ආර්ජන්ටිනාවේ පුරාවෘත්තය වූ මැරඩෝනාගේ ජීවන ගමන නිමවෙයි..

ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම සහ ජනප‍්‍රියම පාපන්දු ක‍්‍රීඩකයන් අතරින් පෙරමුණේ පසුවූ ආර්ජන්ටිනාවේ පුරාවෘත්තයක් බඳු වූ ඩියාගෝ මැරඩෝනා හෘද රෝගයකින් මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

ලොව ප‍්‍රකට ක‍්‍රීඩා සමාජයක් වන බාසිලෝනා සහ නැපෝලි ක‍්‍රීඩා සමාජ නියෝජනය කළ මැඩෝනා මීට සති කිහිපයකට පෙර මෝළයේ සැත්කමකට භාජනය වු අතර එය සාර්ථකව නිම වීමෙන් පසු ඔහු නිවසේ සිටියදී හෘද රෝගයකින් මිය ගොස් තිබේ.

අදාළ සැත්කමෙන් පසුව මත්ද්‍රව්‍ය භාවිතයද මැරඩෝනාට සම්පූර්ණයෙන් තහනම් කර තිබුණි. මැරඩෝනාගේ මිය යෑමට පෙර තම බෑණා සමග අවසන් වරට පවසා ඇත්තේ ‘මට අසනීපයක් දැනෙනවා’ යන්නයි. එය ආර්ජන්ටිනාවේ මාධ්‍යවලද සඳහන් විය.

ඉකුත් බදාදා උදෑසන උදේ ආහාරය ගැනීමට පැමිණි මැරඩෝනාගේ මුහුණ සුදු මැලි වී තිබූ බවත් ඔහුට සීතලක් දැනෙන බවත් පවසා ඇත. අනතුරුව රෝහලකට කතා කරමින් වෛද්‍යවරුන් ගෙන්වීමට කටයුතු කළද ඒ අතරවාරයේදී මැරඩෝනා සිය අවසන් හුස්ම පිට කර අවසන්ව තිබුණි.

1986 දී ආර්ජන්ටිනාවට ලෝක කුසලාන දිනා දුන් මැරඩෝනා එම ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය පරාජය කිරීමට අතින් ලබාගත් ගෝලය පාපන්දු ලොව නොමැකෙන සිද්ධියකි. මෙම විශ්මජනක පාපන්දු තරුව ක‍්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු වන ජීවිතයකට සමාන දිවි පෙවතක් ගත කර තිබේ. එහිදී ඔහු අධික මත්ද්‍රව්‍ය ලෝලියකු මෙන්ම කොකේන් නැමැති මත්ද්‍රව්‍යද භාවිතා කර ඇතැයි වාර්තා වේ.

මෙම සුපරි පාපන්දු තරුවගේ නික්ම යෑම හේතුවෙන් දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශ කිරීමට ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ක‍්‍රියා කර තිබේ. ‘‘ඔබ අපව ලෝකයේ මුදුනට ගෙන ගියා. ඔබ අපව ඉමහත් සතුටට පත් කළා. ඔබ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි.’’ යනුවෙන් ආර්ජන්ටිනා ජනාධිපති ට්විටර් පණිවුඩයක සටහන් කර තිබේ.

මැරඩෝනාගේ අභාවය දැනගත් ලෝක වාසීන් ඔහුට විවිධ අයුරින් ගෞරව දක්වන අතර ලොව පුරා සිටින ජනාධිපතිවරු ඇතුළු ප‍්‍රභූවරුන්ද ඔහුට ගෞරවය දක්වා තිබේ. මැරඩෝනාගේ සදාකාලික පේ‍්‍රක්ෂකයන් ලොව පුරා සිටින අතර ඒ අතරින් ආර්ජන්ටිනාවේ සහ ඉතාලියේ බහුතරයක් ක‍්‍රීඩාලෝලීන් වීදිවලට බැස මේ ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයා වෙනුවෙන් හඬා වැළෙපෙමින් ශෝකය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top