මනුෂ්‍යය ඝාතන මැද පැවැත්වූ ඔලිම්පික් තරඟ

1968 දී Mexico හිදී ඔලිම්පික් උළෙල පවත්වන්නට යෙදුනේ එරට පාලකයන් සහ සිවිල් සංවිධාන අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබෙන වාතාවරණයකදීයි. රජයේ මර්ධනකාරී ක්‍රියා පිලිවෙලට එරෙහිව ගොවි සංවිධාන, කම්කරු සංවිධාන සහ ශිෂ්‍ය සංවිධාන මූලිකත්වයෙහ් විරෝධතා රැසක් එල්ල වෙමින් පැවතුණා. ඔලිම්පික් උළෙල නොපවත්වන්නැයි රජයට බල කරමින් එරට සිවිල් සංවිධාන වල මූලිකත්වයෙන් පැවති විරෝධතා අතරතුරදී 1968 ඔක්තෝබර් මස 2 වෙනි දින, එනම් ඔලිම්පික් උළෙලේ සමාරම්භයට දින දහයකට පෙර වීදි බට ජනතාව සමූල ඝාතනය කරන්නට එරට ආරක්ෂක අංශ ක්‍රියා කලා. මෙම සටන් වලින් මිය ගිය ප්‍රමාණය 300 – 400 අතරයැයි පැවසුවත් , එය ඊට වඩා බෝහෝ සෙයින් වැඩි බවත් දහස් ගණනක් මිනිසුන් මරා දැමුණු බවටත් කියැවෙනවා.
මෙවන් තත්වයක් හමුවේ වුවද, විරෝධතාවන් නොතකා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණු අතර, මෙම සමූලඝාතන ඉතාම නින්දිත සලකුණක් ඔලිම්පික් ඉතිහාසයට එකතු කර තිබෙනවා.
1972 දී ජර්මනියේ Munich හිදී පැවැත්වුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී, එතෙක් මෙතෙක් ඔලිම්පික් උළෙලකදී නිරායුධ ක්‍රීඩකයන් වෙත එල්ල කෙරුණු අතිශය අමානුෂික සහ අනපේක්ෂිත ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් ක්‍රීඩා ඉතිහාසය තුල ඉතිරි කර ඇත්තේ ඛේදජනක මතකයක්.
මියුනිච් ඔලිම්පික් උළෙල ආරම්භ වී දෙවෙනි සතියේදී මෙම අවාසනාවන්ත අවස්ථාවට මුහුණ දීමට සිදු වූයේ ඊශ්‍රායලය නියෝජනය කල ක්‍රීඩා කණ්ඩායමටයි. ඊශ්‍රායලය බාරයේ සිටි පලස්තීනුවත් 234 ක්, සහ ජර්මානු සිර කඳවුරු වල සිටි බටහිර ජර්මානු රතු හමුදාවේ කැරලි කරුවන් 2 දෙනෙකු නිදහස් කරන ලෙසට බල කරමින් 8 දෙනෙකුගෙන් යුක්ත වූ පලස්තීන ත්‍රස්තයන් පිරිසක් විසින් ඔලිම්පික් ගම්මානයෙහි සිටි ඊශ්‍රායල කණ්ඩායමේ සාමාජිකයන් 2 දෙනෙකු මරා දමා, තවත් 9 දෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබුවා. ප්‍රාණ ඇප කරුවන් විටින් විට තම පණිවිඩකරුවන් ලෙස යොදා ගත් ත්‍රස්තයින්, තම ඉල්ලීම් ආරක්ෂක අංශ වෙත යොමු කලත්, සාකච්ඡා අතරතුරදී, ජර්මානු ආරක්ෂක අංශ මඟින් දියත් කෙරුණු මුදා ගැනීම් මෙහෙයුම් මුළුමනින්ම අසාර්ථක වූයේ ප්‍රාණ ඇපයේ සිටි ක්‍රීඩකයින් 9 දෙනාටත්, ජර්මානු පොලිස් නිළධාරියෙකුටද ජීවිත අහිමි කරමින්. ත්‍රස්ථයින් පස් දෙනෙකුටද ජීවිතය අහිමි වූ අතර ඉන් තිදෙනෙකු ජීවිතය ගලවාගෙන පැන යාමට සමත් වුණා. පසුව දියත් කෙරුණු මෙහෙයුම් වලදී ඔවුන් තිදෙනාටද ජීවිතය අහිමි වුණු අතර, ජීවිත අහිමි වූ ඊශ්‍රායල් ජාතික ක්‍රීඩකයින් සැමරීමක් ප්‍රථම වතාවට සිදු වුණේ ඉන් වසර 44 කට පසුව පැවති 2016 රියෝ ඔලිම්පික් උළෙලේදීයි. මෙම අවාසනාවන්ත ඝාතන සිදු වීම නිසා දින දෙකකට කල් දැමුණු 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ ඉතිරි වැඩ කටයුතු නැවතත් කරගෙන යාමට සංවිධායක මඬුල්ල කටයුතු කලත්, එතෙක් මෙතෙක් ඔලිම්පික් උළෙලක, ක්‍රීඩකයින් ඉලක්ක කරමින් සිදු වූ එම ම්ලේඡ්ඡ ඝාතනය මුලු ලොවක් කම්පාවට පත් කල, මුලු ලොවම හෙලා දකින ඛේදනීයම සිදු වීම බවට ඔලිම්පික් තරඟ ඉතිහාසය පුරාවටම සලකුණු වී තිබෙනවා.
1996 වසරේදී ඇමරිකාවේ ඇට්ලන්ටාහිදී පැවති ඔලිම්පික් උළෙලේ ප්‍රසංගයක් පැවැත්වෙන අතරතුර පුද්ගලයෙකු විසින් බොම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබූ අතර, පැය කිහිපයකින් අනතුරුව සංවිධායකයින් ප්‍රකාශ කලේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කටයුතු නොනවත්වා සිදු කරගෙන යන බවටයි.
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ මෙම තරඟාවලියේදී මීටර 100 කාන්තා ඉසව්ව නිජෝජනය කල අතර, මූලික තරඟයේදී ජැමෙයිකාවේ මර්ලින් ඔටේට පමණක් දෙවෙනි වෙමින් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබුවා. අර්ධ අවසන්වටයේදී, අවාසනාවන්ත අයුරින් තරඟ අවසානය පෙනි පෙනී ධාවන පථයෙහි ඇද වැටුණු ඇයට අවසන් පූර්ව වටයට සහභාගී වීමේ අවස්ථාව මඟ හැරුණා.
මෙවර ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරක්ෂාව වෙනුවෙන් ජපානය විශේෂ අවධානයක් යොමුකොට ඇති අතරම, COVID පාලනය වෙනුවෙන්ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
සටහන
තුසිත විරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top