ජෝතිපාලට ෆ්‍රෙඞීට ඇන්ජලින්ට නීලාට ගීත ලියූ හෙක්ටර් විජේසිරි මුල්වරට මාධ්‍යයට කතා කරයි.

මම ඉගෙන ගත්තේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිගෙන්

හැට අවුරුද්දකට ආසන්න ගීත රචනා කලා ඉතිහාසයකට අයිතිවාසිකම් කියන හෙක්ටර් විජේසිරි ගැන දන්නේ ඔහු ලියූ ගී කියූ ගායක ගායිකාවන්ම පමණකි. රුක්මනී දේවියටත්, ඩබ්ලිව්.ඞී. අමරදේවටත්, නන්දා මාලිනීටත්, ධනපාල උඩවත්තටත් තවත් ගායක ගායිකාවන් හාර පන්සියයකට පමණත් හැට අවුරුද්දක් තිස්සේ ඔහු ලියූ ගී කර්තෘ අඥාත පදනම යටතේ විවිධ මාධ්‍ය ඔස්සේ අදටත් ප‍්‍රචාරය වේ. ගතින් වැහැරී ඇති නමුදු හදවතින් මහත් සේ සවිමත් හෙක්ටර් විජේසිරි ගැන අප දැනගන්නේ අහම්බෙනි. ඔහු පිළිබඳ වැඩසටහනක් කිසිදු රූපවාහිනී නාලිකාවක් හෝ ගුවන්විදුලි නාලිකාවක් විසින් ප‍්‍රචාරය කරනු ලැබ නැත. ඔහු පිළිබඳ කිසිදු ලිපියක් කිසි කලෙකත් පුවත්පතක පළ වෙලා ද නැත. පළමු වරට හමුවන්න හෙක්ටර් විජේසිරි.

* මා ආදරණීය මගේ අම්මා වෙතටයි, කිරි අම්මාවරු දනට වඩිනවා, ආශා මල් පීදී නිල් දෑසේ වැනි ගීත රාශියක් ඔබ රචනා කර තිබෙනවා. ඔබ ලියූ පළමු ගීතය ඔබට මතකද?

පළවෙනි ගීතය මං පාසැල් යන කාලේ ලිව්වේ මුලින්ම. අපේ පාසලේ තිබුණා ප‍්‍රසංගයක්. ඒකට නාට්‍යයක් කළා. ඒ නාට්‍යය මම තමයි ලිව්වේ. ඒකෙ ගීතයක් තිබුණා සෙල්ලං ගෙයක් හදා කියලා. ගුවන්විදුලියේ තැටිය තියෙනවා. මං පටන් ගත් තැන එතන.

* පාසලේ වේදිකා නාට්‍යයකට ලියූ ගීතයක් ගුවන්විදුලියේ තැටිගත වුණේ කොහොමද?

ඕක දවසක් නිකං කියනවා ඇහිලා මෙහෙ බෑන්ඞ් එකක කට්ටියක් ඒ ගීතය ඉල්ලූවා.

ඒගොල්ලෝ සිංදු හතරක් කළා. මේකත් ඒකට ඇතුළත් වුණා. ඒක ගුවන්විදුලියේ අනුමත වුණා. ගීතයක් වශයෙන් දැන් තියෙනවා. මුලින්ම ඉස්කෝලෙදි ගායනා කළේ පාසලේ ජෝශප් පීරිස් කියලා එක්කෙනෙක්. බෑන්ඞ් එකට ගත්තයින් පස්සේ වෙන එක්කෙනෙක් ගායනා කළා. පසු කාලේ ආයෙමත් පුන්සිරි සොයිසාත් ගායනා කළා ඒ ගීතය මගෙන් ඉල්ලගෙන.

* ඔය ගීතය රචනා කිරීමත් එක්ක ඔබ දිගටම ගීත රචනා කළාද?

