රමණීය වේදිකාවට නැඟ ජීවිතයෙන් බැස ගිය රමණි


(රමණි බර්තෝලමියුස් දිවි ගමනින් සමුගෙන ඊයේට (30) වසර 35ක් ගත වෙයි. මේ ඒ වෙනුවෙන් තබන සටහනකි.)
මෙරට කලාලොවට එළිය දෙමින්, තවත් දීර්ඝ කාලයක් එසේ සිටීමට හැකියාවක් තිබියදී, දිවි ගමනට සමු දුන් දියණියක් මීට වසර තිස්පහකට ඉහත දී වාර්තා විය. ඒ රමණි බර්තෝලමියුස්ය. යොවුන් වියේ පසු වන දියණියකට තම මව්පියන් තරම් වටිනා, විශ්වාසනීය මෙන්ම ආදරණීය කෙනෙකු නැත. ඒ නිසා කලා ක්ෂේත්‍රයේ පමණක් නොව, වෙනත් කවර ක්ෂේත්‍රයක නියැළුණද, තම මවුපියන්ගේ රැකවරණය සහ ගුරුහරුකම් මධ්‍යෙය් තම අරමුණු වෙත ගමන් කරන දියණියකට සෑම අතින්ම ගෙන දෙන්නේ, සතුට සහ සැනසුමය. ඒ නිසා රමණි බර්තෝලමියුස්ගේ ඛේදනීය වියෝ වීම තිස්පස් වසරකට ඉහත දී සිදු වූවත්, එම සිදුවීමෙන්, විශේෂයෙන් කලාලොවට ප්‍රවේශවීමට අපේක්ෂාවෙන් සිටින සහ ප්‍රවේශ වූ සැමට උගත හැකි බොහෝ දේ එමටය.

රමණි එලිසබෙත් බර්තෝලමියුස් දිවියෙන් සමු ගන්නා විට වයස අවුරුදු 21ක ජනහද දිනූ නැගී එන යොවුන් නිළියකි. ඉතාම කෙටි කාලයකින් වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන කලා මාධ්‍ය තුනේම ඇයගේ හැකියාව ප්‍රකට වී තිබිණි. එලෙසින්ම එවක ජ්‍යෙෂ්ඨ කලාකරුවන් බොහෝ පිරිසකගේ අවධානයටත්, ආදරටත් පාත්‍ර වූයේ, ඇයගේ හැකියාව නිසාමය. රමණි පිළිබඳව වරක් ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකර පවසා තිබුණේ යුගයේ අවශ්‍යතාවට බිහි වූ නිළියක් ලෙසය.

රමණිගේ උපත සිදු වන්නේ 1966 සැප්තැම්බර් මස පළමු දිනයේය. එලෙසින්ම අදත් ඇයගේ සුන්දර ඡායාරූපවලින් පිරුණු නිවෙස පිහිටා තිබුණේ ගම්පහ, අස්ගිරියේ සුන්දර වෙල්යායකට සමීපවය. රමණිගේ පියා ලෙස්ලි මාර්ක් බර්තෝලමියුස්ය. හෙතෙම වෘත්තියෙන් වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකි. එසේම ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයේ නිවේදකයෙක් ලෙසත්, කර්තෘවරයකු ලෙසත් කටයුතු කර තිබේ. ඇයගේ මව කමලා බර්තෝලමියුස්ය. එක් සොහොයුරෙක් සහ සොහොයුරියන් තිදෙනක් යුත් පවුලේ වැඩිමලා වූයේ රමණිය. රමණිගේ පියාට සැම්බියා රාජ්‍යයේ නතර වී වාර්තා චිත්‍රපටි නිර්මාණය කිරීමට අවස්ථාව උදා වේ. ඒ එවක සැම්බියාවේ රාජ්‍ය නායකයා වූ කෙනත් කවුන්ඩාගේ ආරාධනයෙනි. එම වකවානුවේ රමණි පසුවී ඇත්තේ තරමක් කුඩා අවදියකය. මේ පසුබිම මත ඇයට ද කලක් එරට වාසය කිරීමටත් සිදු වී තිබේ. වයස අවුරුදු දහසයක් පමණ වන විට මව් භාෂාවට අමතරව ඇයට ඉංග්‍රීසි, සැම්බියන් මෙන්ම ප්‍රංස භාෂාවත් චතුර ලෙස කතා කිරීමට හැකි වී තිබුණි. ඒ වගේම ඇය නර්තනයටත්, රංගනයටත්, වාදනයටත් එකසේ (පියානෝව) දක්ෂතා දැක් වූ බව සැළයි.

