ආසියානු රටවල් යළිත් වසා ගත් කොවිඩ් උවදුර

මේ තත්ත්වය යටතේ ආසියානු කලාපයේ රටවල් ගණනාවක් වසංගත ව්‍යාප්තිය හමුවේ දැඩිව පීඩා විඳින බව පැහැදිලිය. එය කිසි සේත් බැහැර කළ නොහැකි තත්ත්වයකි. මෙය වඩාත් ඛේදනීය අන්තයකට ගමන් කිරීම වළක්වා ගැනීමට නම් සෞඛ්‍ය පහසුකම් නැංවීමට අමතරව පුද්ගලයන් ලෙස තනි තනිව තමන්ට පැවරෙන වගකීම සහ සමාජ වගකීම ද බිඳකුදු නොපිරිහෙළා ඉටු විය යුතු බව ඉතා පැහැදිලිය.

ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනයට ලක් වූවන්ගේ සංඛ්‍යාව මිලියන 145 ඉක්මවා තිබේ. වයිරසයට ගොදුරු වූ ජීවිත සංඛ්‍යාව මිලියන 3 පසු කර ඇත. මෙතෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව මිලියන 123ට වැඩිය. දෙවැනි වටය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාවේ නිර්මාණය වී ඇති තත්ත්වය අතිශයින් කනගාටුදායක වී තිබේ. වසංගත ව්‍යාප්තිය ඇරඹී ගෙවී ගිය වසරකට වැඩි කාල සීමාව තුළ ලොව කොතැනින් හෝ වාර්තා වූ දෛනික වැඩිම ආසාදිතයන් ගණන ද ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දියාවෙන් වාර්තා විය. එම සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවීය. එදින වාර්තා වූ මරණ සංඛ්‍යාව 2104කි. ඉන්දීය රජයේ සංඛ්‍යා ලේඛන දක්වන පරිදි මේ වන විට එරට ජනයාගෙන් කෝටි 13.5කට එන්නත් දී ඇත. ඉකුත් බ්‍රහස්පතින්දා තුළ පමණක් එන්නත් ලක්ෂ 30ක් දී තිබේ.

ඉන්දියාවේ රෝහල් ඇඳන් පිරී ගොස් ඇති අතර රෝගීන් සඳහා යොදා ගන්නා ඔක්සිජන්වල දැඩි හිඟයක් මතු වී තිබෙන බව වාර්තා විය. මේ හේතුවෙන් කාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට වෙන් කළ ඔක්සිජන් පවා අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් යොමු කර ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට, ඉන්දියාවේ පමණක් කොරෝනා වයිරසය විසින් ගොදුරු කරගත් ජීවිත සංඛ්‍යාව 185000ක් පමණ වේ. ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා රටවල් ගණනාවක් තාවකාලිකව සංචාරක තහංචි පනවා ඇත. එන්නත්කරණ වැඩසටහන් ද දියත් වීමත් සමඟ වයිරසය සාර්ථකව පාලනය කරමින් සිටින බවක් පෙන්නුම් කළ ඉන්දියාවේ තත්ත්වය එක්වරම ඛේදනීය හැරෙන්න පටන් ගත්තේ වාර්ෂික කුම්භ මේලා උත්සවයෙන් අනතුරුවය. එම උත්සව සඳහා ජනතාව අතිවිශාල වශයෙන් ඒකරාශි වී සිටි අයුරු දැකගත හැකි විය.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉකුත් සති අන්තයේ ලොක්ඩවුන් කරන ලද අතර නැවතත් එය සතියක කාලයක් සඳහා දීර්ඝ කිරීම ද සිදුව ඇත. රෝහල් අසල දැකගත හැකි දසුන් අතිශයින් සංවේදීය. ගිලන් රථ තුළ මෙන්ම රෝහල්වලින් පිටතදී පවා රෝගීන්ට ප්‍රතිකාර කරන අතර ඇතැම් රෝගීන් රෝහල්වලට ඇතුළු කිරීමට පෙරදීම ජීවිතයෙන් සමු ගන්නා බව වාර්තා විය. පවතින තත්ත්වය යටතේ ලොව වැඩිම රෝගීන් හා මරණ සංඛ්‍යා වාර්තා වන දෙවැනි රට බවට ඉන්දියාව පත්ව ඇත. තවමත් එහි පළමු තැන ඇත්තේ අමෙරිකාවටය.

