මගේ අරමුණ අනාගත පරම්පරාවට හොඳ දෙයක් ඉතිරි කිරීමයි – ඉන්දිකා උපමාලි

අලුත් දේවල් බිහිකළ යුත්තේ අපේ මුල් රැකගෙන එයින් පෝෂණය වෙමින්…

ගායිකාවක් වීමට වඩා ගුරුවරියක් වීම ගැන මම බොහොම තෘප්තිමත්…

සිය මධුර මනෝහර හඬින් කවදත් රසික සිත් තුළ සොඳුරු මතක සටහන් තබන ජනප්‍රිය ගායන ශිල්පිනි ඉන්දිකා උපමාලි ගේ නවතම ගීතය මේ දිනවල බොහෝ දෙනකුගේ දෙතොලඟ මිමිණෙනු ඇසෙයි. අශෝක හඳගමගේ පද රචනයෙන් හා කසුන් කල්හාරගේ සංගීතයෙන් මුසු වූ ‘ඔන්න‘ගීතයට ඇය සිය මධුර හඬ එක් කරන්නේ සංවේදී ස්ත්‍රියකගේ ශෘංගාරාත්මක හැඟීම් ප්‍රකාශනයක් ලෙසයි.

ඔබේ නිර්මාණ එකතුව දැන් එකින් එක එළිදැක්වෙන කාලය ද මේ ?

ඉදිරියේදී මගේ තවත් නිර්මාණ බොහොමයක් එළිදකින්න තියෙනවා. මීට වසරකට විතර පෙර එළිදැක්වූ ‘මම දෝංකාරයයි‘කියන ගීතයටත් රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ රසිකයන්ට දෙන්න කල්තියාම එහෙම නිර්මාණ කරලා තියා ගත්තු එක ගැන මම සතුටු වෙනවා. ඉතින් මේ අලුත් ගීතය එක්ක මගේ යූ ටියුබ් චැනල් එකත් පසුගිය දා ජනගත කළා.

 

හදිසියේම යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න හිතුවේ ඇයි?

මම එයට හදිසි වුණා නෙවෙයි, ප්‍රමාද වුණා කියලයි හිතෙන්නේ. තමන්ටම කියලා නිර්මාණ කරන අයට යූ ටියුබ් චැනල් එකක් තිබීම දැන් ගොඩක් වටිනවා. විශේෂයෙන් ගුරුවරියක් විදිහට තමන් උගන්වන විෂයය ගැන වගේම තමන්ගේ දැක්ම ගැනත් මිනිස්සුන් දැනුම්වත් කිරීම වැදගත්. මේ වසංගත තත්ත්වයෙන් ආතතියට පත්වෙලා ඉන්න අපේම මිනිස්සුන්ගේ මනස සුවපත් කිරීම කලාකරුවන් විදියට අපෙත් වගකීමක්. යූ ටියුබ් දැනල් එකක් කියන්නේ එයට හොඳ ඩිජිටල් වේදිකාවක්. ඉතින් ඔවුන්ට පුළුවන් ඒ ඔස්සේ අපේ නිර්මාණ රසවිඳින්න. අපට පුළුවන් ඒ මාධ්‍යයෙන් රසිකයන්ට සමීප වෙන්න.

 

ඉන්දිකා නිර්මාණ කරන්නේ බොහෝම පරෙස්සමට ?

ඔව්. මම ඒ ගැන බොහොම සැලකිලිමත්. වර්තමානයේ මාධ්‍ය ඔස්සේ අපි බොහෝ විට දකින්නේ 60,70,80,90 දශකවල ගීත නව පරපුරෙ හඬවල් තුළින් ගායනා කිරීමයි. රියලිටි වැඩසටහන්වල තියෙන්නෙත් මේ සංකල්පයමයි. පරණ ගීතවල තිබෙන සාහිත්‍ය පැත්ත හුවා දක්වමින් විචාරය කළත් සංගීතය පෝෂණය වන ආකාරය ගැන කිසිම වැඩසටහනක දකින්න බැහැ. සුනිල් ශාන්තයන්ගේ සිට අද සිටින ප්‍රවීණ සංගීතඥයන්ගෙන් සංගීතයට සිදු වන මෙහෙවර ගැනවත් කතා කරනවා අඩුයි. තරුණ පරපුර කොතරම් නිර්මාණ කළත් ඒ ගීතවලින් ඉදිරියට යන්න තිබෙන ඉඩකඩත් අල්පයි. මෙය හරිම පසුගාමී සංකල්පයක්. අපි අලුත් දේවල් බිහිකළ යුත්තේ අපේ මුල් රැකගෙන එයින් පෝෂණය වෙමින්. මම නිතරම උත්සාහ කරන්නෙ මගෙ ගායන හැකියාවෙන් වෙනත් සංගීත ශානරයන් හොයාගෙන යන්න. මම අසාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් මම නැති කාලෙක වුණත් මම කලාවට යමක් කළා කියන දේ මම දන්නවා. මගේ උත්සාහය අනාගත පරම්පරාවට හොඳ දෙයක් ඉතුරු කිරීමටයි.

