අතපය රිදුණු පමණින් එය ආතරයිටිස් නොවෙයි…

ප‍්‍රශ්නය – සාමාන්‍ය ජනයා අතර අස්ථි රෝග වල ක‍්‍රමික වර්ධනයක් දකින්නට ලැබෙනවා. ඒ අතර වැඩිදෙනා කියන්නේ තමන් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බවයි. මෙය සත්‍යයක්ද?

වෛද්‍ය වසන්ත උදයජීව – අත පය රිදුනහම අස්ථියක වේදනාවක් ඇති බව දැනුනහම සාමාන්‍ය ජනයා කල්පනා කරන්නේ එය ආතරයිටිස් බවයි. නමුත් ආතරයිටිස් කියන්නේ පුළුල් මාතෘකාවක්. අස්ථි රෝග කියන්නේ ඊටත් වඩා පුළුල් මාතෘකාවක්. ආතරයිටිස් නොවන අස්ථි රෝග තත්ත්වයන් කිහිපයක්ම තිබෙනවා. දැනට කර තිබෙන පර්යේෂණ වලට අනුව ලෝකයේ වැඩිපුරම තිබෙන අස්ථි රෝගය තමයි ඔස්ටියෝ පොරෝසිස්. මෙහිදී වෙන්නේ අස්ථියේ ඝනත්වය ක‍්‍රමයෙන් අඩු වීමයි. මෙවිට එය ඕනෑම වෙලාවක කැඞී යන්නට පුළුවන්.

ප‍්‍රශ්නය – අස්ථි රෝගයක් හටගන්නා බව කෙනකු දැනගන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව – කිසියම් තැනක අස්ථියක් තුවාල වුණාම ඉන් පිටත තියෙන මාංශය ඉදිමෙන්නට පටන් ගන්නවා. සමහරවිට අස්ථිය ඇතුළතින් කැඞී වෙන්වෙලා නම් එම ස්ථානය චලනය කිරීමේදී කිසියම් හඬක් නිකුත් වෙනවා. මෙහිදී වේදනාවකුත් දැනෙනවා. ඇතුළත ආසාදනය වැඩිවන තරමට ඒ වටා ඇති මාංශයේ ඉදිමීම වැඩි වෙනවා. උණ තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟට අස්ථික ආබාධයක් හට ගන්නේ ඛනිජ ඌනතාවක් හටගත්තහමයි. මෙහිදී අස්ථිය කැඩෙන්නේ නැහැ. නමුත් වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. කැල්සියම් සහ ඞී විටමින් යන දෙක අස්ථියකට අත්‍යවශ්‍යයි. ඔස්ටියෝපොරෝසිස් ඇති වෙන්නෙත් කැල්සියම් සහ ඞී විටමින් ඌනතාවක් හටගත්තමයි. ඊළඟට පිළිකා තත්ත්වයකදිත් අස්ථිවල වේදනාව හට ගන්නවා. ශරීරයේ පිළිකාවක් ඇති වුණහම එය පියයුරු, පෙනහලූ, තයිරොයිඞ් ග‍්‍රන්ථි, වකුගඩු, පුරස්ථි ග‍්‍රන්ථි යනාදියට පැතිර ගොස් ඉන්පසු අස්ථි වලටත් ව්‍යාප්ත වෙනවා. මේ අතර අස්ථි පිළිකා කියලා වෙනම කොටසක් තිබෙනවා. එය ඉතාම දුර්ලභ පිළිකා තත්ත්වයක්. මේ මගින් අස්ථියේ ස්වාභාවික ව්‍යුහය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඊළඟට අස්ථි වලට අදාළ රක්ත හීනතා තත්ත්වයක් තිබෙනවා. මෙහිදී සිදුවෙන්නේ අස්ථියේ රුධිර සැපයුම හීන වීමයි. නිසි රුධිර සැපයුම නැති නිසා අස්ථි පටක ක‍්‍රමයෙන් මිය යන්නට පටන් ගන්නවා. එවිට අස්ථියේ වේදනාවක් හටගන්නා අතර අස්ථිය ක‍්‍රමානුකූලව දුර්වල වීම සිදුවෙනවා. එසේම, ඔස්ටියෝ මීයෙලයිටිස් නමැති රෝග තත්ත්වයක් තිබෙනවා. මෙහිදී සිදුවන්නේ අස්ථිය ආශ‍්‍රිතව හටගන්නා ආසාදනයක් අස්ථිය පුරා පැතිර යෑමයි. මෙවිට අස්ථි ෙසෙල විනාශ වීම සිදුවන අතර අස්ථිය මහත් සේ වේදනා දෙන්නට පටන් ගන්නවා. ලියුකේමියාව කියන්නෙත් අස්ථි ආශ‍්‍රිත රෝගයක්.