ඉන්දියාවේ මෙවැනි බියකරු තත්ත්වයක් පවතින අතර ප්‍රාන්ත මැතිවරණ ද යෙදී ඇත. මුම්බායි හි මැතිවරණ කටයුතු සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි දින කිහිපයකට පෙර එහි සංචාරය කිරීමට නියමිතව සිටි නමුත්, අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් මඟින් දන්වා තිබුණේ එම සංචාරය අත්හිටුවූ බවය. කෙසේ වුව ද, බටහිර බෙංගාලයේ ජනතාවගෙන් සිය ඡන්ද බලය භාවිත කරන ලෙස ඔහු ඉල්ලා තිබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බොහෝ රජයේ සහ පෞද්ගලික රෝහල් ඔක්සිජන් සපයන ලෙසට ඉල්ලීම් කර තිබේ. ඉකුත් බදාදා පමණක් දිල්ලියට ඔක්සිජන් ටොන් 500ක් සපයා තිබුණ ද දෛනික අවශ්‍යතාව ටොන් 700ක් පමණ වේ. එදිනට දිල්ලි අධිකරණය රජයට නියෝග කළේ කම්හල්වල සිට ඉන්දියාව පුරා රෝහල්වලට ඔක්සිජන් සැපයුම විධිමත්ව සිදු වන බවට වගබලා ගන්නා ලෙසටය. දිල්ලි මහ ඇමැති අර්වින්ද් කෙජ්‍රිවාල් පවසන පරිදි මේ වන විට ඔක්සිජන් ලැබෙමින් ඇති අතර එම සෑම සැපයුමක්ම රෝහල් වෙත දීමට ඔවුහු වෑයම් කරමින් සිටිති. ගුවන් මඟින්ද එම හදිසි සැපයුම් සිදු කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

කුම්භ මේලා, උත්සවයට ජනයා රැස් වූයේ මිලියන ගණනිනි. ඊට අමතරව දේශපාලන රැලි, ක්‍රිකට් තරග සහ මංගල උත්සව සඳහා ද ජනතාව විශාල ලෙස ඒකරාශි වූහ. මේ ප්‍රවණතාව අනතුරුදායක බව ජනතාව වටහා නොගත් සෙයක් පෙනෙන්නට තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ ලොක්ඩවුන් තත්ත්ව ප්‍රකාශයට පත් කර ඇති අතර ඇතැම් ප්‍රාන්තවල අත්‍යවශ්‍ය නොවන සියලු වෙළෙඳසල් සති අන්තයේ වසා දමා තිබේ. කල්කටා වැනි ප්‍රාන්තවල රෝහල් ඇඳන් හිඟ වී ඇති බව ද වාර්තා විය. නගරයේ සෑම රෝහලකම පාහේ ඇඳන් ගැනීම සඳහා අවම වශයෙන් 100 දෙනකුවත් අපේක්ෂාවෙන් සිටින බව සෞඛ්‍ය අංශවලින් පැවැසිනි.

මෙම පසුබිම යටතේ, මේ වර්ෂයේ මුල පටන් කොරෝනා වයිරසයට එරෙහි එන්නත් නිෂ්පාදනය ද යම් දුරකට මන්දගාමි වී හෝ නතර වී ඇති බව ද වාර්තා වේ. ඔක්සිජන් සැපයුම හිඟ වීම එම ක්‍රියාවලියට ද බලපා ඇත. මේ තත්ත්වය අයුතු ලාභ හා වාසි ගැනීම පිණිස කළු කඩ වෙළෙඳපොළට අවස්ථාවක් උදා කර තිබේ.