නැහැ. මම වාදකයෙක් වශයෙන් තමයි කලාවට යොමුවුණේ. දෝලක් වාදකයෙක් වශයෙන් තමයි ගමන ආරම්භ කළේ පාසල් කාලෙන් පස්සේ. ඊළඟට තබ්ලා වාදකයෙක් වශයෙන් පුහුණුවීම් ලබලා තබ්ලා වාදකයෙක් වශයෙන් ඉන්න අතරේ තමයි මම නැවත ගීත ලියන්න පටන් ගත්තේ. ඒ කාලේ හැම තැනම තිබුණා බජව් කියලා සංගීත ප‍්‍රසංග කලාවක්. ඒ කාලේ හිටියා තිලකසිරි ප‍්‍රනාන්දු කියලා වාදකයෙක් වගේම ගායකයෙක්. ඔහු සේවය කළේ ගුවන්විදුලි සංස්ථාවේ. දවසක් මට ඔහුව මුණගැහුනා සංගීත කටයුත්තකට ගිය වෙලාවේ. එවේලේ එතුමා මට කතා කළා ගුවන්විදුලියේ වැඩසටහනක් තියෙනවා ඒකට එන්න කියලා. මම එතුමාත් එක්ක තමයි ගුවන්විදුලියට මුලින්ම ගියේ. මට එතෙන්දි මුණගැහුනා පී.එල්.ඒ. සෝමපාල, ගුරුගේ, කොළඹගේ, ඩන්ස්ටන් සිල්වා වගේ දැවැන්ත චරිත. ඉතිං ඒ අය අතර මට වැඩසටහන් වෙත ගීත ලියන්න අවස්ථාව ලැබුණා.

* ඔබ මුල් කාලයේ ලියූ ගීත දැන් අහන්න නොලැබෙන්නේ ඇයි?

ඉස්සරම ගුවන් විදුලියට ලියපු එක ගීතයක්වත් තැටිගත වුණේ නෑ පහුකාලේ වෙනකං. සරල ගී වුණත් සජීවීව කරනවා. ඉතිං ඒ ගීත පැවතුනේ නැහැ. අහවල් ගීතය කියලා කියන්න තරමට දෙයක් ඉතුරු වුණේ නැහැ. පහුකාලේ පටිගත කිරීම් වෙනකොට තමයි අපිට දිගට තියාගන්න පුළුවන් ගීත බිහිවුණේ. දවසක් මොහිදීන් බෙග් මහත්මයා මට කතා කරලා කිව්වා සිංදුවක් තියෙනවා ලියන්න පුළුවන්ද කියලා. මං කිව්වා ලියන්නං කියලා. එතුමා එතකොට මම දෝලක් වාදකයෙක් වශයෙන් ඉන්න බව දන්නවා ක්ෂේත‍්‍රයේ. ප‍්‍රසිද්ධ වෙන ගීතවලින් පළවෙනි ගීතය බෙග් මහත්තයට තමයි ගුවන්විදුලියේදී මම ලිව්වේ. ”මාගේ රට සිරි ලංකාවයි” කියන ගීතය. ඒ ගීතයත් තැටිගත කළේ නැහැ. ඒකත් ඒ වැඩසටහනෙන් පස්සේ නැවත අහන්න ලැබුණේ නැහැ. ඔහොම ඉන්නකොට ඉතිං සරල ගී, අවුරුදු, විරිඳු වැඩසටහන්වලට ගීත ලියවගන්න පටන් ගත්තා. ඔහොම ඇවිදිල්ලා කැසට් යුගය බිහිවුණා. එතකොට තමයි වැඩිවශයෙන් මට ගීත ලියන්න ලැබුණේ. ඒ කාලේ මම ගීත දහස් ගාණක් ලිව්වා.

* ඔබ ෆ්‍රෙඞී සිල්වාටත් ගීත රචනා කළා නේද?

ඔව්. ඉන් එකක් තමයි කමත ගාව ගීතය. ඒක ෆ්‍රෙඞී සිල්වා සහ නිරෝෂා විරාජිනී ගායනා කළේ. ඒකෙ තනුවත් මමයි කළේ. සංගීත අධ්‍යක්ෂණය කළේ රංජිත් ඩයස්. මේ ගීතය බිහිවෙන්න හේතුවක් තියෙනවා. මම පොඩි කාලේ අපේ පැත්තේ එනවා අහිගුණ්ඨික කණ්ඩායම්. ඒ අය බූරුවෝ පිටේ බඩු තියාගෙන ඇවිදිල්ලා පොඩි කූඩාරම් ගහලා ටික දවසක් ඉන්නවා ඒ හරියේ. අපි හවසට ඒක බලන්න යනවා. ඒගොල්ලෝ නයි නටවනවා, රිලව් නටවනවා ඉතිං ඕවා බලලා කීයක් හරි දීලා ගමේ මිනිස්සු සතුටු වුණා. ඔතෙන්දි එක දෙයක් මට දකින්න ලැබුණා ඇස් දෙකටම. ඒ පැත්තේ කුලවත් ධනවත් බලවත් එක්කෙනක් හිටියා. එයා ගේ කුඹුරු තිබුණා. ඒකෙ කමතක් තිබුණා. ඒ කමත ළඟ බොල් වී ගොඩක් තිබුණා. දවසක් දා මං දැක්කා අහිගුණ්ඨික කාන්තාවක් එතැන බොල් වී පොලනවා. පොලලා හොඳ ටික එයා ලබාගෙන ජීවත් වෙන හැටියක් වගේ මට දකින්න ලැබුණා. ඕක මගේ හිතේ තිබ්බා. දවසක් ෆ්‍රෙඩි සිල්වා මගේ හොඳ යාළුවා ඔහුගේ කැසට් එකකට මට ගීත දෙකක් ලියලා දෙන්න කියූ වෙලාවේ ඔය සිද්ධිය පාදක කරගෙන මං එක ගීතයක් ලිව්වා. ඒක තමයි මේ කමත ගාව කියන ගීතය.

