සිනමා කෘතියක් කියන්නෙ සංස්කෘතික ගමනක්-ආනන්ද කුමාර උන්නැහේ

ඔහු ජීවිතය කියා දෙන හා ජීවිතය විඳින මිනිසුන් අතර ජීවත් වන සැබෑ මිනිසෙකි. සැබෑ ලෝකයේ චරිත ඔහුගේ කර ගනිමින් සෑම චරිතයකටම සාධාරණයක් ඉටු කරන්නට හේ පසුබට නොවේ. මේ චරිතය වෙන කවුරුවත් නොවෙයි, කවුරුත් ළෙන්ගතුව හඳුනන ඔහු රංගනවේදී ආනන්ද කුමාර උන්නැහේය.

ආනන්ද කලාවට එන්න අදහස් කරන්නේ වෙනස්ම විදියකටය. එය ඔහුගේම වචනවලින් කියනවා නම් මෙසේයි.

” මම මුලින්ම චිත්‍රපටි බලන්න ගිහින් තමයි මට චිත්‍රපටවලට ආසාවක් ඇති වුණේ. මේකෙ තියෙන අපූරුත්වය මම රස වින්දා. මිනිස්සුන්ගේ තියෙන පුදුම සහගත ආකර්ෂණයට මම පුදුම වුණා. සිනමාව කියන්නේ ස්වභාවික ජීවිත වලට වැඩිය එහා ගිය දෙයක් කියලා මට වැටහුණා. ඒ වගේම මේක වෙනමම ජීවිතයක් කියලත් මට හිතුණා. මම මුලින්ම බලපු චිත්‍රපටය තමයි හාරලක්ෂය. හාරලක්ෂෙ චිත්‍රපටය බලන්න අපි එදා වෑතර චිත්‍රා චිත්‍රපට ශාලාවට ගියා. ඒ දවස්වල මාව එක් කරගෙන ගියේ මගේ තාත්තා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් වුණත් කලාවට හරිම ළෙන්ගතු චරිතයක්. සිනමා රස වින්දනය කියන එක ඒ කාලේ සෑම පවුලකටම වගේ තිබුණු දෙයක්. ඒක එදා මම දැක්කේ හරියට පවුලක් එකතු වෙලා සංස්කෘතික ගමනක් යනවා වගේයි. හැබැයි ඉතින්, ඒ කාලේ වගේ නෙවෙයි, දැන්. ඒක පවුල් සංස්කෘතියෙන් ඈත් වෙලා ගිහින්. මේ සිනමා සංස්කෘතිය අද වෙනස් වෙලා. ඒ, අද මිනිසුන්ගේ කාර්යය බහුලත්වය හා ආර්ථික ප්‍රශ්න නිසා. එදා පවුලක සාමය, සමගිය ආරක්ෂා වුණේ මේ සිනමාව නිසා කියලයි මට අද හිතෙන්නේ.”
ආනන්ද සිනමාවට තිබූ දැඩි කැමැත්ත හා ඇල්ම නිසාම සිනමාවට සමිබන්ධ විවිධ පාඨමාලා හදාරන්නට පටන් ගත්තේය. සිනමා අධ්‍යක්ෂකවරුන්ට මාසකට ලිපි දහයක්, පහළවක් යැව්වද එක ලිපියකටවත් පිළිතුරු පතක් ආවේ නැත. නමුත් කුමාර උනැහේගේ එකම සිහිනය නළුවෙක් වීමය. කොහොමහරි නළුවෙක් වෙනවා කියන හැගීම ඔහුගේ සිතේ හැම වෙලේම තිබුණි. ඔහු සිනමාවට තිබෙන ආශාව නිසාම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකුව සිටින කල පන්ති කට්කර චිත්‍රපට බැලීමද පුරුද්දක් කොට ගත්තේය. එතැනින් නොනැවතුණු ඔහු විවිධ කලාකරුවන්ගේ ආභාසය ගෙන සිනමාව ගැන යම් අධ්‍යාපනයක් ලැබීය. ඔහුට හමු වූ සුදත් සේනාරත්නගේ ” මවකගේ ගීතය” කුමාර උන්නැහේගෙ පළමු ටෙලි නිර්මාණයයි. ආනන්ද කුමාර වේදිකා හා ටෙලි නිර්මාණ 50කට ආසන්න ප්‍රමාණයකට දායක වී ඇත. වේදිකාවෙි දක්ෂ රංගන ශිල්පියෙක් වන ආනන්ද කුමාර, “දාස මල්ලිගේ බංගලාවෙි” නාට්‍යයට 2005 රාජ්‍ය නාට්‍ය උළෙලෙදී හොඳම සහය නළුවා වී්මේ භාග්‍ය උදා විය. අවස්ථා ගණනාවක දීම විවිධ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලවල සහ රයිගම් ටෙලි සම්මාන උළෙලවලදී ජූරිය සම්මානය, හොඳම සහාය නළුවා සහ වසරේ දක්ෂතම නළුවා වීමේ වරම හිමි විය. ආනන්ද අබේනායකගේ හමුවීමත් සමඟම ඔහු⁣ගේ නිර්මාණ ලෝකයේ හැරවුම් ලක්ෂ්‍යය සිදුවිය. ආනන්ද අබේනායකගේ නිර්මාණවලට දායක වී සිටින අතරතුර තවත් සුවිශේෂි පුද්ගලයෙක් ඔහුට හමු විය. ඒ සුනිල් කොස්තා නම් ටෙලි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයායි. මේ අධ්‍යක්ෂක දෙපළගේ නිර්මාණවලට දායක වීමෙන් පසු ප්‍රේක්ෂක ජනාදරයට ඔහුට තව තවත් ලැබිණි.

