රට තොට වතගොත

මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ මරණ ගැන නවතම අනාවරණය

කොවිඩ් -19 ආසාදිතව මියගිය පිරිස අතර බහුතරයක් පිරිමි පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සමස්ත කොවිඩ් ආසාදිත මරණ අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 75ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සියයට 24ක් අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් වන අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සියයට 1.2ක් ද ඒ අතර වන බව වාර්තා වේ.

 

 

ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබේ.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කරන උද්ඝෝෂණය පසුව ජනාධිති ලේකම් කාර්යාල දක්වා ගමන් කිරීමට නියමිතයි.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ වන විටත් දින 11ක් පුරා මාර්ගගත ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමට ගුරුවරුන් කටයුතු කර ඇත.

 

 

 

……..තවත් 189 ක් අත්අඩංගුවට………

නිරෝධායන නීති උල්ලංඝනය කළ 189 දෙනෙකු ඊයේ (21) දිනයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

 

ජනතාව නිරෝධායන නීති අනුගමනය කළ යුතු බවට පොලිසියෙන් දැනුම්දීමක්

එළැඹෙන සති අන්තයේදී නිරෝධායන නීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම එම සති අන්තයේදී නිරෝධායන මෙහෙයුම් සඳහා අමතර පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

අඟහරුගේ පාෂාණ පෘථිවියට

අගහරු ග්‍රහයාගේ පාෂාණ නියැදියක් ලබා ගැනීමට නාසා ආයතනය මගින් මේවනවිටත් අගහරු වෙත ගොඩබස්වා ඇති “ජෙසේරෝ රෝවරය” මගින් පාෂාණ නියැදිය ලබා ගැනීමට ක්‍රියා කරමින් සිටියි.

මෙම ජෙසේරෝ රෝවරය අගහරු වෙත ගොඩබස්වනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මාසයේදීයි. අගහරු ග්‍රහයාගෙන් පාෂාණ නියැදියක් ලබා ගන්නා පළමු අවස්ථාව ද මෙය වේ.

රෝවරය මගින් අගහරුගෙන් ලබා ගන්නා පාෂාණ නියැදිය මිනිස් ඇගිල්ලක තරම් ප්‍රමාණයක් වන බවත්, එය මුද්‍රා තැබූ නළයක බහා පෘථිවිය වෙත රැගෙන ඒමට නියමිත බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. අගහරු මත ජීවයක් පවතීද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ සඳහා මෙම පාෂාණ නියැදිය වැදගත් වනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

නාසා ආයතනය මෙවැනි අගහරු මෙහෙයුමකට සැරසෙන්නේ මිනිසා සඳ තරණය කර වසර 52 ක් සපිරීමෙන් අනතුරුවයි. සඳ තරණයේ 52 වන සංවත්සරය ඉකුත් දා සමරනු ලැබුවා. එහිදී අනාවරණ කෙරුණේ මිනිසා සඳ මත තැබූ පළමු පා සලකුණ තවමත් සඳ මත එලෙසම පවතින බවයි.

 

අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් ‍තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා ක්‍රියා කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය නිවේදනය කරන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතින බවයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top