රමණීගේ පාසල් අධ්‍යාපනය ගෙවී ඇත්තේ, ගම්පහ කීර්තිමත් බාලිකා පාසලකය. ඒ සිරිකුරුස විද්‍යාලයේ ය.

ඇයට වර්ෂ 1985 දී “මිස් ශ්‍රී ලංකා” තරගයට ඉදිරිපත් වීමටත් අවස්ථාව උදා වී තිබුණි. ඒ වන විට ඇයට වයස අවුරුදු 19කි. එම තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත් රමණි, එවක අමෙරිකාවේ පැවති විශ්ව රූ රැජින තරගයටත්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වී තිබේ.

මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමෙන් අනතුරුව දිනෙන් දින ජනප්‍රියත්වයට පත් වූ රමණිට, එවක කලා ක්ෂේත්‍රයේ බොහෝ නිර්මාණකරුවන්ගෙන් ආරාධනා ලැබී තිබේ. ඒ ඇය සම්බන්ධ කර ගැනීමෙන් තම නිර්මාණ සාර්ථක කර ගැනීමේ අරමුණිනි. එහෙත් ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා, යුගාන්තය සිනමා නිර්මාණයට රමණිව දායක කරගෙන තිබී ඇත්තේ, ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමටත් පෙරය. ඒ වර්ෂ 1983 දීය. රමණි යුගාන්තය සිනමා නිර්මාණයේ රංගනයේ යෙදෙන විට වයස අවුරුදු 16ක යුවතියකි. මහා සිනමාවේදියකුගේ නිර්මාණයකින් ස්වකීය කලා දිවිය ආරම්භ කිරීමට හැකිවීම සැබවින්ම ඇය ලද භාග්‍යයකි. යුගාන්තය චිත්‍රපටයේ ඇය “චමරි” නැමති චරිතයට පණ පෙවූ අතර, ඇය තම මුල්ම චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ, ආචාර්ය ගාමිණි ෆොන්සේකා සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ශ්‍රීයානි අමරසේන සමඟය. පසුව ආචාර්ය පීරිස් මහතාගේ තවත් නිර්මාණයක් වූ “සැලළිහිණි ගම්මානයටත්” රමණිව සම්බන්ධ කරගෙන තිබේ. එවක බොහෝ සිනමාකරුවන්ගේ මතය වූයේ ප්‍රවීණ නිළියක වූ වසන්ති චතුරාණි මහත්මියගෙන් පසුව සිනමාවේ නැගී එන නිළිය වූයේ රමණි බවයි.

රමණි රූපවාහිනී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ වූයේ, එවක ප්‍රවීණ කලාකරුවකු වූ විජය ධර්ම ශ්‍රී මහතාගේ නිර්මාණයක් වූ “භාග්‍යා” ඒකාංගික ටෙලි නාට්‍යෙයනි. එම ටෙලි නාට්‍යයේ “භාග්‍යා ” ලෙස රංගනයේ යෙදෙමින් පුංචි තිරයටත් පැමිණි රමණී බෙහෙවින් රසික රසිකාවන් බහුතරයකගේ හදවත්වල බැබලුණු තාරකාවක් බවට පත් විය. ඇය අදටත් මතකයෙන් ඈත් නොවන නිළියක වන ප්‍රධාන හේතුවක් වන්නේ, භාග්‍යා ටෙලි නාට්‍යයේ “ආජු තපර ලාහිලා … බීජි තපර ලාහිලා ….” යන කපිරිඤ්ඤා ගීතයට මනරම් නර්තනයකින් දායක වීම හේතුවෙනි.

රමණි කලාලොව ඉහළටම පැමිණිය ද, දිවි ගමන කෙටි වූ බැවින්, කලා ලොව පැමිණි ගමන් මඟ ද නතර විය. එනමුදු දායක වූ සෑම නිර්මාණයකම රමණිගේ කුසලතාවලින් අඩුවක් නොපැවතිණි.

අනුෂාද් වෙදගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top