* ඔබ ලියූ ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි’ ගීතය වඩාත් ජනාදරයට පත්වූ ගීතයක්. රණවිරු ගීත කලාවේ ආරම්භකයා ඔබද?

යුද්ධ වකවානුවේ, උතුරේ ආරම්භය තියෙන කාලේ ලියූ ගීතයක්. කොහොමත් පොඩි කාලේ ඉඳලම රට ගැන මට ආදරයක් කැක්කුමක් ඇතිවුණා. හේතුව ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගෙන් තමයි මම වැඩිපුර ඉගෙනගත්තේ. අයන්නේ ඉඳලම ඉගෙනගත්තේ. ඉතිං උන්වහන්සේගේ ආභාසය නිසා මට රට ගැන පොඩිකාලේ ඉඳලම ලොකු ඇල්මක් ඇතිවෙලා තිබුණා. යුද්ධය ඇරඹුණු දවස්වල රටට ඇතිවෙන තත්ත්වේ ගැන, හානිය ගැන මගේ හිතේ ඇතිවුණේ බොහොම වේදනාත්මක හැඟීමක්. සිංග් ලංකා ආයතනයට තමයි මට මේ ගීතය ලියන්න අවස්ථාව ලැබුණේ. ධනපාල උඩවත්ත තමයි මේ ගීතය ගායනා කළේ. වර්නන් පෙරේරා තනුව යෙදුවේ. ඒ වෙලාවේ අපේ රටේ රණ ගී එතරම් බිහිවෙලා තිබුණේ නෑ. රණ ගී සම්ප‍්‍රදායක් සංස්කෘතියක් බිහිවුණේ මේ ගීතයෙන් වගේ තමයි පස්සේ මට දැනුනේ. ඒක මිනිස්සු අතර බොහොම ජනප‍්‍රිය තත්වෙට පත්වුණා. මොන හේතුවක් ද මන්දා. රට ගැන තියෙන ඇල්ම වෙන්නැති. ඒ ගීතය මගේ ජීවිතේටත් ආලෝකයක් වගේ වුණා. පසුව සමාගම්වලින් මට ආරාධනා කරන්න පටන් ගත්ත මෙවැනි ගීත ලියන්න කියලා.

* ආශා මල් පීදී නිල් දෑසේ ගීතය ලිව්වේ කාගේ ආරාධනාවකටද?

රොහාන් ද සිල්වා ගයන මේ ගීතය, රූකාන්ත ගුණතිලක තමයි සංගීතය සහ තනුව. ඔගී රණවීර කළ ස්ටුඩියෝ එකට ගියා මං මගේ වෙන වැඩකට. ගියාම එතන හිටියා රූකාන්ත ගුණතිලක. මට කිව්වා අනේ මට මේ ගීතයක් ලියලා දෙන්න කියලා. තනුවත් දාලා ට‍්‍රැක් එක ගහලා තියෙන්නේ කියලා කිව්වා. පස්සේ මම පැත්තකට වෙලා මෙලඩිය අහලා බලලා ඔය ගීතය ලියලා දුන්නා. ට‍්‍රැක් එක අහලා බලනකොට මට හිතුනේ ඔය වගේ දෙයක් වෙන්න ඇති ඒ සංගීත රටාවේ හැටියට ගැලපෙන්නේ කියලා. ඉතිං මං ඒක ලියලා දුන්නා. ගායකයාත් ඒක හොඳට කිව්වා. ඒ වගේම ඒකත් ජනප‍්‍රිය වුණා මිනිස්සු අතර හොඳට.

