ඩිකන්ස් නොලියූ පෙම් කතාව

සුප්‍රකට ඉංග්‍රීසි ගත්කතුවර චාල්ස් ඩිකන්ස්ගේ 150 වැනි සංවත්සරය යෙදී තුබුණේ 2020 ජූනි 6 වනදාට ය. ඒ සඳහා ඔහු විසූ ලන්ඩන් නුවර සමරු උලෙළක් සංවිධානය කර තිබුණද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය අවලංගු කිරීමට සිදු විණි. එහෙත් ඒ සඳහා යෝජිතව තිබූ ශාස්ත්‍රීය දේශන, වීඩියෝ සම්මන්ත්‍රණ හා යූ ටියුබ් ඔස්සේ ප්‍රචාරය කෙරුණු අතර, පවුම් 2700ක මුදලක් උපයා, එය ලන්ඩනයේ ඩිකන්ස් කෞතුකාගාරයට පිරිනැමිණි. වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා රටවල් දහයකින් දේශකයෝ පනස් දෙනෙක් සහභාගි වූහ.

චාල්ස් ඩිකන්ස් යනු ශ්‍රී ලාංකික පාඨකයන්ටද ආගන්තුක ලේඛකයෙක් නොවේ. ඔහුගේ ග්‍රන්ථ කිහිපයක් සිංහලයට පරිවර්තනය කෙරිණි. ඒ අතර ‘දෙනුවර අන්දරය’ (Tale of two Cities), ‘ඩේවිඩ් කොපර්ෆීල්ඩ්’, ‘නත්තල් ගීතය’ (Christmas Carol), ‘ඔලිවර් ට්විස්ට්’, ‘ලෝක විචාරය’ (The Pickwick Papers) වැනි කෘති වඩාත් ප්‍රකටය.

වර්ෂ 1812-1870 අතර කාලයේ ජීවත් වූ චාල්ස් ඩිකන්ස්ගේ නවකතා මඟින් සමකාලීන බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු සමාජය මනාව පිළිබිඹු වේ. ඩිකන්ස්ගේ ළමා විය බොහෝ දුෂ්කරතාවලින් පිරුණක් විය. ඔහුගේ පියා ණය ගෙවා ගත නොහැකිව සිරගත කෙරිණි. එනිසා ඩිකන්ස්ට නිසි අධ්‍යාපනයක්ද ලද නොහැකි විය. ‘ඩේවිඩ් කොපර්ෆීල්ඩ්’, ‘ඔලිවර් ට්විස්ට්’ වැනි ලෝක ප්‍රකට ළමා චරිත මඟින් පිළිබිඹු වන්නේ ඩිකන්ස්ගේ ඒ දුෂ්කර ළමා වියයි.

මක්සිම් ගොර්කි මෙන් ජීවිත සරසවියෙන්ම උගත්තකු වන ඩිකන්ස්, සඟරා සංස්කාරකවරයකු ලෙසද දිගු කලක් කටයුතු කළ අතර, නවකතා 12ක් සහ කෙටිකතා සිය ගණනක් රචනා කළේය.

ඇතැම් විචාරකයන් පවසා ඇති අන්දමට ඩිකන්ස්, තෝමස් හාඩි හෝ විලියම් තැකරේ වැනි වික්ටෝරියානු ගත්කරුවන් හා සසඳන කල, ඔවුන් පරයා යන්නකු නොවුණද පාඨක සමාජයේ ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලීය. අන්තර්ජාතික වශයෙන්ද එය එසේම වූ අතර, තොල්ස්තෝයි හා දොස්තොයෙව්ස්කි පවා ඩිකන්ස් අගය කළේය.

පසුකාලීනව ඩිකන්ස්ගේ සාහිත්‍ය මෙහෙවර මෙන්ම, ජීවිතය පිළිබඳවද ලියැවුණු කෘති රැසකි. විවිධ මතිමතාන්තර දැරුවද ඒ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ලෝක සාහිත්‍ය වංශයේ චාල්ස් ඩිකන්ස් නමැති ගත්කරුවාට වෙනම පරිච්ඡේදයක් හිමි වන බවයි.