සුනිල් කොස්තාගේ සුදු ඇඳගෙන කළු ඇවිදින් හා can you hear me නිර්මාණවලත්, මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන සමීර හසුන්ගේ චලෝ ටෙලි නාට්‍යයේ විදුහල්පතිගේ චරිතයෙන් ද ඔහුගේ රංගන කුසලතා මැනවින් විදහා පාන්නේය. මේ වනවිට ආනන්දට නාට්‍ය රැසකට ආරාධනා ලැබුණද, ටෙලි නාට්‍යය කලාවේ තිබෙන නොයෙක් අසීරුතා නිසා තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වීමට ඔහුට සිදු වී ඇත. පිටපත් රචකයන්ගේ අඩුපාඩුවත් සාහිත්‍ය කලාවට ඇති උනන්දුව අඩු වීමත් හොඳ නිර්මාණ බිහි නොවීමට හේතුවක් බව ඔහුගේ අදහසකි.

ආනන්ද යළිත් සිය හඬ අවදි කරයි.
” රසඥතාව, රසවින්දනය, ප්‍රකාශනය යන අංශ ගැන හැඟීමක් පසුගිය කාලේ නිර්මාණවේදීන් ළඟ තිබුණා. නමුත්, අද වන විට ඒවා සියල්ලම ගිලිහී ගිහින්. ඒ නිසා හොඳ නිර්මාණ බිහි වීම අඩුයි. අපි හැමවෙලේම කතා කරන්නේ ජීවිත වියමන ගැනයි. මානව විද්‍යාව ගැන සිත් තුළ කිසියම් කම්පනයක් ඇති කරලා, මහා විද්‍යාත්මක කාර්යභාරයක් ලෙස රචනය කරලා එය ගිලිහී යනවා නම්, එතැන නිර්මාණයක් බිහිවන්නේ නැහැ.”

පසුගිය දිනෙක ප්‍රවීණ රංගනවේදී සනත් ගුණතිලක, සුනිල් කොස්තාගේ අලුත්ම ටෙලි සිතුවම වන “පනම් බැඳි ගස්” මුහුරත් උළෙල දා අපූරු කතාවක් කළේය.

” අප අතර සිටි නළුවන්ගෙන් ගාමිණී, විජය, ටෝනි, ජෝ සහ දැනට සිටින සිරිල් වික්‍රමගේ හැරුණාම දැනට ඉන්න හොඳම නළුවන් අතර ආනන්දට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ඒ ඔහු තමාගේ කාර්යය මැනවින් ඉෂ්ට සිද්ධ කරන පරිපූර්ණ චරිතාංග නළුවෙක් නිසයි. මෙවැනි සුවිශේෂි දක්ෂතාවන් පෙන්වන ආනන්ද කුමාර උන්නැහේ අපේ රටට වාසනාවක්.”

මෙවර 2020, 2021 රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට ආනන්ද කුමාර උන්නැහේ නිර්දේශ වීම ඔහු ලද භාග්‍යයකි. ඔහුගේ රංගන කුසලතාවන් ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකිය.

සටහන…නිශ්ශංක විජේරත්න
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top