*”කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ ගීතය?

චන්ද්‍රලේඛා පෙරේරා මං ලියූ ඒ ගීතය හරි ලස්සනට ගායනා කළා. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතය. වික්ටර් රත්නායක ගයන ”ජීවත් වනදා දැකගන්නට ඇවිත් නොගිය දරුවෝ” ගීතයත් මට මේ වෙලාවේ මතක් වෙනවා. එතකොට උරේෂා රවිහාරි ගායන ජීවිතේට කාටවත්ම නෑ මා කැසට් ආයතනයක ඉල්ලීමකට ගීතයක් ලියන්න වුණ වෙලාවේ ලියූ ගීතයක්. හින්දි තනුවකට ලිව්වේ. ස්ටුඩියෝ එකට ගිය වෙලාවේ ලිව්වේ සංගීතය කරපු කට්ටිය කිව්වා මේක ලියලා දෙන්න කියලා. එවලේම වගේ ලියලා දීපු ගීතයක්. ඒකත් හරියට ජනප‍්‍රිය වුණා.

* රාජු බණ්ඩාර ගයන

”ඔය රූ සෝබා” ගීතය?

මහින්ද බණ්ඩාර වෙන්න ඕන ඒ ගීතයේ සංගීතය කළේ මට මතක හැටියට. ඔය වගේම ඉන්ද්‍රානි පෙරේරාට ගීත ලියලා තියෙනවා මං වැඩසටහන්වලට. නමුත් කියන්න තරං මට මතකයක් නැහැ දැන්. ඒ ගැන කතා කරන්නත් බැහැ මොකද මගේ ළඟ නැහැ දැන් ඒවා. පුන්සිරි සොයිසාටත් මං ගීත හුඟක් ලියලා තියෙනවා. කැසට් ගීත. හින්දි තනු වලට ලියූ ගීත හුඟක් තියෙනවා. මට මතක් වෙන්නේ නෑ එක පාරට. ගීත තියෙනවා මගේ ළඟ කැසට් පටවල. ඒවා ඉතිං වෙනම වෙලාවක අහලා බලලා ඕන ඒ ගැන කතා කරන්න.

* ඔබ ලියූ ගීත බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔබ ලියූ බව?

මගේ පොතක් ළඟදී පිට කරන්න කටයුතු කරමින් ඉන්නේ මම. ඒකෙ ගීත සියයකට වැඩි ගණනක් එනවා. ඒ ටික ආවට පස්සේ හුඟක් දේවල් නිවැරදි වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද දැනටත් මගේ නම ඇතුළත් නොවී තියෙන ඒවා තියෙනවා. මම හැම පැත්තකම ගීත ලියපු කෙනෙක්. බයිලා කියලා මං නිකං හිටියෙත් නෑ. විකට ගීත කියලා මං නිකං හිටියෙත් නෑ. හැම පැත්තක්ම මං ලියලා තියෙනවා. ඒක නිසාවෙන් මේ ගීත ගොඩක් තියෙනවා මිනිස්සු දන්නේ නෑ කව්ද ලියලා තියෙන්නේ කියලා. ඒ නිසා මගේ පොතට ඇතුළත් කරලා තියෙනවා මම ඔක්කොම කරුණු. මේක තාම මම කරගෙන යනවා. චිත‍්‍රපට ගොඩක මම ගීත ලියලා තියෙනවා. නමුත් ඒ චිත‍්‍රපට ගීත ගන්න ගියහම හරි අමාරුයි. මොකද කරපු අය ළඟ නෙමෙයි දැන් ඒ චිත‍්‍රපට තියෙන්නේ.

ඒගොල්ලන්ගෙන් ඉල්ලූවම ඒගොල්ලෝ දෙන්නෙත් හරි අකමැත්තෙන්. ඉතිං ඒ ගීත වගයක් තියෙනවා මට ගන්න. ඒ ටික ගන්න උත්සහ කරනවා මේ ටිකේම. ඒ ටික ආවට පස්සේ මට පොත ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට හුඟක් දේවල් නිවැරදි වෙයි මං හිතන්නේ.

