දර වූ කලී රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභි ගත්කතුවරයෙක්. උඩරට සංගීතය සහ බෞද්ධ සමාජ පාලනය හා අපරාධ විද්‍යාව කෘති ද්විත්වයේ කර්තෘ වූ එතුමන්, අර්ථවත් ගීත නිබන්ධකයෙක්. සමාජීය විද්‍යා විෂයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගනු ලැබූ ඔහු අනතුරුව ශාස්ත්‍රපති උපාධියත්, ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධියත් හිමි කරගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි. ඔහු දර්ශනසූරී උපාධිය හිමිකර ගෙන තිබෙන්නේ ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන්. මහාචාර්ය ප්‍රණීත් අ‍‍භයසුන්දර මුලින්ම වෘත්තියකට ප්‍රවේශ වූයේ වර්ෂ 1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ සහාය කථිකාචාර්යවරයකු ලෙසින්. වර්ෂ 1991 වර්ෂයේ සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ එතුමන් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටිනවා.
‘මාගේ පියාණන් විමල් අභයසුන්දර ප්‍රවීණ සාහිත්‍යධර­‍ෙයක්, අර්ථ පූර්ණ ගද්‍ය, පද්‍ය මෙන්ම ගීත නිබන්ධකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ගුවන් විදුලි සංස්ථාවේ නිබන්ධ සම්පාදකවරයෙක්. ඒවාගේම මහාචාර්ය ඩී. ඊ හෙට්ටිආරච්චි විසින් ප්‍රධාන කර්තෘ ධූරය හෙබවූ නූතන විශ්වකෝෂයේ ආරම්භයට පදනම් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විශ්ව කෝෂයේ සහය සංස්කාරකවරයෙක්.

සිංහල, පාලි සහ සංස්කෘතික භාෂා ත්‍රිත්වයෙන්ම ගද්‍ය හා පද්‍ය දහස් ගණනක් ලියූ මාගේ පියාණන් ග්‍රැමෆෝන් තැටි වලට ගීත ලිව්වේ වර්ෂ 1952 දී. මගේ මෑණියන් කල්‍යාණී අබේසිංහ ගද්‍ය, පද්‍ය, ගීත ගායනයට මෙන්ම වාදන හැකියාවෙනුත් නිපුණ ගෘහණියක්. ඒවාගේම එතුමිය ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩ සංගීත විද්‍යාපීඨයෙන් ගායනය හා වාදනය හැදෑරූ උගත් විද්‍යාර්ථිනියක්. හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්, ඩී. ආර් පීරිස්, පී. වී නන්දසිරි, එස් ද එස් ජයසිංහ වැනි ප්‍රවීණයන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායමක් සමඟයි මගේ මෑණියන් ඉන්දියාවට ගියේ.

මම උපන්නේ වර්ෂ 1959 අගෝස්තු 08 වෙනිදා කොළඹ කාසල් රෝහලේ. පවුලේ වැඩිමලා මමයි. නාවල කොස්වත්ත ග්‍රාමයේ තමයි අපේ මුල්ම පදිංචි ය. මට මල්ලිලා දෙදෙනෙක් ඉන්නවා. මට බාල මල්ලි අර්ජුන අභයසුන්දර, ඊළඟ මල්ලි පුලස්ති අ‍භයසුන්දර තව නංගි කෙනෙකුත් ඉන්නවා. ඇය සුභානි අ‍භයසුන්දරයි.
මගේ පියාණන්ගේ ලේඛනකරණයත්, මෑණියන්ගේ ගායන හා වාදන විලාසයත් මගේ දිවිය අර්ථවත් වීමට ප්‍රබල ප්‍රධාන හේතුවක් වුණා. ඒවගේමයි දැනුම් තේරුම් තිබෙන අවදියේ පටන්ම මගේ නිවසට පැමිණියේ කොළඹ යුගයේ කවි කිවිඳියන්. විමල සුරේන්ද්‍ර වතුරේගම මහතා, යූ. ඒ ඇස් පෙරේරා මහතා ඒ අපි කවුරුත් දන්න සිරි අයියා, එතුමා නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙක්. සේසිරි වි‍ජේසේකර, පී. මළල්ගොඩ, වින්සන් හෑගොඩ සහ එ් මැතිනිය, කරුණාරත්න අබේසේකර, සිළුමිණේ හිටපු කර්තෘවරයෙක් වූ විමලසිරි පෙරේරා, විමලේන්ද්‍ර වතුරේගම වැනි වියතුන් තමයි මගේ පියාණන් හමුවීමට නිවසට පැමිණියේ. මේ අය බොහෝ විට සංවාදයේ යෙදුණේ ශාස්ත්‍රීය කාරණා ඒවගේම සාහිත්‍ය, සංස්කෘතිය සමාජීය සහ ඉතිහාසය පිළිබඳව තොරතුරුත් සාකච්ඡා කළා මතකයි. ඒවාගේම හිටුවන කවි ගායනා කිරීමත් ඔවුන්ගේ පුරුද්දක් වී තිබුණා. විශේෂයෙන් ඒ විද්වතුන් රසවත් කවි ගායනා කරන විට, අපේ කන් වලට දැනුණේ පුදුම රසයක්. එවැනි අත්දැකීම මගේ රසඥතාව වැඩෙන්න බොහෝ සේ ඉවහල් වුණා.

විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතඥයෙක් වගේම දක්ෂ ඡායාරූප ශීල්පියෙක්. මා ඉපදුණුදා පටන් එතුමන් අපේ නිවසේ පැවත්වුණු විශේෂ අවස්ථා ඡායාරූපගත කිරීමට පැමිණෙනවා. එතුමා අපට විශේෂ වන තවත් හේතුවක් තමයි මාගේ පියාණන් ලියූ ගීත බොහෝමයක සංගීතය නිර්මාණය කර තිබෙන්නේ එතුමන්.

එවක ගුවන් විදුලියේ සේවකයන්ට ෆිලිප්ස් රේඩියෝ එකක් දීලා තිබුණා. මගේ පියාණන්ට ලැබුණු රේඩියෝ එකෙන් අපි සියලු දෙනාම සංගීත වැඩසටහන් ශ්‍රවණය කරන්න පුරුදු වෙලා සිටියා.
ඒවගේම අපි ගුවන් විදුලි නාට්‍ය ශ්‍රවණය කිරීමටත් පුරුදු වෙලා හිටියා. මගේ පියාණන් නිසා මගේ නිවස පත්තර සහ සඟරාවලට තිබුණේ ප්‍රමුඛ ස්ථානයක්. මිහිර, රසවාහිනී, ශ්‍රී සඟරාව, සිළුමිණ මෙන්ම විවිධ සඟරා සහ වාර ප්‍රකාශන විශේෂයෙන් ළමා පොත් නිතරම අපිට පරිහරණය කරන්න අවස්ථාව හිමි වුණා. එවක සෑම සාහිත්‍ය මාසයකදීම පොත් ප්‍රදර්ශන නරඹන්න අපිව රැගෙන යාම මගේ පියතුමන්ගේ සිරිතක්. සාහිත්‍ය මාසයේ දී ඇතැම් පොත් සාප්පු මඟින් අපිට නොමිලයේත් පොත්පත් ලබා දෙනවා. පොත් සල්පිල්වල අඩු මිලට තිබෙන පොත් මගේ පියතුමන් අපට අරන් දෙනවා තාමත් මතකයි.

අපේ මිදුලත් හරිම අලංකාරයි; විවිධ මල් වර්ග වලින් පිරිලා පලතුරු ගසුත් තිබුණා. පලා වර්ග, එළවළු වර්ගත් එමටයි. ඒවාට සාත්තු කරන විට දැනුණේ පුදුම හැඟීමක්.

අපේ අල්ලපු ගෙදර හිටියේ දෙමළ පවුලක්. තරමක් නුදුරින් බර්ගර් පවුලකුත්, මුස්ලිම් පවුලකුත් ජීවත් වුණා. ඒ සැවොමත් සමඟ අප සමගියි. ඒ ඒ උත්සව වලදී ඔවුන්ගේ දූ දරුවන් සමඟ අප හැමෝම සතුටින් කාලය ගත කරනවා; අපි අතර කිසිම භේදයක් තිබුණේ නෑ. තිබුණේ සමගියත් සතුටත් පමණයි.

