වස­න්තයේ නික්ම ගිය වසන්ත

ජීවිතයේ අවිනිශ්චිත බව මනාව හැඳින සිටි නමුදු ඔහු ජීවිතය දුටුවේ සුන්දරවය;කලාත්මකවය. ඒ නිසාම ඔහු ජීවිතය හැර ගිය පුවත බොහෝ දෙනකුට තවමත් සිහිනයක් බඳුය. මහරගම අපේක්ෂා රෝහල කී පමණින් බොහෝ දෙනකුට සිහිවන විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක දැන් අප අතර නැත. හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඉකුත් 11 වැනිදා ජීවිත ගමනට සමුදුන්නේය.

දිවි ගමන නිමා කරන විට මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක, කලක් එම රෝහලේම වෛද්‍යවරයකු හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළ අතර එම රෝහලේ ඔහුගේ සම්පූර්ණ රාජකාරී කාලය වසර 20ක් පමණ වේ.

හුදෙක් පිළිකා රෝගීන් වෙනුවෙන්ම කැපවූ ඉසිවරයකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් වියත් සමාජ ක්‍රියාකාරිකයෙක්, කලාකාමී රසවතෙක් ලෙස බොහෝ දෙනාගේ සිත් දිනා සිටි විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායකගේ දිවි ගමන වසර 58කට සීමා වුවද ඔහු ඉතිරි කර ගිය මතක සටහන් බොහෝ සොඳුරුය;සංවේදීය.

වෛද්‍ය වසන්ත දිසා­නා­යක බිරිය ගීතාංජලී හිමාලි, හර්ෂණී, රුවන්ති යන දිය­ණි­යන් තිදෙ­නා සහ එකම පුතු චාම­ර­ සමඟින්.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක පොදු ජනතාව අතර ජනප්‍රිය වූයේ ජනප්‍රිය රූපවාහීනී වැඩසටහනකට සහභාගි වෙමින් තමා හිමිකර ගත් ත්‍යාග මුදල මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කිරීම නිසාය.

ඇසූ පමණින් බොහෝදෙනකු තුළ මරණ භීතිකාව ඇති කරවන පිළිකා රෝහල ‘අපේක්ෂා රෝහල’නම යොදන්නට මුල් වූවන් අතර පෙරමුණේ වෛද්‍ය වසන්ත දිසානායක ද සිටියේය. මාස කිහිපයකට පෙර රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ මතක අවදි කළේ මෙලෙසිනි

“පිළිකාවක් හැදුණොත් ආයෙ සුව වෙන්නෙ නෑ කියලා සමාජය තුළ වැරදි සංකල්පයක් තියෙන නිසා පිළිකා රෝහලේ නම වෙනස් කළ යුතුයි කියලා හිතමින් ඉන්නකොට අපේ රෝහල හදන්න ඉරාන සමාගමකින් රුපියල් කෝටි 100ක නොමිලේ ආධාරයක් ලැබුණා. එයාලගේ ‘රසාවී’ කියන නමේ තේරුම පර්සියානු බසින් උපේක්ෂාව. එතකොට අපිට කල්පනා වුණා උපේක්ෂාව, අපේක්ෂාව බව. ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් දෙන්නා වූ රෝහල කියන අර්ථයෙන් අපි ‘අපේක්ෂා’ කියන නම ගත්තා.”

පිළිකා රෝගීන් අත්විඳින ශාරීරික සහ මානසික වේදනා සියැසින් දැකීමෙන් තමා වඩා සංවේදී මිනිසකු වූ බවද ඔහු එම වැඩසටහනේදී පැවසුවේ ඉතා හැඟීම්බරවය.

“පුංචි කාලේ ඉඳලම මම හීන දැක්කේ වෛද්‍යවරයෙක් වෙන්න. පිළිකා රෝහලට එනකොට මට හිතුණේ මමත් ඉතින් ලේසි පහසු කෙනෙක් නොවෙයි කියල. ලංකාවෙ තියෙන ප්‍රධානම රෝහලක ප්‍රධානියා කියන මමත්වය මටත් නොතිබුණා නොවෙයි.

