ජීවිතය චිත්‍රයක් නම් එය වර්ණ ගන්වන මූලික වර්ණ සංයෝජනය අධ්‍යාපනයයි. අධ්‍යාපනය නමැති වර්ණාවලියෙන් හැඩ ගන්වන්නට බැරි වූ ජීවිතවල සෞන්දර්යාත්මක බව සමබර නොවේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වී ඇති අධ්‍යාපනය යම් තරමකින් හෝ බිඳ වැටීමට නොදී පවත්වාගෙන යන්නට විවිධ ක්‍රමවේද අනුගමනය කිරීමට සහ අත්හදා බැලීමට දරන උත්සාහය ඉහළ ගොස් ඇති ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබේ.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මාර්ග ගත අධ්‍යාපනය (online learning) වඩාත් බහුලව භාවිත කරන අධ්‍යාපන ක්‍රමවේදයකි. එහෙත් බොහෝ දෙනා මෙම ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය දීම කෙසේ වෙතත්, යම්කිසි ගසාකෑමක නිරත වී සිටින බව වැඩිදුරටත් සොයා බැලීමේදී පෙනෙන්නට තිබෙන කනගාටුදායක තත්ත්වයකි.

මාර්ග ගත අධ්‍යාපනය (online learning) ඔස්සේ, මේ මොහොතේ ඉතා අසීරු අඩියකට පත් ව සිටින ඇතැම් මව්පියන්ගෙන් සාධාරණයකින් තොරව මුදල් අය කිරීම සහ කාල නියාමනයකින් තොරව පංති පැවැත්වීම වැනි දේවල් මාෆියාවක් බවට පත්වන්නට පෙර එම තත්ත්වය මැඬ පැවැත්වීම සහ කිසියම් නියාමනයකට අනුව ක්‍රියාත්මක කිරීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමකි.

දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යන්නට විකල්ප ක්‍රම භාවිත කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති බව නොසලකා හැරිය හැකි නොවේ. මුහුණට මුහුණ අධ්‍යාපනය දීමට හැකියාවක් නොමැති මෙවන් අවස්ථාවක අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සඳහා ලෝකයේ විවිධ ක්‍රමවේද භාවිත කරන අතර, ඉන් වඩාත් ප්‍රචලිත සහ පහසු ක්‍රමය ලෙස මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දිය හැකිය. එය දරුවා සහ මව්පියන් අපහසුතාවට පත් කරන සහ උද්ගත වී ඇති ආර්ථික අපහසුතා තවත් බරපතළ කරන ක්‍රමයක් බවට පත් නොවී වඩාත් සාධාරණ ලෙස ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද…?

 

ක්‍රම දෙකක්

මාර්ග ගත අධ්‍යාපනය ක්‍රම දෙකකින් ක්‍රියාත්මක කළ හැකිය. ඉන් එකක් වන්නේ සජීවීව ගුරුවරයා සහ දරුවා සම්බන්ධ වන ඉගෙනුම් ක්‍රියාවලියයි. අනෙක් ක්‍රමය ශිෂ්‍යයාට අවශ්‍ය අවස්ථාවලදී ගුරුවරයා සමඟ සම්බන්ධ වීම සඳහා යෙදුම් සකස් කිරීමයි.

මෙම ක්‍රමවේද දෙකම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ. ඉන් ප්‍රධානම ගැටලුව වන්නේ අන්තර්ජාල පහසුකම් සම්බන්ධ ගැටලුවයි. ප්‍රධාන නගර ආශ්‍රිතව අන්තර්ජාල පහසුකම්වල සංඥා භාවිතය ශක්තිමත් වන අතර, ඒ පිළිබඳව එතරම් ගැටලුවක් ඇති නොවුණත් ප්‍රධාන නගරවලින් ඈතට ගමන් කිරීමේදී අන්තර්ජාල සංඥා ක්‍රියා කිරීම දුර්වල වී අඩාළ වන ආකාරයක් දක්නට ලැබේ.

මාර්ග ගත අධ්‍යාපන කටයුතු සඳහා ඉතා ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතාවක් තිබිය යුතු අතර දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට එම කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යෑමට මෙම මූලික ගැටලුව හේතුවෙන් විවිධ අපහසුතා ඇති වෙයි. පාඩම පවත්වාගෙන යන අතර තුර අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වැටී දරුවා පාඩමෙන් ඉවත් වුව හොත්, නැවත වරක් සම්බන්ධතාවය සකස් කර ගත හැකි වුවත් ඔහුට පාඩමේ කොටසක් මඟහැරීම හේතුවෙන් වටහා ගැනීමේ ගැටලු ඇති වේ.