සතියකට වරක් මගේ ආත්තම්මාත් පැමිණෙනවා. එතුමිය අපට ලස්සන වගේම හරවත් කතන්දරත් කියා දෙනවා. අද ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එංගලන්තය වගේ බටහිර රටවල්වල සීයල ආච්චිලා ළමයින්ව යහමඟ යැවීමේ අරමුණින් කතන්දර කියා දෙන්න පුරුදු වෙලා. කතන්දර කීමත් කලාවක්. අතීතයේ දී ඊසොප් එසේ හරවත් කතන්දර නිර්මාණය කළා. ඇතැම් බටහිර රටවල රූපවාහිනී මාධ්‍ය තුළින් ආත්තම්මා කෙනෙක් දූ දරුවන්ට සූර, වීර, ධීර, ප්‍රඥාවන්ත අය ගැන කතන්දර කියලා දෙනවා. මෙම කතන්දර දූ දරුවන්ගේ මනසට ඉතාම වැදගත්. වර්තමානයේ අපේ දූ දරුවෝ තාක්ෂණය භාවිතයෙන් ඉදිරියට ගිහින් තිබුණත්, බොහෝ දූ දරුවන් මානව ධර්මතා අතින් පිරිහිලා. ගුණධර්ම පිළිබඳව මනා අවබෝධයක් නැති තරම්. වර්තමානයේ උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථියකුගෙන් සාහිත්‍ය පොත් කිහිපයක් පිළිබඳව විමසුවොත් බොහෝ අය එවැනි පොත් කියවා නොමැති බවයි පෙනී යන්නේ.
මගේ අත්තම්මා සිතුවම්කරණයටත් දක්ෂයි. හොඳින් රේන්ද ගොතන්නත් පුළුවන්. කඩදාසි වලින් ලස්සන මල් නිර්මාණය කරන එතුමිය අපවත් නිර්මාණකරණයට උනන්දු කළා. අත්තම්මාගේ එවැනි ක්‍රියාකාරකම් නිසා වෙසක් කූඩු හදන්න, සල් උයන් හදන්න, සැරසිලි කරන්න අපට කුඩා කාලයේදීම අවස්ථා හිමි වුණා. ඒවගේමයි අපේ ආත්තම්මා ශ්‍රද්ධාවතියක්. අපිව පන්සලට රැගෙන ගියත් එතුමියයි. මල් පහන් පූජා කිරීමට ව‍ගේම පන්සිල්, බණකතා, පිරිත් ශ්‍රවණයට හුරු කෙරුවෙත් එතුමියයි.

මෙවැනි අත්දැකීම් ලබන දූ දරුවන් තුළ ගොඩ නැඟෙන්නේ යහපත් සිතුවිලි. වීනීත සංවර දූ දරුවන් වන ඔවුන් තුළ ආධ්‍යාත්මික ගුණයත් නිරායාසයෙන්ම මතු වෙනවා. තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකර තේරුම්ගෙන, අවබෝධයෙක් ජීවත් වීමට අවශ්‍ය පරිසරයත් නිර්මාණය කරනවා. වර්තමාන සමාජයෙන් බොහෝ විට ඈත් වෙලා තියෙන්නෙත් මෙවැනි සිතුවිලියි. ඒ නිසා වර්තමානයේ ඇතැම් විශ්වවිද්‍යාලවල මෙවැනි සිතුවිලි මෘදු කුසලතා ලෙස නම් කර, වෙනම විෂයයක් ලෙස ඉගැන්වීමටත් කටයුතු යොදා තිබෙනවා.

මගේ පාසල් අවදියත් ඉතාම සුන්දරයි. මගේ මුල්ම පාසල කොළඹ කේරි විද්‍යාලයයි. දෙවැනි ශ්‍රේණියට පැමිණෙන විටම මට කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුළු වෙන්න අවස්ථාව ලැබුණා. තෙවැනි වසරේ සිට උසස් පෙළ දක්වා මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ. මට ආනන්ද විද්‍යාලයට යන්න උපකාර කළේ ප්‍රවීණ ක්‍රීඩා විචාරකයෙක්. ඒ පාලිත පෙරේරා මහත්මයායි. එතුමන්ගේ සහෝදරියක් තමයි අනුලා රනේපුර ගුරුමාතාව. මගේ අධ්‍යාපන කටයුතු වලට එතුමියගෙන් ලැබුණු සහයෝගය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. එවක සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙනගත්තු මම ගණිත විෂයට නම් තරමක් දුර්වලයි. ඒ නිසා මම කලා විෂයෙන් උසස් පෙළට ඉදිරිපත් වීමට තීරණය කළා. එහි විෂයන් ලෙස තෝරා ගැනුනේ බෞද්ධ සංස්කෘතිය, සිංහල භාෂාව, ආර්ථික විද්‍යාව සහ ආණ්ඩුක්‍රමය යන විෂයයන්.
මම පාසල් කාලයේ දී කව්‍ය රචනා වගේම කෙටිකතාත් නිර්මාණය කළා. මම ආනන්ද විද්‍යාලයේදී බිත්ති පුවත්පතට බොහෝ නිර්මාණ ඉදිරිපත් කළා. ‍ඒවගේම මෙම කාලපරිච්ඡේදයේ දී මම සිතුවම්කරණය වගේම වේදිකා රංගණයේත්, නිරත වී තිබෙනවා. මගේ මුල්ම නිර්මාණයක් පළ වූයේ ආතර් යූ. අමරසේන මහතා විසින් සංස්කරණය කළ සත්සර කෘතියේ. ඒ “දේවදාර ගස් අතරින්” කාව්‍ය නිර්මාණයයි. මගේ මුල්ම කෙටිකතාව “සීනු වසන්තය” එම කෙටිකතාව පළ වූයේ නවයුගය සඟරාවේ.