ඒත් මේකෙ ඉන්නකොට මම දැක්ක දවසකට රෝගීන් 15ක් විතර මේ භූමියේදී තමන්ගෙ ජීවිතය අත් හරිනවා… වැඩියෙන්ම රෝගීන් මැරෙන්නෙ රෑට … පහුවදාට ආවම මගේ හිත කීරි ගැහෙනවා… දෙයියනේ පිළිකාව මිනිස්සුන්ගෙ ජීවිත මේ තරම් බාල ලංසුවකට දාන හැටි… රෝගීන් දුක් විඳිනවා, අසරණ වෙනවා…. කම්පා වෙනවා… ආර්ථිකය පිරිහෙනවා… උන්හිටි තැන් නැති වෙනවා… ටික කාලයක් යනකොට මට මගේ අහංකාරකම, මමත්වය ටිකක් හරි තිබුණ නම් ඒක නැති කරගන්න මේ මිනිස්සු උදවු වුණා. මට දරාගන්නම බැරි කුඩා දරුවන්ට පිළිකා හැදෙන එක. දෙවියන් මට වරමක් දෙනවා නම් ඔබ හැමදාම ජීවත් වෙනවද ඒ දරුවො ජීවත් කරන්නද කියලා. මම කියනවා ඒ දරුවන් ජීවත් කරන්න කියලා.”

ඒ මොහොතේ ඔහුගේ දෙනෙත්වල දිලිහුණු කඳුළු කැට පසක් කරන්නේ ඔහු සහකම්පනයෙන් පිරි උදාර හදවතක් තිබූ මිනිසකු බවය. රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස ඔහු රෝගීන්ගේ සුවසෙත වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට සැදී පැහැදී සිටියේය. එහෙත් ඇතැම් විට ඔහුට ලැබුණේ දොස්පරොස්ය. නින්දා අපහාසය. නමුදු ඒ සියල්ල මැදහත් සිතින් විඳගත හැකි සිතක් ඔහු සතු විය.

“ මිනිහෙකුට අවුරුදු 20කට වැඩි කාලයක් බොරු කරන්න බෑ නේද? කවුරුත් කියන දේවල්වලින් නෙවෙයි මම කරන දේවල්වලින් මාව විශ්ලේෂණය කරන්න”

ළමා දින සැම­රුම් උත්ස­ව­ය­කදී වෛද්‍ය දිසා­නා­යක
දරු­ව­කුට තිළි­ණ­යක් පිරි­නැමූ අයුරු

ඔහු තම හදවත විවර කළේ එතරම් අව්‍යාජවය. අභියෝග, බාධක අතර තම වෘත්තීය වගකීම් කිසිවිටෙකත් පැහැර නොහැරි වෛද්‍ය වසන්ත දිසානායක නිතර පැවසුවේ සිය කාර්යබහුල ජීවිතයේ ශක්තිය ආදරණීය බිරිය බවය. විටෙක ඔහු ආදරය දුටුවේ තරුණයකු තරම් නැවුම් සිතකිනි.

“අපි කාටත් ආදරය අවශ්‍යයි. අපි ආදරයෙන් බැඳෙන්නෙ ඇයි? ඒකට හේතුවක් දෙන්න බෑ… ඒක භෞතික කාරණාවලින් තොර දෙයක්. සැබෑ ආදරවන්තයන්ට ඉරහඳ පායන හැම දවසක්ම වැලන්ටයින් එකක්. අපි දවසේ වැඩපළ නිමා කරලා යන වෙලාවට දවසත් අහවරයි. අන්ධකාරයේ නිවෙසට ආලෝකය දෙන්නෙ විදුලි පහන නොවෙයි. බිරියගෙ ආදරය…. මම ඒ ආදරය විඳිනවා…”

වසර 35ක් තිස්සේ දිවි ගමනට දිරි දෙන ප්‍රියාදරිය, ගීතාංජලීගේ ආදරය සිහිකරමින් එක්තරා ගී රසවින්දන වැඩසටහනකදී වෛද්‍ය වසන්ත දිසානායක පැවසුවේ දෑසින් පවා සිනාසෙමිනි. හිමාලි, හර්ෂණී සහ රුවන්ති යන දියණියන් තිදෙනාත් එකම පුතු චාමරටත් ඔහු දැඩි සෙනෙහසින් බැඳී උන්නේය.

දියණිය හර්ෂණීගේ කුඩා පුතු නිසා මුල්වරට සීයා කෙනෙකු වීමේ සතුට ඔහුගේ සිත පුරා දෝරගලමින් තිබිණි. වෛද්‍යවරයකු සතු කුලුණුබර හදවත නිසාම ඔහුට තම දරුවන්ට පමණක් නොව සෙසු දරුවන්ටද ආදරය කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කරන්නට ඇත.