තවත් ගැටලුවක් ඇති වන්නේ දරුවා අධ්‍යාපන කටයුතු සඳහා සම්බන්ධ වන මෙවලම් පිළිබඳවය. 80% කට වැඩි පිරිසක් අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනය භාවිත කරන අතර, එහි තිරය කුඩා බැවින් ගුරුවරයා පෙන්වන ලේඛන ආදිය පැහැදිලිව දැකීමට හෝ අවබෝධ කර ගැනීමට දරුවාට හැකියාවක් නොමැත.

ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියේදී කුඩා දරුවන් සමඟ ගුරුවරයාගේ ‘ඇස් යොමුව ‘(eye contact) අතිශය වැදගත් සාධකයකි. දරුවන් පාඩම ඇසුරේ රඳවා තබා ගැනීම සඳහා ගුරුවරයාට දරුවා සහ දරුවාට ගුරුවරයා දර්ශනය වීම ඉතා වැදගත් සාධකයකි. එනමුත් මාර්ගගත අධ්‍යාපනයේදී යම් යම් බාධා සිදු වීම හේතුවෙන් මයික්‍රෆෝන සහ වීඩියෝ දර්ශන විසන්ධි කර තැබීම මත එම ක්‍රියාවලිය සිදු නොවේ. එයින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි ඇති සජීවී භාවය මුළුමනින්ම පාහේ බිඳ වැටෙයි.

නිසි පුහුණුවක් නොමැති වීම

උද්ගතව ඇති හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා බොහෝ ගුරුවරුන්ට නිසි පුහුණුවක් නොමැති වීම ද ගැටලුවකි. මේ මොහොතේ වර්තමාන පාසල් ගුරුවරුන්ට ගෞරවය පුද කළ යුතු වන්නේ, ඔවුන් බහුතරයක් මෙම තත්ත්වයට අනුගත විය හැකි පරිදි තනිව අධ්‍යයනයකින් යුතුව ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යන්නට ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කැප වී සිටින නිසාය. එවැනි කැපවීමකින් කටයුතු කරන ගුරුවරුන් වෙත නිසි පුහුණුවක් හිමිකර දීම ද මේ මොහොතේ සිදු කළ යුතු තවත් කාර්යයකි.

බොහෝ යෙදුම් සහ අන්තර්ජාල මෙවලම් ඉංග්‍රීසි භාෂාව ආශ්‍රිතව ක්‍රියාත්මක වන බැවින් සිසුන්ට භාෂා ගැටලුවකට ද මුහුණ දෙන්නට ද සිදු වී තිබේ. එසේම ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමයට ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ගුරු සිසු දෙපාර්ශ්වයටම ඉහළ පිරිවැයක් දැරීමට සිදු වීම තවත් ගැටලුවකි.

අධ්‍යාපන කටයුතු නැවත ඇගයීම් සහ විභාග ක්‍රියාවලිය ද මාර්ගගත ක්‍රමයට සිදු කිරීම අර්බුදකාරී තත්ත්වයක් වන්නේ ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු මහත් ලෝකයටමය.

ඉහත ගැටලු සියල්ලම මැනවින් අධ්‍යයනය කර ඒ සඳහා භාවිත කළ හැකි විසඳුම් සකස් කර ගැනීම මේ මොහොතේම සිදු කළ යුත්තේ, පවතින වර්තමාන තත්ත්වයට පමණක් නොව අනාගතයේ උද්ගත විය හැකි තත්ත්වයකට පවා මුහුණ දෙන්නට මේ සියල්ල ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බැවිනි.

ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒවාට යම් යම් විසඳුම් ද සඳහන් කිරීම වැදගත්ය. බිඳ වැටීමකින් තොරව අධ්‍යාපන ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රටක් ලෙස ඕනෑම තත්ත්වයකදී කටයුතු කළ හැකි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සකස් කර ගත යුතුය.