 

ඔබත් කලෙකදී රියැලටි වැඩසටහන් විනිශ්චය සඳහා එකතු වුණා ?

 

රූපවාහිනි සංස්ථාවේ Sri Lankan Life සහ Derana Little Star විනිශ්චය මණ්ඩලයේ මම කලක් කටයුතු කළා. තරග විනිශ්චය ගැන මගේ විරුද්ධත්වයක් නෑ. මම ඒ දරුවන්ගේ හැකියාව අගය කරනවා. එවැනි තරග නැත්නම් අපේ දරුවන්ට ඉදිරියට එන්න අවස්ථාවක් නැහැ. නමුත් එතනින් එහාටත් ඔවුන්ගෙන් නිර්මාණ බිහිවිය යුතුයි. ඒ වගේම අලුත් දේවල්වලට මාධ්‍ය තුළත් ඉඩකඩ ලැබිය යුතුයි.

 

ඉන්දිකා උපමාලි කියන ගායන විශාරදවරියට පසු ගෝල පරම්පරාවක් බිහිකර තිබෙනවාද?

මම අවුරුදු 20ක් ආචාර්ය කේමදාසයන් යටතේ සංගීතය හැදෑරුවා. කේමදාසයන්ගේ සංගීත ශාරනය කොයි වගේද කියලා මම තේරුම් ගත්තේ ඔහු දිහා ඈත සිට බලද්දියි. මේරි නම් සුප්‍රකට සංගීතවේදිනියගෙන් මම බටහිර සංගීතය ඉගෙන ගත්තා. ඒ සියල්ලෙන් තමයි සංගීතය ගැන පුළුල් හැදෑරීමක් කරන්න මට පුළුවන් වුණේ. මම සංගීත ඇකඩමිය පටන් ගත්තේ 2009දී. ඒ හරහා සංගීතය ගැන ස්වයං අධ්‍යයනයක් කිරීමට මට හැකි වුණා. ආචාර්ය කේමදාසයන්ගෙන් ඉගෙන ගත් දේවල් ඉතා ගෞරවනීයව මා ආරක්ෂා කරගන්නා අතරම එතනින් ගැලවෙන්නෙ කොහොමද කියලත් මම අධ්‍යයනය කළා. මට අවශ්‍ය වුණා ඉගෙන ගත් දෙයින් මගේම ගෝලයො පිරිසක් හදන්න. මම ම ඒ අභියෝගය මට පවරා ගත්තා. මේ වෙද්දි මම සෑහෙන ගෝලයො පිරිසක් බිහිකර තිබෙනවා. ඒ නිසාම ගායිකාවක් වීමට වඩා ගුරුවරියක් වීම ගැන මම බොහොම තෘප්තිමත්.

 

මේ සියල්ල අතරේ ඉන්දිකා උපමාලි තුළ රංගන ශිල්පිනියක් ද සිටියා. නමුත් බොහෝ කලක් ඇය නිහඬයි?

මම අවසානයට රංගනයෙන් දායක වුණේ ‘සූවිසි විවරණ‘ විත්‍රපටයට. ජයලත් මනෝරත්නයන් සමඟයි මා එහි රඟපෑවේ. ඒ රංගනය නිසාම මනෝ අයියට ජාත්‍යන්තර සම්මාන උලෙළකදී ‘හොඳම නළුවා‘ සම්මානයත් හිමි වුණා. ඒ චිත්‍රපටය ලස්සන, ගීතාත්මක නිර්මාණයක්. එවැනි නිර්මාණ ලැබුණොත් රංගනයෙන් දායක වනවා.

සචිනි ඉමල්කා
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top