ඩිකන්ස්ගේ බිරිය ‘කැතරින්’ ය. ඇය ඔහුට දාව දරුවන් දහදෙනකු බිහි කළාය. ඒ කාලයේ හැටියට එය ඩිකන්ස්ගේ පමණක් විශේෂ දස්කමක් නොවීය. ‘කෙටී ඩිකන්ස්’ මේ දස දරුවන් අතර සිටි දියණියකි. ‘ග්ලැඩිස් ස්වෝරි’ නමැති ලේඛිකාව කෙටීගේ මිතුරියකි. ඇය තම ජීවිතය හා පියා පිළිබඳ සියලු තතු ග්ලැඩිස්ට නොවළහා පැවසුවාය. 1939දී ග්ලැඩිස් ‘ඩිකන්ස් සහ ඔහුගේ දියණිය’ (Dickens and Doughter) නමින් ග්‍රන්ථයක් පළ කළාය. ඩිකන්ස්ගේ දියණිය පැවසූ, එතෙක් ලොව නොදැන සිටි බොහෝ තතු එයට ඇතුළත් විණි.

චාල්ස් ඩිකන්ස් නමැති ලෝකප්‍රකට වික්ටෝරියානු ගත්කතුවරයාගේ රහසිගත පෙම්වතිය එලන් ටර්නන් (Ellen Ternan) නොහොත් නෙලී (Nelly) නමැති වේදිකා නිළිය ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ ඒ ග්‍රන්ථය මඟිනි.

කෙසේ නමුත් 1939 වැනි ඈත යුගයක ඉංග්‍රීසි පතපොත ලොව පුරා නොපැතිරෙන බැවින් ඉන් ඩිකන්ස්ගේ ප්‍රතිරූපයට එතරම් හානියක් සිදු වූ බවක් නොපෙනේ. එහෙත් ඉංග්‍රීසි පුවත්පත් කලාවේදිනියක හා චරිතාපදාන කතුවරියක වූ ක්ලෙයාර් ටොමලින් විසින් රචිත, 1990දී පළ වූ චාල්ස් ඩිකන්ස් අපදානය ජනගත වූ පසු ‘නෙලී’ නිළිය ගැන ලොව දැනගන්න පටන් ගති. ඉන් කලකට පසු ඒ ග්‍රන්ථයේ නව සංස්කරණයක් The Invisible Woman (අදිසි ළඳ) නමින් පළ වෙයි. එලන් ටර්නන් නැත හොත් නෙලී ටර්නන් නමැති අප්‍රකට නිළිය හා ඩිකන්ස් නමැති 47 හැවිරිදි විවාහක පෙම්වතාගේ පෙම් කතාව සාහිත්‍ය සමාජයේ පුළුල් අවධානයකට ලක් වීමට පටන් ගනී.

නෙලී මුල්වරට ඩිකන්ස්ට හමු වන්නේ ඔහුගේ මිතුරකු වූ විල්කි කොලින්ස් විසින් ආධුනික නළුනිළියන් රැසක් සමඟ නිෂ්පාදනය කළ ද The Frozen Deep නමැති නාට්‍යයේදීය (කොලින්ද නවකතාකරුවෙකි. ඔහු ලියූ The Woman in White ‘සුදු වත හැඳි කත’ නමින් සිංහලයට නැඟී ඇත). එවකට ඇගේ වයස 18කි. ඇයගේ මව වෘත්තීය නිළියකි. කොලින්ස් ඇය තම නාට්‍යයට සම්බන්ධ කරගන්නේද නමක් ඇති නිළියකද එහි සිටීමේ වාසිය සලකමිනි.

දරුවන් දස දෙනකුගේ පියකු සමඟ 18 හැවිරිදි තරුණියක පෙමින් බැඳීම පුදුම සහගතය. නෙලීගේ පියා ඇය කුඩා කාලයේදීම මිය ගොස් තිබූ බැවින් ඒ අඩුව පිරිමසාගැනීම සඳහා මේ ‘කපටි ආරක්ෂකයා’ වෙත ළං වන්න ඇතැයිද විචාරකයකු පවසා ඇත.

තම බිරිය කැතරින්ගේ ‘තරබාරුවට’ තමා ප්‍රිය නොකළ බව ඩිකන්ස් තම හිතවතියක හා පවසා තිබිණි. විවාහකයකු වීම, සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයකු වීම, වයස් පරතරය වැනි හේතුවලත් වඩා මේ අසම්මත ප්‍රේමයට බාධකයක් වූයේ එකල එංගලන්තයේ මුල් බැසගෙන තිබූ වික්ටෝරියානු සුචරිතවාදි මතවාදයයි.