 

මිශ්‍රිත ඉගෙනුම

අර්බුදකාරී අවස්ථාවක පමණක් නොව සාමාන්‍ය තත්ත්වයක් යටතේ වුව ද භාවිත කළ හැකි, ලොව දැනට ඇති ප්‍රධානම විකල්පය වන්නේ මිශ්‍රිත ඉගෙනුම (blended learning) ය. එහිදී මුහුණලා කරන ඉගෙනුම් ක්‍රියාවලිය සහ තාක්ෂණය ඔස්සේ කරන ඉගෙනුම් ක්‍රියාවලිය යන දෙකම සම්මිශ්‍රිතව තිබේ. විශ්වවිද්‍යාල ඉගැන්වීම් තුළ මෙම සම්මිශ්‍රිත ක්‍රමවේදය භාවිත කරන අතර එය පාසල් අධ්‍යාපනය තුළට ද ඇතුළත් කර ගැනීම කඩිනමින් කළ යුතුය. එය ඉතා වේගයෙන් සිදු කළ නොහැකි වුවත්, මතුවන ප්‍රායෝගික ගැටලු සඳහා විසඳුම් සකස් කරමින් මෙම ක්‍රමවේදය වෙත අනුගත විය යුතුය. ප්‍රධාන වශයෙන්ම බලපාන තාක්ෂණික ගැටලුව වන අන්තර්ජාල සම්බන්ධතා ශක්තිමත් නොවීමේ ගැටලුව පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කළ යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත්වීමෙන් ලංකාව පුරා අන්තර්ජාල සම්බන්ධතා අඩු ශක්තිමත් බවකින් භාවිත වන ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ ප්‍රදේශ ආවරණය කරමින් අන්තර්ජාල සම්බන්ධතාව වඩාත් ප්‍රබල කිරීම සඳහා පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ වෙමින් හෝ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

එසේම ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් සතු එක් වගකීමක් වන්නේ තමන්ට ඉහළ අන්තර්ජාල සැපයුමක් පැවතුණ ද සම්බන්ධ වන දරුවන්ගේ අන්තර්ජාල සැපයුම අඩාළ වීම හේතුවෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය බිඳ වැටීමට ඉඩ ඇති හෙයින් දරුවන් වෙත ඉදිරිපත් කරන යම් යම් වීඩියෝ සහ වෙනත් තාක්ෂණික මෙවලම් අඩු ධාරිතාවකින් යුතුව සකස් කිරීමයි. එසේම අතරමඟදී පාඩමෙන් ඉවත් වන්නට සිදු වන දරුවන්ට තමා ඉගැන් වූ පාඩම නැවත අසා නරඹා ඉගෙන ගත හැකි ආකාරයට එය පටිගත කර තැබීම ද කළ හැකි නම් වඩාත් සුදුසුය.

ජාතික මෙහෙවරක නිරත වන පාසල් ගුරුවරුන් එවැනි ක්‍රම පිළිබඳව වැඩි අධ්‍යයනයක් කරමින් වැඩි අවධානයක් දිය යුත්තේ ව්‍යාපාරික මට්ටමෙන් අමතර ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් මෙවැනි ක්‍රියාවලියක් අනුගමනය නොකරන හෙයිනි. ඇතැම් විට මුදල් අය කර සිදු කරන මාර්ගගත අධ්‍යාපන කටයුතු තුළදී දරුවාට මඟහැරෙන පාඩම් නැවත ඉගෙන ගැනීම සඳහා යළිත් මුදල් සහ කාලය වැය කිරීමට සිදු වේ.

ඉතාම කුඩා දරුවන්ට හැර මඳක් ඉහළ පන්තිවල දරුවන් ස්වයං ඉගෙනුමට යොමු කළ හැකි අතර ඒ සඳහා යම් යම් යෙදුම් සකස් කිරීම ද සිදු කළ හැකි තවත් කාර්යයකි. උදාහරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දරන ලද ඉතා හොඳ සහ ඉහළ ගුණාත්මක උත්සාහයක් ලෙස 11 ශ්‍රේණිය විද්‍යාව විෂය උදෙසා සකස් කරන ලද අන්තර්ජාල පෙළ පොත (E text book) පෙන්වා දිය හැකිය. පෙර දැනුම පරීක්ෂා කිරීම, ක්‍රියාකාරකම් ඇතුළු සම්පූර්ණ විෂය පද්ධතියම ආවරණය වන ආකාරයේ ඉතා ඉහළ ගුණාත්මක තත්වයකින් යුතුව මෙම පෙළ පොත සකස් කර තිබේ. එය පරිශීලනය කිරීමෙන් ගුරුවරයකුගේ සහයකින් තොරව වුවද දරුවකුට අදාළ විෂය කරුණු පිළිබඳ පූර්ණ දැනුම ලබා ගැනීමට හැකිය.