කලාවට, ගීතයට බොහෝ ඇලුම් කළ රසකාමියකු වූ වෛද්‍ය වසන්ත දිසානායක ඇතැම් විට සමාජයේ අසන දකින ප්‍රශ්න ගැනද ඔහුගේ හඬ අවදි කළේය. කුඩා දරුවන් දැඩි පීඩාවකට පත්කරන 5 වසර ශිෂ්‍යත්වය විභාගය ගැන විටෙක ඔහු ඉතා ඍජුව අදහස් පළ කළේය.

“ ශිෂ්‍යත්වය කියන්නේ කුඩා දරුවන්ගේ දැනුම මොට කරන විභාගයක්. මගේ අම්මා ගුරුවරියක් වුණත් ශිෂ්‍යත්වය ‍පේල් වුණාට මට බැන්නෙ නැහැ. අධෛර්ය වෙන්න එපා තව විභාග තියෙනවා කියලයි අම්මා එදා කිව්වේ. පුංචි කාලේ ඉඳන් මගේ හිතේ තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. 9 වසරේ ඉඳන් මම අධිෂ්ඨානයක් ඇතිව පිළිවෙළකට වැඩ කරන්න පුරුදු වුණා. මම ඒ සාමාර්ථ තුනක් ඇතිව උසස්පෙළ විභාගය සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. අද මට පශ්චාත් උපාධි 3ක් තියෙනවා. මාව මෙතැන්ට ගෙනාවේ අධිෂ්ඨානය, කැපවීම සහ ආත්ම විශ්වාසයයි. ”

එක්තරා රූපවාහිනී වැඩසටහනකදී තවත් සැබෑ කරගැනීමට ඇති සිහින මොනවාදැයි ඔහුගෙන් විමසද්දී මේ ඉසිවරයා දුන්නේ අපූරු පිළිතුරකි.

“අපේ රෝහලේ සුළු කාර්ය මණ්ඩලයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් හදන එක මගේ ප්‍රධානම හීනයක්. ඒ වෙනුවෙන් මේ වෙද්දිත් මම අවශ්‍ය දේවල් කරමින් තිබෙනවා. දවසක ඒ සුළු කාර්ය මණ්ඩලයේ කෙනෙක්ගේ දරුවෙක් මම අද මේ ඉන්න පුටුවට එනවා නම් එදාට මම ජීවතුන් අතර නැතිවුණත් ඒක මට සතුටක් වෙයි.”

එදා ඔහු එසේ කීවේ බොහෝ හැඟීම්බරවය.

“කිසිවක් සදාකාලික නැහැ. ජීවිතෙත් එහෙමයි. නමුත් ජීවත්වෙන ටික කාලය වුණත් අනුන්ට කරදරයක් නොවී සේවයක් වෙන විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි නියම ජීවත් වීම.”

එදාම ඔහු එසේ ද කීවේය. නමුත් ඒ සමුගැන්ම මෙතරම් ඉක්මනින් එළැඹේ යැයි ඔහු ද නොසිතන්නට ඇත.

මරණයේ වේදනාව දැනෙන්නේ මියගිය අයට නොව ජීවත් වන්නන්ට බව ජනප්‍රිය කියමනකි. විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායකයන් ඉකුත් 13 වැනිදා අප අතරින් සමුගෙන ගියේ ඒ සනාතන සත්‍යය යළිත් වරක් පසක් කරමිනි.

ඔහුගේ වියෝවෙන් තැවෙන සුවහසක් හදවත් අතර ඔහුගේ පවුලේ ආදරණීයන්, හිත මිතුරන් පමණක් නොව ඔහුගේ ඉසිවර හදවතේ රුවගුණ හොඳින් හැඳිනූ රෝගීන් ද වේ. මුහුණු පොත පුරා වෛද්‍ය වසන්ත දිසානායක නමින් ලියැවී ඇති දුක්බර සටහන් අතර ඔහුගේ සහෘදයකු ලියා ඇති සටහනකින් උපුටා ගත්තකින් ම මේ සටහන නිමා කරමි.

“සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ”

ඉසිවරයාණෙනී, ඔබට සුව නින්දක්!

සුරේකා නිල්මිණි ඉලංකෝන්
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top