අමෙරිකාව සිය රටවැසියන්ට අවවාද කර ඇත්තේ අවම වශයෙන් එන්නත් මාත්‍රා 2 ම ගෙන අවසන්ව ඇත්නම් මිස ඉන්දියාවේ සංචාරය නොකරන ලෙසය. බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කර ඇති අතර හොංකොං සහ නවසීලන්තය ගුවන් ගමන් තහනම් කර තිබේ. ඔස්ට්‍රේලියාව ද ඉන්දියාවෙන් සිය රටට පැමිණෙන පුද්ගලයන් සඳහා දැඩි සීමා පැනවීමට ක්‍රියා කර ඇත. එවැනි පුද්ගලයන් නිරෝධායනයට යොමු කළ පසුව ඔවුන් අතරින් 40%ක් පමණ කොවිඩ් ආසාදිත පුද්ගලයන් ලෙස හඳුනාගැනෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසා තිබේ.

මැයි මස 1 වැනිදා වන විට අවුරුදු 18 ට වැඩි සියලු වැඩිහිටියන් එන්නත් ගැනීමට සුදුසු වන බව ඉන්දියාව ප්‍රකාශ කර ඇත. රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටිය ද උද්ගතව ඇති බරපතළ තත්ත්වය හමුවේ ඒවා ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වෙමින් පවතී. ජනතාව මිය යන්නේ ඔක්සිජන් සැපයීමට රෝහල්වලට නොහැකි වී ඇති නිසා බවට මැසිවිලි නැ‍ඟෙමින් තිබේ. මේ චෝදනාව සත්‍ය බව පිළිගැනීමට සිදු වේ. අධිකරණයේදී ද ඒ බැව් පැහැදිලි විය.

අගමැති මෝදි නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් සැපයුම සිදු වන බවට වගබලා ගන්නා ලෙසටය. ඊට අවශ්‍ය විධික්‍රම සොයා බලන ලෙස ද ඔහු ඉල්ලා තිබිණි. කෙසේ වුව ද, එය පහසු කාර්යයක් නොවන බව පෙනෙන්නට ඇත.

රට පුරා ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් මේ වන තෙක් සිදු වී නොමැත. ප්‍රාන්ත වශයෙන් පමණක් එම පියවර ගනිමින් තිබේ. ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රය ද වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තත්ත්වය වඩාත් බරපතළය. එය කොවිඩ් – 19 උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත. වසංගත ව්‍යාප්තියත් සමඟ එරටින් වාර්තා වූ ආසාදිත පුද්ගලයන් අතරින් ¼ ක්ම වාර්තා වූයේ එම ප්‍රාන්තයෙනි. මහා රාෂ්ට්‍රයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ද සෙසු ප්‍රාන්තවලට වඩා ඉහළය. උත්තර ප්‍රදේශය ගැන ද මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබේ. වැඩිම බලපෑමක් ඇති දිස්ත්‍රික්ක 5 ක් ලොක්ඩවුන් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇත. එම තීරණය පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.

නේපාලයෙන් පළමු කොවිඩ් ආසාදිත පුද්ගලයා මීට දින කිහිපයකට පෙර වාර්තා විය. ඒ හිමාලය තරණය කිරීමට පැමිණි කණ්ඩායම් අතුරිනි. සති ගණනාවක් තිස්සේ කඳු තරණය අත්හිටුවා තිබූ අතර යළි එම අවසරය ලැබී ඇත්තේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය. කත්මන්ඩු අගනුවරදී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් කඳු නඟින්නන් කීප දෙනකුම වයිරස ආසාදනයට ලක්ව ඇති බව හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ තත්ත්වය හිමාලය කේන්ද්‍ර කර ගත් සංචාරක කර්මාන්තයට යළිත් බලපෑම් කරන බව පෙනෙන්නට ඇත. ඉකුත් වසරේදී ද ලොක්ඩවුන් තත්ත්වය නිසා එය විශාල පසු බෑමකට ලක් විය. කඳු තරණය සඳහා අවසර ලැබෙන්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම පීසීආර් පරීක්ෂණ ආදිය සඳහා එකඟ වීම වැනි දැඩි ක්‍රියාමාර්ග යටතේය. කෙසේ වුව ද ඇතැම් අය මෙම උපදෙස් කඩ කරන තත්ත්වයක් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. සංචාරකයන් සඳහා අමතර රක්ෂණයක් හඳුන්වා දී ඇති බව ද මෙය මේ අන්දමින් විවෘත කර පවත්වා ගැනීම මිස අන් විකල්පයක් නැති බව ද නේපාල සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසන්නේ, “අපට කඳුකර ආර්ථිකය පවත්වා ගැනීමටත් අවශ්‍යයි” යනුවෙන් දක්වමිනි. මෙතෙක් නේපාලය කොවිඩ් – 19 බලපෑමට හසු නොවූ තරම්ය.