රජයේ මැදිහත්වීම

දීර්ඝ කාලීන සැලසුමක් ලෙස දරුවන්ට ජංගම දුරකථන වෙනුවට ටැබ් පරිගණකයක් හෝ දීම සඳහා ද රාජ්‍ය යාන්ත්‍රණයෙහි යම් මැදිහත්වීමක් තිබිය යුතුය. සියලු දරුවන් වෙත තාක්ෂණික උපකරණ දීමට පවතින වාතාවරණය යටතේ රජයට හැකියාවක් නොමැත. එහෙත් එවන් උපකරණ මිල දී ගැනීමට හැකියාවක් නැති දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන දරුවන්, ග්‍රාම සේවා වසම් මට්ටමින් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය මෙවලම් දීමට රජය කටයුතු කරන්නේ නම් අධ්‍යාපන ක්‍රියාවලිය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන්නට එය රුකුලක් වනු ඇත.

කලාප මට්ටමින් හෝ සජීවීව සම්බන්ධ විය හැකි පුහුණු සැසි ආරම්භ කරමින් ගුරුවරුන්ට නිසි පුහුණුවක් දීම ද කඩිනමින් කළ යුතුය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් අන්තර්ජාල යෙදවුම් භාවිත කරන ආකාරය පිළිබඳව නිසි පුහුණුවක් දෙමින් සජීවීව පුහුණු සැසි ක්‍රියාත්මක කිරීම මඟින් ගුරුවරුන් දැනටමත් පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රියාවලිය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට හැකියාව ලැබේ. ගුරුවරයාගේ හැකියාව වඩාත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන පුහුණු සැසි වෙබ් අඩවියක උඩුගත කර තිබීම තුළ ස්වයං අධ්‍යයනයකින් තම ගැටලු නිරාකරණය කර ගැනීමට ගුරුවරුන්ට ද අවකාශය ලැබේ.

ක්‍රියාකාරකම් පාදක කරගනිමින් අධ්‍යාපනය හැදෑරීම සඳහා තාක්ෂණය භාවිත කිරීමේදී මේ වන විට ද අන්තර්ජාලය තුළ පවතින යා කිරීම, බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම, වීඩියෝ පාඩම් ඇසුරෙන් අසන ප්‍රශ්නවලට ලිඛිතව හෝ වාචිකව පිළිතුරු සැපයීම වැනි ක්‍රියාවලියක් වෙත දරුවන් යොමු කරන්නට හැකි නම් අධ්‍යාපනය ශක්තිමත්ව පවත්වාගෙන යන්නට විශාල රුකුලක් ලැබෙනු ඇත.

මතක ශක්තිය මැනීම පසෙක තබා තොරතුරු ගවේෂණ හැකියාව සහ අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තොරතුරු සොයා ගැනීමේ හැකියාව දරුවන්ට ප්‍රගුණ කළ යුතු වේ.

මේ මොහොතේ අධ්‍යාපන ක්‍රියාවලිය වෙත සම්බන්ධ වී සිටින පෞද්ගලික ගුරු භවතුන් ද බොහෝ අවස්ථාවල දරුවන්ගේ ආර්ථික තත්ත්වය, මානසික තත්ත්වය ආදී කරුණු පිළිබඳව සානුකම්පිත වෙමින් මානුෂීයව ක්‍රියාකරන මුත් ඇතැම් කොටසක් කළු කඩ සංකල්පය අනුව ක්‍රියාත්මක වීම කනගාටුදායකය. බොහෝ විට අමතර ඉගැන්වීම් පන්ති ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාරික මට්ටමෙන් වන බැවින් ඒවායෙහි අයකිරීම්, සුදුසුකම් ආදිය යම් කිසි නියාමනයකට ලක් කිරීමට රජය මැදිහත් විය යුතුය.

අනුවර්තනය විය නොහැකි වූ බොහෝ සත්ත්වයන් ලෝකයෙන් වඳ වී ගොස් ඇති බව වටහා ගනිමින් පවතින තත්ත්වයට නිවැරදිව අනුගත වීම සඳහා යෙදවිය හැකි උපරිම ශක්තිය යොදා ගනිමින් යහපත් අධ්‍යාපනයකින් යුතු ශක්තිමත් පරපුරක් ගොඩනැඟීමට උදා වූ අයහපත් තත්ත්වය ආශිර්වාදයක් කර ගනිමු.

සටහන

දිල්රූ ජයසේකර

දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top