මම පොතපතට ලැදියාවක් දැක්වූවා වගේම ක්‍රීඩාවටත් දක්ෂයි. මගේ ප්‍රියතම ක්‍රීඩාව වොලිබෝල්. ඒවාගේම තමයි මම එවක පාසලේ සෞඛ්‍යදාන ව්‍යාපාරයටත් නායකත්වය ලබා දුන්නා. සෞන්දර්යයත් ක්‍රීඩාවත් සමබරව පවත්වා ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතාම හොඳයි.

මගේ කථන හැකියාව වර්ධනය වූයේ දහම් පාසල් අධ්‍යාපනයට සම්බන්ධ වීමත් සමඟයි. මම මුලින්ම දහම් අධ්‍යාපනය ලැබුවේ රාජගිරියේ බී. ජේ එෆ් දහම් පාසලෙන්. එහිදී දේවහන්දියේ පඤාසේකර හිමියන් මගේ දහම් අධ්‍යාපනයට බොහෝ උපකර කළා. පසුව බොරැල්ල තිලකරත්නාරාමය දහම් පාසැලෙනුත් මම දහම් අධ්‍යාපනය ලැබුවා. මෙහිදී පූජ්‍ය රත්ගම සුමනනන්ද නායක හාමුදුරුවන්ගෙන් ලැබුණේ විශාල මඟ පෙන්වීමක් උන්වහන්සේ දහම් අධ්‍යාපනයට වැඩි වැඩියෙන් යොමු වෙන්න පතපොතට හුරු වෙන්න පන්සලේ උත්සවවලදී කතා පවත්වන්න විවාද තරගවලට සහභාගී වන්න මා බොහෝ සේ නැඹුරු කළා. කථික තරග වලට සහභාගි වීමෙන් කථන හැකියාව වර්ධනය කරගැනීම වෙනුවෙන් පූජ්‍ය දිවියාගහ යසස්සි හිමියන්ගෙන් ලැබුණු මඟ පෙන්වීමත් මෙහිදී සිහිපත් කළ යුතුයි.
මාව මුලින්ම තේරුණේ කොළඹ විශ්වවිද්‍යාලයටයි. එදා විද්‍යාර්ථියෙක් ලෙස මම වඩාත් ඇල්මක් දැක්වූයේ සමාජ මානව විද්‍යා විෂය හැදෑරීමටයි. ඒ නිසා මම එම විෂය හැදෑරීමේ අරමුණින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඒ විශ්වවිද්‍යාලයේ දී මට මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය ඒ. වී සුරවීර, මහාචාර්ය විමල් බලගල්ලේ, මහචාර්ය විමල විජේසූරිය, මහචාර්ය රත්න විජේතුංග යන වියතුන්ගේ ගුරුහරුකම් මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නියැළීමට හැකියාව ලැබුණා.

විශ්වවිද්‍යාල කාලපර­ිච්ඡේදය තුළදී ප්‍රතිභා පදනම මඟින් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව සූරීන්, ජී. බී සේනානායකයන්, මහගම සේකරයන් වැනි කලාකරුවන් වෙනුවෙන් විශේෂිත සැමරුම් කෘති සම්පාදනය කිරීමට මූලික වී කටයුතු කළා. එදා එම ශාස්ත්‍රීය කෘති සංස්කරණ මණ්ඩලය නියෝජනය කළේ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස සූරීන්, ධර්මසිරි ගමගේ මහතා, සෝමවීර සේනානායක මහතා, පර්සි ජයමාන්න මහතා, ඒ. ඩී රංජිත් කුමාර මහතා මෙන්ම ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහතා වැනි වියතුන්.

