මගේ අරමුණ ගුරුවරියක් වීම

කවුද මේ තරුමිණි

දෙරණ නාළිකාවේ විකාශනය වන ‘ධරණි’ ටෙලියේ අලූත් මුහුණක් දකින්න ලැබෙනවා. ඇය නමින් හේෂාණි ලියදිපිට. අවුරුදු කුමරියක් කොහොමද පුංචි තිරයට එන්න අවස්ථාව ලැබුණෙ. අපි හේෂාණිගෙන් ‘තරුමිණි’ ගැන අහල බලමු.

* තරුමිණි ගැන පේ‍්‍රක්‍ෂකයන් මොකද කියන්නෙ?

මේ මගේ පළමුවැනි නිර්මාණය. තරුමිණිට ලැබෙන ප‍්‍රතිචාර හොඳටම හොඳයි. මඟතොට දකින කෙනෙක් වුණත් ඔයා තරුමිණි නේද කියල අහනව. ඒ වගේම අපිට ලැබිල තියෙන ගුවන් කාලයේ අංක එකට අපි ඇවිත් ඉන්නවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනව.

* හේෂාණිට තරුමිණි වෙන්න ආරාධනාව ලැබුණෙ කොහොමද?

2020 අවුරුද්දෙදි මම දෙරණ අවුරුදු කුමරිය වැඩසටහනට සම්බන්ධ වෙනව. ඒ තරඟයෙන් පළමු වැනි ස්ථානය ලබාගන්න මට හැකියාව ලැබෙනව. එතනින් පස්සෙ දෙරණ නාළිකාවෙන්ම ඔවුන්ගේ අලූත් ටෙලි නාට්‍ය සඳහා නළු නිළියන් තෝරා ගැනීම සඳහා තිර පරීක්‍ෂණයක් පවත්වනව. එතනදි ලක්සිරි වික‍්‍රමගේ මහත්මයා ඇතුළු කණ්ඩායම මාව ප‍්‍රධාන චරිතයට තෝරා ගන්නව.

* අවුරුදු කුමරිය ප‍්‍රධාන චරිතයට තෝරාගන්නවා. රඟපෑම පිළිබඳව අත්දැකීමක් නැති ඔබ කොහොමද ඒකට මුහුණ දුන්නෙ?

තිර පරීක්‍ෂණයෙන් තෝරාගත් අය නැවත මේකප් කරල ටෙලි නාට්‍යයක පිටපතක් දීලා ඒකෙ දෙබස් කියන්න සැලැස්සුවා. එතනදි තමයි ඔවුන් චරිත වෙන් වෙන් වශයෙන් තෝරා ගත්තෙ.

* සටන් කලාව හදාරන්නෙ?

ටෙලි නාට්‍යයට අනුව මම සටන් කලාවට දක්‍ෂ කෙනෙක්. මාස්ටර් කෙනකුගෙ දියණියක්. ඒ වගේම අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ඉතින් ටෙලි නාට්‍ය වෙනුවෙන්ම මාස කිහිපයක් සටන් කලාව හදාරන්නට සිදු වුණා.

* දර්ශන තලයේ අත්දැකීම්?

මට රඟපෑම ගැන අත්දැකීම් නැහැ. ඒ නිසා ඇත්තටම නුහුරු දෙයක්. පිටපත් රචක නිදුක් අයියා, ශ‍්‍රියන්ත අයියා, ලක්සිරි මහත්මයා, ජානක මහත්මයා, මේ හතර දෙනාම අපිට කතාකරලා කිව්වෙ බයවෙන්න එපා, අපි හැම වෙලාවෙම උදව් කරනව කියලා. කිසිම වෙලාවක අපිට පීඩනයක් දුන්නෙ නෑ. අමුතුවෙන් හිතන්න එපා, ඇඟට එන දේ කරන්න කියල අපිව නිතරම සැහැල්ලූවෙන් තියන්න උත්සාහ කළා. ඒක තමයි ලැබුණ ලොකුම පන්නරය.

* ප‍්‍රවීණයන්ගේ සහයෝගය?

මම දැනට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනගන්නෙ. එතනදි රංගන කටයුතු තරමක් දුරට කෙරෙනව. නමුත් හදා ගන්න ගොඩක් අඩුපාඩු තියෙනව. එතනදි ප‍්‍රවීණයන්ගේ සහයෝගය ගොඩක් වැදගත්. එවැනි තැන්වලදි ටෙලි නාට්‍යයේ මගේ මව විදියට රඟපාන ගංගා ජීවනී අක්කගෙන් මට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්.

* තරුමිණිගෙ අභියෝගය ජයගත්තෙ කොහොමද?

සමහර වෙලාවට ටෙලි නාට්‍යයකදි ගොඩක් වෙලාවට එක්කෙනෙකුට එක චරිතයක් වෙන්න පුළුවන් නියෝජනය කරන්න වෙන්නෙ. මවක් හෝ පෙම්වතියක් වගේ වෙන්න පුළුවන්. නමුත් ධරණි ටෙලි නාට්‍යයේදී මම පාසල් යන ළමයෙක්, පෙම්වතියක්, දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්, මගේ මහත්තයා නැති වෙනව, මගේ පවුලෙ හැමෝවම බලාගන්න වෙන්නෙ මට. මේ වගේ චරිත සමූහයක් මට රඟපාන්න වෙනව. නමුත් නාට්‍යයේ පළමු කොටසේ ඉඳන් මම තේරුම් ගත්තා මගේ චරිතය මේ මේ තැන්වලදි වෙනස් වෙන්න ඕන කියල. ඒ වගේම සමහර තැන් ඊට වඩා හොඳට කරන්න පුළුවන් කියලත් දැනුණා. ඇත්තටම මේක අභියෝගයක්. ඒ නිසා හැම වෙලාවෙම පිටපත් රචකගෙන් අහනව ඔහු බලාපොරොත්තු වුණ දේ මගෙන් ලැබෙනවද කියල. ඉතිං මම හිතනව මම තරමක් දුරට හෝ සාර්ථක ඇති කියල.

* හේෂාණි වෘත්තීයමය නිළියක් වෙන්නද අදහස?

ඇත්තටම වෘත්තීයමය නිළියක් කියන තැනට එන්න මම සූදානම් නෑ. මොකද මට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු තියෙනව. ඒ වගේම මගේ ප‍්‍රධාන අරමුණ ගුරුවරියක් වීම. ඒ වෙනුවෙන් අවුරුදු පහළොවක් පුරා මම පහතරට නර්තනය හදාරනව. ඒ අරමුණින්මයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට එන්නෙ. නමුත් කලාව පැත්තෙන් ගත්තාම හොඳ චරිත ලැබුණොත් ඒවාට දායක වෙන්න බලාපොරොත්තු වෙනව.

මහේෂ් එදිරිසිංහ – දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top