*”සිතේ නපුරු ගතියෙන් එදා කරපු වරදින්” ඇතුළු ගීත ගණනාවක් ඔබ වර්නන් පෙරේරා ට රචනා කළා?
වර්නන් පෙරේරාටත් ගොඩක් ගීත ලියලා තියෙනවා මම. වර්නන් පෙරේරා සහ මාලිනි බුලත්සිංහල ගයපු ගීතයක් මට මතකයි. වර්නන් පෙරේරා කැසට් එකක් කළා මගේ ආදරේ කියලා. ඒ කැසට් එකේදී මට ගීත කිහිපයක් දුන්නා ලියන්න. හැබැයි ඒ ඔක්කොම දුන්නේ තනුවලට ලියන්න. ඉතිං එතන ටිකක් දුකට බර වෙච්ච සංගීතය තිබුණ නිර්මාණයකදී තමයි මං මේ ගීතය ලිව්වේ. බීමත්ව මිතුරන් හා වැරදි ජීවිතයක් ගත කළ සැමියෙක් අතින් කෙනෙක් මිය ගිහිං ඔහුට හිර ගෙදර යන්න වෙනවා. එතෙන්දි තමයි මෙයාට තේරෙන්නේ මේ ජීවිතේ ගෙවිච්ච විදිහ වැරදියි කියන එක. බිරිඳත් හිතනවා ගෙදර ඉඳගෙන කොච්චර නපුරු මිනිහෙක් උනත් මටත් දැන් තමයි ඒ මනුස්සයගේ අගේ කියන එක තේරෙන්නේ කියලා. තනි උනාට පස්සේ දරුවොත් එක්ක එයාටත් තේරෙනවා. ඒ දෙන්නගේ සිතුවිලි තමයි මේ ගීතයේ තියෙන්නේ. ඒ ගීතය විශාල වශයෙන් ඒ දවසවල මිනිස්සු අතරට ගියා. ඒ ගීතයෙන් පස්සේ හිර ගෙදර හා සම්බන්ධ තවත් ගීත කිහිපයක් මට ලියන්න ආරාධනා ලැබුණ, ඒක අහපු අයගෙන්. ඒකෙ තවත් ගීතයක් මං පුන්සිරි සොයිසා මහතාට ලිව්වා හින්දි තනුවකට ”පුංචි කාලේ මා පන්සල් එක්කගෙන ගිහිං, අම්මා කිව්වා අපායේ හැටි රූප පෙන්වමින්” නමින්. ඒක ලියන්න වුණ වෙලාවේ මට මතක් වුණා පොඩි කාලේ අපේ අම්මා අපි සහෝදර සහෝදරියෝ එක්කගෙන පසළොස්වක පෝය දවසට පන්සල් යනවා. පන්සල් පහක් විතර අපේ ගේ අවට තිබ්බා. ඒ පන්සල්වලට අපිවත් එක්කගෙන ඇය යනවා වන්දනාමාන කරන්න. පහන් පත්තු කරලා මල් පූජා කරලා අම්මා දේවල් කියලා දෙනවා අපට. අපි ඒවත්

අහගෙන ආපිට එනකොට අපාය කියලා බිත්තියේ ඇඳලා තිබිච්ච තැනකට එක්කං ගිහිල්ලා කිව්වා පුතේ මෙහෙමයි මේ අපාය මෙහෙම උනොත් මෙහෙම වෙනවා මේ ඒ දඬුවම් කියලා, ඒ ඔක්කොම විග‍්‍රහ කළා අපේ අම්මා. අපේ අම්මා මහා ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. ගැමි කාන්තාවක්. හැබැයි හොඳ නරක තේරෙනවා හොඳට. එදා අම්මා කියලා දීපු දේ තමයි මම ඒ ගීතයට ඇතුළත් කළේ. ඒ ගීතයත් ඉතිං ඒ කාලේ ජනප‍්‍රිය වුණා. ඒක කියන්නෙත් සිරගත වෙච්ච පුතෙක්.

* ඔබේ ගීත ගැයූ ගායක ගායිකාවන් කව්ද?