ලාඕසය ද සිය අගනුවර ලොක්ඩවුන් කිරීමට පියවර ගෙන ඇත්තේ කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම පිළිබඳ සැලකිල්ලට ගනිමිනි. සිය දේශසීමා වසා දැමීමට ද ලාඕස බලධාරීහු පියවර ගත්හ. අසල්වැසි තායිලන්තයට යාබද ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු කිහිපයක් හඳුනා ගැනීම ඊට බලපෑවේය. විශේෂයෙන් අගනුවර වැසියන්ට නගරයෙන් බැහැරවීම ද, පිටස්තරයන්ට නගරයට ඇතුළු වීම ද තහනම් කර ඇත. ලොක්ඩවුන් රෙගුලාසිවලට අගමැති විසින් අත්සන් තබා තිබේ. දැඩි සීමා කිරීම් මැයි 5 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇතැයි සඳහන් වේ.

ලාඕසයේ සමස්ත ජනගහනය මිලියන 7.5කි. ඉන් අගනුවර 700,000ක් පමණ වාසය කරති. ඉකුත් බදාදා අගනුවරින් හඳුනාගත් ආසාදිත පුද්ගලයන් ගණන 28ක් වන අතර ඒ සමඟ එරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 88ක් විය. අසල්වැසි තායිලන්තය ද කොවිඩ් – 19 වසංගතයට එරෙහිව දැඩි සටනක යෙදී සිටින නමුත් රට පුරා ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශ කර නැත. බොහෝ පළාත්වලට ඇතුළු වන පිටස්තරයන් නිරෝධායන රෙගුලාසි පිළිපැදිය යුතුය. ඉකුත් බ්‍රහස්පතින්දා තායිලන්තයෙන් වාර්තා වූ ආසාදිත පුද්ගලයන් ගණන 1470කි. ඒ සමඟ එරට එම සමස්ත සංඛ්‍යාව 48000 පසු කළේය. මෙතෙක් 117 දෙනකු මරණයට පත්ව තිබේ.

මේ තත්ත්වය යටතේ ආසියානු කලාපයේ රටවල් ගණනාවක් වසංගත ව්‍යාප්තිය හමුවේ දැඩිව පීඩා විඳින බව පැහැදිලිය. එය කිසි සේත් බැහැර කළ නොහැකි තත්ත්වයකි. මෙය වඩාත් ඛේදනීය අන්තයකට ගමන් කිරීම වළක්වා ගැනීමට නම් සෞඛ්‍ය පහසුකම් නැංවීමට අමතරව පුද්ගලයන් ලෙස තනි තනිව තමන්ට පැවරෙන වගකීම සහ සමාජ වගකීමද බිඳකුදු නොපිරිහෙළා ඉටු විය යුතු බව ඉතා පැහැදිලිය. වසංගත යක්ෂයා පරාජය කළ හැකි වනු ඇත්තේ එවැනි හැඟීමකින් හා වගකීමකින් යුතුව එක්ව නැඟී සිටිය හොත් බව නොපමාව අවබෝධ කර ගත යුතුය.

ධම්මික සෙනෙවිරත්න-දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top