උත්සව සමයේ බස්නාහිරින් පිට වන අයට අහඹු පරීක්ෂණ

අලුත් අවුරුදු කාලය ඉලක්ක කර ගනිමින් බස්නාහිර පළාතෙන් පිටතට යන ජනතාවගේ අහඹු පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

අලුත් අවුරුදු කාලය සැමරීම සඳහා බස්නාහිර පළාතේ සිට තම ගම්බිම් බලා යන පිරිස ඉලක්ක කර ගනිමින් මේ පරීක්ෂණ කර කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනා ගැනීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

ආයෝජන කලාපවල වැඩ කරන පුද්ගලයන් විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් කිසිදු ආසාදිතයකු බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට යෑමේ අවදානම වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් මේ වැඩපිළි‍වෙළ ක්‍රියාවට නංවන බවත් ඒ මහතා කීය.

තව සති දෙකකින් අලුත් අවුරුදු කාලය උදා වන්නේ යැයි ද මේ කාලය තුළදී බොහෝ දෙනකු කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශවල සිට තම ගම්බිම් බලා පිටත්ව යන්නේ යැයිද හෙතෙම පැවසීය.

අලුත් අවුරුදු කාලය තුළදී සෙනඟ එක්රැස් වීම, අවුරුදු උත්සව පැවැත්වීම යනාදී කාරණා කරන විට කොවිඩ් – 19 මර්දනය සඳහා අනුගමනය කළ යුතු කාරණා ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියේය.

සන්ධ්‍යා කරුණාරත්න

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top