ස්ටැන්ලි පීරිස් තමයි මට ඒ කාලේ ජෝතිපාලගේ අරහේ මෙහෙ හුඟක් ගීත ලියන්න දුන්නේ. සමහර ඒවා කැසට්වල ආවා. සමහර ඒවා මොනවා උනාද කියලා හොයාගන්න නෑ. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලට ලියලා තිබුණා ගීතයක් ඒකත් ඒ කාලේ ජනප‍්‍රිය වුණා. ”පාසලේ පංතියේ යාලූ පෙරදිනේ, ආදරෙන් උන්න ඒ ඒ සුභා මා තමා” කියලා. තරුණ ළමයි දෙන්නෙක් අතර ඇතිවෙච්ච පේ‍්‍රම සම්බන්ධයක් ගැන. මොහිදීන් බෙග්, ජී. එස්. බී. රානි, සුජාතා, ඇන්ජලින් ගුණතිලක, නීලා වික‍්‍රමසිංහ, දිවුල්ගනේ, ගුණදාස කපුගේ, ඉෂාක් බෙග්, මිල්ටන් මල්ලවාරච්චි, ටී. එම්. ජයරත්න, නන්දා මාලිනි, අමරදේව ඇතුළු ගොඩක් අයට ගීත ලිව්වා. සමහර අය කියන්නත් මට මතක් වෙන්නේ නැහැ. එක එක අයට ලියූ ගීත එක එක තැන්වල තියෙනවා.

* ඔබේ ආදරණීයයන් ගැන මතක් කළ යුතුයි නේද?

අපේ තාත්තා ගැමියෙක්. භාෂාවල් කිහිපයක්ම ඉගෙනගත්ත කෙනෙක්. කියපු දේවල්වලින් හොඳන් ඉන්න කියන එක තමයි එයා හැමවෙලේම අදහස් කළේ. වැරදි නොකර හොඳ මග යන්න කියන එක. තාත්තාත් බොහොම නිහඬ චරිතයක්. ඔහු ඉදිරියට ඇවිල්ලා මහා ලොකු දේවල් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි කලා කටයුතුවලට තාත්තත් හරි ආසයි. මං පොඩි දවස්වල වගේ තාත්තා මිය ගියා. ඊට පස්සේ අපි කරපු වැඩ අපිට ඕන හැටියටම වගේ තමයි කෙරුණේ. බිරිඳ සංගීත ගුරුවරියක්. දැන් ඇය අසනීප තත්ත්වයේ ඉන්නේ. මොරටුවේ වික‍්‍රමශීලා කලායතනයට ගිය වෙලාවේ තමයි අපි දෙන්නා දැන අඳුන ගත්තේ. ඇසුරකින් පස්සේ අපි විවාහ වුණා. එයත් කලාවට කැමතියි. සංගීත ගුරුවරියක්නේ. අනික එයාට විශ්වාසයක් තිබුණා මං කරන වැඩ ගැන. මට උදව් වෙනවා. මගේ වැඩ වලට සෑහෙන සහයෝගයක් දෙනවා. මේ පොත උනත් එයාගේ අතින් තමයි හුඟක් දේවල් සිද්ධ වෙන්නේ. අපිට පුතෙක් ඉන්නවා. එයා එයා ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා. මමත් දැන් ටිකක් අසනීපෙන් ඉන්නේ. මගේ වකුගඩු දෙකම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. අනික දියවැඩියා රෝගය තදින්ම තියෙන කෙනෙක් මම. ප‍්‍රවේශම් වෙන්නත් ඕන නිසා ප‍්‍රතිකාර කටයුතුත් නිසා ඒකටත් වෙලාව අයින් කරන්න වෙලා තියෙනවා කරන වැඩකටයුතු අතරතුරේ.

* රත්න විභූෂණ ගෞරව සම්මානය, කොළොම්තොට සම්මානය, විශ්ව අභිනන්දන, කලාභූෂණ, රාජ්‍ය සම්මානවලින් ඔබ පිදුම් ලැබුවා?