එවක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ප්‍රතිභා පදනමට මෙන්ම විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රීය කටයුතුවලට එතුමාගෙන් ලැබුණේ අගනා සේවයක්. විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදයේ සභාපති ලෙස කටයුතු කරන මා වෙත විශ්වවිද්‍යාලයීය සංස්කෘතික මධ්‍යස්ථානයේ භාරකාරිත්වයත් පැවරී කිබෙනවා. ඒවාගේම අංගම්පොර සටන් කලාව බාර ආචාර්යවරයා ලෙස කටයතු කරන්නේත් මමයි. දැනට මෙම විෂය විශ්ව විද්‍යාල මට්ටමින් පාඨමාලාවක් ලෙස ක්‍රියාවට නංවා ඇත්‍තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ පමණයි.
එවක සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සාහිත්‍ය උපදේශ සභාවේ සාමාජිකයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කිරීමටත් මට අවස්ථාව හිමි වුණා. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ සභාපති ලෙසත්, ඩී. ආර් විජේවර්ධන අනුස්මරණ අත්පිටපත් සමීක්ෂණ මණ්ලයේ සභාපති ලෙසත්, සුමති සම්මාන උළෙලේ සභාපති ලෙසත්, OCIC සම්මාන උළෙලේ සාමාජිකයකු ලෙසත් මා කටයුතු කර තිබෙනවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ස්වේච්ඡාවෙන් සේවය කිරීම මඟින් බෞද්ධ ආගමික සංස්කෘතියට ඉමහත් සේවයක් කිරීමටත් හැකියාව ලැබීම මා ලද භාග්‍යක්.

ඒවාගේම මුද්‍රිත මාධ්‍යයට දහස් ගණනක ලිපි සම්පාදනය කළ මා, විද්යුත් මාධ්‍ය තුළත් බොහෝ වැඩ සටහන්වලට සහභාගී වී තිබෙනවා. ගුවන් විදුලි මාධ්‍යයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහය ඒ අතරින් විශේෂයි.

මා ඉතාම ඉහළ මට්ටමින් කාලය කළමනාකාර ගන්නා කෙනෙක්. එසේ නොවී විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතු, පර්යේෂණ කටයුතුවල නියැළීමට අපහසුයි. වෙනත් බාහිර සමාජ සද් කාර්යයන්ටත් කාලය වෙන් කිරීම මගේ සිරිතක්. ඒ නිසා මම දවසේ වැඩ ආරම්භ කරන්නේ, උදෑසන තුනට අවදි වෙමින් දවසේ වැඩ අවසන් කරන්නේ, රාත්‍රී එකොළහට පමණ නින්දට යමින්.

පාසල් යන කාලයේදීම තමයි ගීත නිර්මාණයටත් ‍යොමු වුණේ, ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන තමයි එදා මගේ කාව්‍ය නිර්මාණ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාටත් විශාරද මල්කාන්ති නන්දසිරි මහත්මිය අතටත් පත් කළේ. ඒ කාව්‍ය නිර්මාණ බොහෝමයක් ගීත නිර්මාණ බවට පත් කළේ ඔවුන්.

මගේ මුල්ම ගීත නිර්මාණය “පෙම් පුදසුන මත” ගීතයයි’ “මම නං ආසයි … අහන්න නයනා … ඉස්සර වාගේ ඔබේ මුවින් …” මගේ දෙවන ගීතයයි. මේ ගීතය නිර්මාණය වීමට නිමිත්තක් වූයේ, මගේ ආදරණිය භාර්යාව. ඇය නමින් නයනා කටුවාවලයි. මගේ භාර්යාව ආයුර්වේද වෛද්‍යවරියක්. ඇයගෙන් මගේ කලා දිවියට නිරතුරුවම ලැබෙන්නේ ශක්තියක්. ම‍ගේ දෛනික කටයුතු වලදීත් ඇයගෙන් ලැබෙන්නේ ඉහළම සහයෝගයක්.
ඒවගේම දැනට වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන දයේෂා දුවටත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක කළමනාකරණ විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔසඳ පුතණුවන්ටත් ඇය සැබවින්ම යහපත් මවක්.

මහචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගායනා කරන “මම නං ආසයි … අහන්න නයනා”, “මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම් දෝ”, “දේදුන්නෙන් පාට පාටින් ආදරේ බැන්ඳු”, විශාරද මල්කාන්ති නන්දසිරි ගායනා කරන “සඳ කැළුම් ගලන පාර කොනේ… සීත දුරුත්තේ”, විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන “තාර පාර දිග… පාට පාට කඩ… සල්පිල් හෙවණැල්ලේ” වැනි ගිත නිතර ඇසුණත්” මා විසින් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, එච්. ආර් ජෝතිපාල, රෝහණ සිරිවර්ධන මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, නන්දා මාලනී, නිර්මලා රණතුංග, දමයන්ති ජයසූරිය, නිරෝෂා විරාජිණී වැනි ප්‍රවීණ ගායක ගායක ගායිකාවන්ටත් ගීත ලියා තිබෙනවා.

අනුෂාද් වෙදගේ- සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top