ඩිකන්ස් තම නම කැත කරගැනීමටද කැමැති නොවීය. ඔහු නෙලී ලංඩනයට මඳක් දුරින් පිහිටි කුඩා නිවෙසක පදිංචි කරවීය. සතියකට දින කිහිපයක් එහි යන ඩිකන්ස් ආපසු තම දරුපවුල වෙත එන්නේ වැදගත්, පිරිසුදු ඉංග්‍රීසි මහත්මයකු ලෙසිනි.

මේ රහසිගත ප්‍රේමය ඩිකන්ස් මියයන තුරුම වසර 30ක පමණ කාලයක් පැවතියේය. මේ අතරතුර කැතරින් ඩිකන්ස්ගෙන් වෙන්ව තම මව්පියන් වෙත ගොස් තිබිණි.

ඩිකන්ස්ගෙන් නෙලීට දරුවකු ලැබුණු නමුදු, ඔහු ළදරු වියේදීම මිය ගිය බව සඳහන්ව ඇතත් 1990දී ඩිකන්ස්ගේ අපදානයක් ලියූ පීටර් ඇක්රොයිඩ් පවසන්නේ, ඩිකන්ස්-නෙලී අතර ලෛංගික සම්බන්ධයක් නොපැවති බවයි.

ඩිකන්ස් තම අසම්මත ප්‍රේමය රහසක්ව පවත්වාගෙන යෑමට සියලු උපක්‍රම භාවිත කරන්නට ඇති වුවද, ඔහුගේ මරණයෙන් වසර 150කට පසු, ඔහුගේ පොත්වලට තරමටම ඒ පෙම් කතාවටද ප්‍රසිද්ධියක් ලැබීම උත්ප්‍රාසජනකය.

Invisible Woman ලියූ ක්ලෙයාර් ටොමලින් ඩිකන්ස්ගේ රහස් ප්‍රේමය පසුපස හඹා යන්නේ සාහිත්‍ය රහස් පරීක්ෂිකාවක මෙනැයි විචාරකයකු සඳහන් කර ඇත. ඒ ග්‍රන්ථය පිළිබඳ පළ වූ විචාරයක සිරස්තලය වූයේ ‘A Tale of two Decades’ යනුවෙනි.

බොහෝ ලේඛකයන්, කවීන් මෙබඳු ප්‍රේමයක් පිළිබඳ පසු කලෙක හෝ සඳහන් කරන නමුදු ඩිකන්ස් නෙලී ගැන කිසි විටෙක හෙළි නොකළේය. එහෙත් ඔහුගේ ‘Little Dorrit’ නවකතාවත්, ඔහුගේ ‘Great Expactation’හි එන එස්ටෙලාගේ චරිතයටත්, එලන් ටර්නන් (නෙලී) ගේ සෙවණැල්ල වැටී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

ක්ලෙයාර් ටොමලින්ගේ නවකතාව 2013දී සිනමාවටද නැඟිණි. ප්‍රකට නළුවකු වන රැල්ෆ් ෆියෙනස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘Invisible Woman’හි ඩිකන්ස්ගේ චරිතය නිරූපණය කරනුයේද ඔහුමය. නෙලී ලෙස රඟපෑවේ ෆෙලිසිටි ජෝන්ස්ය.

ඩිකන්ස්ගේ මරණයෙන් පසු නෙලී, තමාට වඩා බාල තරුණයකු සමඟ විවාහ වී දරුවන් දෙදෙනකුගේ මව බවට පත් වූවාය. ඉන් පසු ඇය ගත කරන්නේ අප්‍රකට ජීවිතයකි.

ඩිකන්ස් තම පෙම්වතිය ගැන ප්‍රසිද්ධියේ කිසිදු සඳහනක් නොකිරීමට පරිස්සම් විය. ඔහුගේ දිනපොතෙහි පවා සොයාගත හැක්කේ ‘එන්’ අකුර යොදා කළ, රහස් සටහන් කීපයක් පමණි. එහෙත් දැන් ඩිකන්ස් රසිකයෝ ‘නෙලී’ නමැති ඒ නවක නිළිය දැකීමට, චිත්‍රපට ශාලාවලද රොක් වෙති. ඩිකන්ස්ගේ මරණයෙන් වසර 150කට පසුව නෙලී යළි ඉපදී සිටී.

කපිල කුමාර කාලිංග

දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top