ඔව්. කවදාහරි කලා කටයුතුවල යෙදෙනවයි කියන එක තමයි යම්තම් දැනුම් තේරුම් ඇති වයසේ ඉඳල ආසාවක් විදිහට හිතේ තිබුණේ. ඒ කාලේ ගෙවල්වලින් උනත් අවසරයක් දෙන්නේ නැහැ. ගෙදරට හොරෙන් වගේ ගිහිල්ලා ? තිස්සේ දේවල්වලට සම්බන්ධ වෙලා එහෙම එනකොට මට තේරුණා මේකේ වටිනාකමක් තියෙනවා කියන එක. ඒ නිසා වෘත්තීය ශිල්පියෙක් වෙන්න පටන් ගත්ත. එහෙම ඉන්නකොට මට පිරිසකුත් බිහිවුණා ප‍්‍රබලයින්. මං හිතනවා ඒ අය මගෙන් ගන්න තියෙන දේවල් ගත්තා කියලා බොහෝවිට. චිත‍්‍රපට කතා, තිර නාටක, දෙබස් ලියලා තියෙනවා. ගීත ලියලා තියෙනවා. චිත‍්‍රපට තිස් දෙකක විතර මං වැඩ කරලා තියෙනවා. වේදිකා නාට්‍ය කතා ලියලා තියෙනවා. වේදිකා නාට්‍ය විශාල ප‍්‍රමාණයක සංගීත කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. රණවිරු ගීත විශාල ප‍්‍රමාණයක් ලියලා තියෙනවා. නැතිවෙන්නේ නැතුව ඒ ගීත ටික ආරක්ෂා වෙනවා නං ඒක තමයි මගේ කැමැත්ත. ඒකෙන් කව්රු ප‍්‍රයෝජන ගත්තත් මට කමක් නෑ. නැති නාස්ති නොවී වෙනසක් නොවී තියෙනවා නං ඒකට තමයි මගේ කැමැත්ත. හමුදාවට ගීත තුන්සීයකට වඩා ලියලා ඇති. ඔක්කොම ගීත පන්දාහකට එහා පැත්තේ ඇති. කැසට් එනකොට ගීත ජනප‍්‍රිය වෙනවා. ඒවා නැවත භාවිතා වෙන්නේ නැතිකොට ඒ ගීත ඇහෙන්නේ නැතුව යනවා. ඉතිං කලා කටයුතුවල තමයි හැමදාමත් නිරත වුණේ. පසුව මට ඔය සම්මානත් ලැබුණා.

* නමුත් ඔබව කිසිම මාධ්‍යයකින් දක්නට ලැබිලා නැහැ?

මම කිසිම පත්තරේකට ලිපි දීලා නැහැ. මේ පළවෙනි පුවත්පත් ලිපිය. කිසිම මාධ්‍ය ආයතනයකට මාව ගෙනියලා නෑ. මම යන්න උත්සහ කරන්නෙත් නෑ. තාම මම රූපවාහිනී සංස්ථාව ඇතුළටවත් ගිහිල්ලා නෑ. මං දොස් කියනවා නෙමෙයි මේ ඒ අයට. මොකක් හරි හේතුවක් ඇති, අවශ්‍ය නොවනවා වෙන්නත් පුළුවන්. ස්වාධීන රූපවාහිනී හෝ පෞද්ගලික නාලිකාවලත් කිසි එකකට ගිහිං නැහැ මං කවදාවත්. ගුවන්විදුලියට මං මගේ හුස්ම ටිකට වගේ අදත් ආදරෙන් සලකනවා. ගුවන්විදුලියෙන් තමයි අපි ඉන්නවා කියන එක හරි රටට අඳුන ගන්න ලැබුණේ. ඒකට මං අදත් ගරු කරනවා. ගුවන්විදුලියට මං ණය ගැතියි. අනෙක කැසට් ව්‍යාපාර කරපු හැම කෙනකුටම මං හුඟක් ස්තුතිවන්ත වෙනවා ඒ ගායක ගායිකාවෝ සංගීතඥයෝ නිෂ්පාදකවරු මාව අරගෙන මගෙන් මොනවහරි උනා නං ඒ සේවය රටට ලබා දුන්නේ ඒ ඇත්තෝ. ඒ ඇත්තන්ටත් මං බොහොම ස්තුතිවන්ත වෙනවා. චිත‍්‍රපටවලට මාව සම්බන්ධ කරගත් හැම අයකුටම මම ස්තුතිවන්ත වෙනවා. මාධ්‍යවලින් මට එහෙම මුකුත් වෙනසක් කළා කියලා මං හිතන්නේ නැහැ. අමතකවීමක් හෝ අවශ්‍ය නොවීමක් මත හෝ මොකක්හරි හේතුවක් මත මට එහෙම යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ ලිපියේදී උනත් මගේ පිංතුර දානවට වඩා නොදානවා නං කැමැත්තකුත් තියෙනවා මගේ. මොකද මගේ නිර්මාණ මිසක මං ඉදිරිපත් උනේ නැහැ කවදාවත් කොතැනකවත්.

විශේෂ ස්තුතිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

සිරි කහවල මහතාට

යුගන්ති යශෝධරා

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top