විස්මිත ගුණ සපිරි වට්ටක්කා

පෝෂණ ගුණයෙන් අනූන වට්ටක්කා ශ්‍රී ලාංකේය ගැමි බත්පතට සුලබව එකතු කරගන්නා එළවළුවකි. පැරැන්නන්ට එහි පෝෂ්‍ය ගුණය පිළිබඳ විද්‍යාත්මක පදනමකින් නොදැන සිටියත් වට්ටක්කා ආහාරයට ගැනීමෙන් තම ශරීරයට සිදුවන යහපත පිළිබඳ ප්‍රායෝගික අවබෝධය තිබුණි. මලබද්ධයෙන් පීඩා විඳි කෙනකු වූයේ නම් එකල එකම ප්‍රතිකාරය වූයේ තම්බාගත් වට්ටක්කා ආහාරයට ගැනීමය.

කැලරි ප්‍රමාණයෙන් අඩු වට්ටක්කා විටමින් හා ඛනිජවලින් පොහොසත් ආහාරයකි. එම පෝෂ්‍ය පදාර්ථ එහි කොළ සේම බීජවල ද අන්තර්ගතය. වට්ටක්කා ගෙඩියේ වර්ණයෙන්ද ඔබට මෙහි පෝෂණ ගුණය පිළිබඳ දළ අදහසක් ගත හැකි වන්නේ කහ පැහැති එළවළු සහ පලතුරුවල විටමින් ‘ඒ ‘බහුලව ඇති බවට බොහෝ විට දැනුම්වත් නිසාය.

වට්ටක්කා රොටි

වට්ටක්කා අවශ්‍ය ප්‍රමාණය කැබැලිවලට කපා තම්බා පොත්ත ඉවත් කර හොඳින් පොඩි කර ගන්න. අමු මිරිස් කරල් තුනක්, රතු ලුනූ ගෙඩි පහක් පමණ සිහින්ව කපා, සුදු ලූනූ බික් තුනක් පමණ හොඳින් තලා ගන්න. තේල් මේස හැන්දක් පමණ දැමූ බඳුනක් ලිප තබා තෙල් රත් වූ විට මිරිස් සහ සුදු ලූනු එක්කර තරමක් බැඳීගෙන එනවිට කෑලි මිරිස් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එකතු කර ගන්න. පසු එයටම සිහින්ව කැපූ ලූනූ එකතු කර මිශ්‍ර කර හොඳින් තෙම්පරාදු වූ පසු ලිපෙන් බා මඳක් නිවෙන්න හරින්න.

දැන් පොඩි කර ගත් වට්ටකා බඳුනට ගාගත් පොල් එකතු කර හොඳින් මිශ්‍ර කර තෙම්පරාදුවෙන් ටික ටික එක් කරමින් කලවම් කර සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු පාන් පිටි ටික ටික දමමින් සාමාන්‍යයෙන් රොටියක් සාදන පදමට අනා බෝල කර ගන්න.

සාදා ගත් බෝලයක් ගෙන කෙසෙල් කොළයක තුනී කර ඒ කෙසෙල් කොළය සමඟම රත් වූ තැටියේ තබා දෙපැත්ත හරවමින් වට්ටක්කා රොටිය පුච්චා ගන්න.

 

වට්ටක්කා පානය

කොළ පැහැති පොත්ත සහිත පිටි වට්ටක්කා කැබැල්ලක් ගෙන හොඳින් සෝදා කුඩා කැබැලිවලට කපා බ්ලෙන්ඩරයට දමා එයටම කුරුඳු කැබලි ස්වල්පයකුත් එක් කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය වීදුරුවකට දමා පසුව එයට දෙහි ගෙඩියෙන් බාගයක පමණ යුෂ එකතු කර, අවශ්‍ය නම් මී පැණි ටිකක් ද කලවම් කර පානය කළ හැකිය.

වට්ටක්කා දලු නියඹලාව

 

වට්ටක්කා ළා දලු කඩා ගෙන එහි තිබෙන බූව පිහියකින් යාන්තමට ඉවත් කර හොඳින් සෝදා ගත් පසු තරමක් ලොකු කැබලිවලට කපාගන්න. අමු මිරිස් කරල් දෙකක්, රතු ලූනු ගෙඩි තුනක්, කරපිංචා කොළ කිහිපයක් හීනියට ලියා සියල්ල වට්ටක්කා ළා දලූ සමඟ මිශ්‍ර කොට එයටම ලුණු, කහ, තුනහප සහ උම්බලකඩ ස්වල්පයකුත් එකතු කරගන්න.

වට්ටක්ක දලු මිශ්‍රණයට මුලින්ම එකතු කළ යුත්තේ දිය කිරි ස්වල්පයකි. දැන් මෙය ලිප තබා මඳ ගින්නේ පිසෙන තුරු පොල් මිටක් පමණ ගෙන එයට ගම්මිරිස්, සුදු ලූනූ බික් තුනක්, අබ ස්වල්පයක්, කුරුඳු කෑබැල්ලක් සහ සෝදා ගත් සහල් මිටක් එකතු කර හොඳින් අඹරා ගන්න.

ලිපේ තැබූ වට්ටක්කා දලු පැහෙන විටදී, මිටිකිරි සහ අඹරාගත් හාල් පොල් මිශ්‍රණය එක් කර හොඳින් හැඳි ගාන්න. දලුවල කොළ පැහැය ඉවත් නොවීමට භාජනය නොවසා මඳ ගින්නේ පැහුණු පසු ලිපෙන් බා ගන්න.

වට්ටක්කාවල පෝෂ්‍ය ගුණ

මේදය දහනය කරයි

ශරීරයේ බර අඩු කරයි

ඇස් පෙනීම වැඩි දියුණු කර ගැනීමට

ප්‍රතිශක්තිය වර්ධනයට

සමෙහි තරුණ බව රැකීමට

පිළිකා අවදානම අඩු කිරීමට

දියවැඩියාව පාලනය කිරීමට

විශබීජ නාශකයක් ලෙසද වට්ටක්කා හැඳින්වෙයි

වයසත් සමඟ වැඩිවන මස්පිඩු වැහැරීමේ තත්ත්වය පාලනය කිරීමට

මතක වර්ධනයට

අධි රුධිර පීඩනයෙන් ආරාක්ෂා කිරීමට

මුත්‍රා රෝග සුව කිරීමට

අජීර්ණයට

 

 

උපදෙස්

වී.ජී. ස්වර්ණලතා

උමංදාව දේශීය ආහාර පර්යේෂණ ව්‍යාපෘතිය

 

ඡායාරූප

තිලක් පෙරේරා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top