ප‍්‍රශ්නය – මෙවැනි රෝග තත්ත්වයන් සඳහා ප‍්‍රතිකාර තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව – විශේෂයෙන් ලියුකේමියා වැනි රෝගයකට ඕනෑම වෛද්‍ය ක‍්‍රමයක් යටතේ ප‍්‍රතිකාර කළ හැක්කේ එය හඳුනාගත් මුල් අවධියේදී පමණයි. ඕනෑම අස්ථි රෝගයක් මුලදී හඳුනාගත්තොත් සුවපත් කළ හැකියි. එය අවසන් අඩියට පත් වුණහම කළ හැක්කේ රෝගය කළමනාකරණය කිරීම පමණයි. ඒ නිසා අස්ථි වේදනාවක් හටගන්නා මුල් අවස්ථාවේදීම සුදුසු වෛද්‍යවරයකුට රෝගියා පෙන්වා ප‍්‍රතිකාර කිරීම කළ යුතුයි.

ප‍්‍රශ්නය – ශරීරයේ වේදනාවක් තිබෙන විට එය අස්ථි වේදනාවක් බව හරියටම දැනගන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව – වේදනාව හට ගන්නා ස්ථානය එම වේදනාව මුලින්ම හඳුනා ගත්තේ කවර අවස්ථාවක ද යන කාරණය එම වේදනාව ක‍්‍රමානුකූලව වර්ධනය වෙනවාද, එම වේදනාව සමග වෙනත් රෝග ලක්ෂණ මතු වෙනවාද යන කාරණා තමයි වෛද්‍යවරයා වැඩියෙන්ම සැලකිල්ලට ගන්නේ. අස්ථි ක්ෂයවීම දවසෙන් දෙකෙන් සිදුවන්නේ නැහැ. එය දිගු කාලයක ක‍්‍රියාවලියක්. එසේම මේ රෝගය පැය විසිහතරෙන් සුව කරන්නටත් බැහැ. ඒ සඳහා යම් ප‍්‍රමාණයක කාලයක් අවශ්‍යයි.

ප‍්‍රශ්නය – ක්ෂය වූ අස්ථි නැවත වර්ධනය කිරීමට උපකාරී වන සංයෝග අඩංගු ඖෂධීය ශාක වර්ග මොනවාද?
වෛද්‍ය වසන්ත උදයජීව – අශ්වගන්ධ හෙවත් අමුක්කරා, හාතාවාරිය, ජටමාන්සි වැනි ශාකවල තිබෙනවා අස්ථි වර්ධක ගුණය අඩංගු සංයෝග. අස්ථි වර්ධනය පමණක් නොව අස්ථි ශක්තිමත් කිරීමටත් මේ ශාකසාර යොදාගත හැකියි. සුදු තල ඇට තේ හැන්දක් වතුර ස්වල්පයක දමා රැයක් පුරා පෙෙඟන්නට හැර උදේට අනුභව කළාම අස්ථි වර්ධනය වීම සහ ශක්තිමත්වීම සිදුවන බව ඉපැරණි ඉන්දියාවේ මතයක් ලෙස පැතිර තිබුණා.

ප‍්‍රශ්නය – අස්ථි ක්ෂයවීම නැතිකර කාටිලේජ වර්ධනය කිරීම සඳහා ත‍්‍රිපලා වලින් ලබාගත හැකි උපකාරය කුමක්ද?

වෛද්‍ය වසන්ත උදයජීව – ත‍්‍රිපලා කියන්නේ අරළු, බුළු, නෙල්ලි කියන තුන් වර්ගයයි. ත‍්‍රිපලා චූර්ණය අස්ථි රෝගවලට ඉතාම සුදුසුයි. සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ත‍්‍රිපලා චූර්ණය සහ තවත් බෙහෙත් වර්ග කිහිපයක් පාවිච්චි කිරීමෙන් අස්ථි ක්ෂය වීමේ රෝගයට අත්දුටු ප‍්‍රතිකාර කළ හැකියි. අස්ථිවල සහ සන්ධිවල ප‍්‍රදාහ තත්ත්වයන් ඇතිවීමට යුරික් අම්ලය දැඩි ලෙස බලපානවා. ශරීරයේ තිබෙන අතිරික්ත යුරික් අම්ල ඉවත් කිරීමට ත‍්‍රිපලා වලට පුළුවන්.

ප‍්‍රශ්නය – දෙහි යුෂ පානය කිරීම අස්ථි වලට බලපාන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජිව – දෙහි යුෂ මගින් ශරීරය කෙට්ටු වන බවටත් අස්ථි වල ශක්තියට කිසියම් ආකාරයක බලපෑමක් සිදුවන බවත් ඇතැම් අය කිව්වත් මේවායෙහි විද්‍යාත්මක පදනමක් තිබෙනවාද යන්න ප‍්‍රශ්නයක්. රුධිර පීඩනය අඩු කරන්නටත් එමගින් හෘද රෝග අවදානම නැති කරන්නටත් දෙහි යුෂවලට පුළුවන්. මෙහිදී ලෙමන් වර්ගයේ දෙහි මගින් වැඩි ප‍්‍රයෝජනයක් ලබාගත හැකියි. අස්ථි සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය විටමින් සී සහ කැල්සියම් දෙහි ලෙලිවල යහමින් තිබෙනවා.

ප‍්‍රශ්නය – අස්ථි සෞඛ්‍ය සඳහා වඩා සුදුසු තෙල් වර්ගය කුමක්ද?

වෛද්‍ය වසන්ත උදයජීව – මෙහිදී සුදුසුම තෙල් වර්ගය තමයි තල තෙල්. එමගින් අස්ථි සවිමත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top