කොරෝනාවට ඔරොත්තු දෙන වැඩිහිටියන්ට ගුණ කෑම

කොළඹ, ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා

රට තුළ පවතින වසංගතය හමුවේ පොදුවේ සියලු දෙනාම ආරක්ෂාවිය යුතු අතර නිවෙස්ගතව සිටින වයෝවෘද්ධ පුද්ගලයන්ද ලෙඩ රෝගාදියෙන් සුරැකිව තබා ගැනීම ලොකුම අභියෝගයයි. දරුවන් මෙන් නොව වැඩිහිටියන්හට  අවදානම වැඩි අතර අපෙන් අවධානය ගිලිහී යන පළමු කාණ්ඩය වන්නේද ඔවුන්ය. බේත් ,හේත් රැක බලා ගැනීමටත් වඩා මොවුන්ගේ ආහාර වේල ගැන අන්කවරදාටත් වඩා මේ දිනවලදී සැලකිලිමත් වීම වැදගත්ය. 

මේ අවදිය වනවිට වයස්ගත පුද්ගලයන් බහුතරයක්ම ලෙඩරෝගාදියට ගොදුරු වීම හමුවේ ස්වාභාවයෙන්ම ප්‍රතිශක්තිය  හීන වී යාම ඇරැඹේ. එබැවින් ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආහාර පාන මොනවාද, රසය සුවඳ දනවන පරිදි ඒවා සැකසීමේ ක්‍රමවේද ගැනත් දැනුම්වත්වීම වටී.

මෙහිදී ස්වාභාවයෙන්ම ලැබෙන පෝෂණ හැකිතරම් ඔවුන්ට ලබා දීම සුදුසුම ක්‍රමවේදයයි. උදෑසන,දහවල් සේම රාත්‍රී යන ප්‍රධාන වේල් තුන මඟ නොහැර පෝෂ්‍යදායී බව රැකෙන අයුරින් ආහාර ගැනීම ඉතා වැදගත්ය. ඒ වගේම ලුණු, තෙල්, අධික පිෂ්ඨය අවම ආහාර පිළිබඳ අවධානය යොමු කිරීමත් වැදගත් වේ. මේ අවදිය වන විට වයස්ගත පුද්ගලයන්ගෙන් බහුතරයක්ම නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන බැවින් එකී රෝගී තත්ත්වද පාලනය කර ගනිමින්ම නිරෝගී ආහාර රටාවකට හුරු විය යුත්තේ ක්‍රමානුකූලවය.

උදේ වරුවට කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ගයක්, තැඹිලි ගෙඩියක් වැනි ගුණවත් ආහාර වට්ටෝරුවක් සමඟින් දවස ඇරඹිය හැකියි. දහවල් ආහාරය සඳහා පළා වර්ගයක් අනිවාර්යෙන්ම එකතු කළ හැකියි. මෙහිදී නිතර දෙවේලේ අපි දකින එකම පළා වර්ග වෙනුවට වෙනස් කොළ වර්ග විවධ ක්‍රමවලට සකසා ගත හැකියි. ඒ අනුව පළා වර්ග පිස ගැනීම, අමුවෙන් සම්බෝල ලෙසත් , මළවා ආහාරයට එකතු කර ගැනීමටත් පුළුවනි.

විටමින් ‘C’, විටමින් ‘D’ ,සින්ක් වැනි පෝෂණීය සංඝටක ගතහොත් විටමින් ‘C’  අඩංගු ප්‍රභව අපේ රටේ ඕනෑතරම්ය. උදෑසනම අව් රශ්මියට පැය භාගයක් පමණ නිරාවරණය වීම මඟින් විටමින් ‘D’ ලැබේ. මාළු සහ මස් වර්ගවලින් සින්ක් අවශ්‍යතාව සැපිරේ. වඩා වැදගත් වන්නේ ආහාරයේ සමබරතාව රැක ගැනීමයි.එදිනෙදා ගන්නා සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුව වෙනස් කරමින් පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් වන පරිදි කෑම වේලක් ලබා දීම ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය නඟා සිටුවීමට රුකුලකි. විවිධ පළා වර්ග අතරට අල වර්ගද එකතු කරමින් ආහාර විවිධත්වයක් ඇති කළ හැකියි. වයස් ගත වීමත් සමඟ ඔවුන්ට ආහාර ගැනීමේ අවශ්‍යතාව පවා අඩු වී යා හැකියි. කෑම වර්ග කෙරෙහි ප්‍රියතාවක් නැති වී යයි. රසය, සුවඳ දැනීම පවා දුර්වල වේ. නියමිත පරිදි ආහාර ගැනීම පවා අවධානයෙන් බැහැර වී යා හැකි අතර ආහාර වේල් පවා බොහෝ සෙයින් මඟ හැරී යා හැකියි. එමෙන්ම ගන්නා කෑම ප්‍රමාණය පවා අඩු කරයි. මේ සියලුම ගැටලු වයස් ගත වීමත් සමඟ ඇති වන ලක්ෂණයි. මෙහිදී රසය, සුවඳ, පැහැය සහ ගුණය රැකෙන අන්දමට ආහාර සකසා පිළිගැන්වීමෙන් වැඩිහිටියන් තුළ ආහාර රුචිකත්වය දියුණු කළ හැකිය.

ප්‍රධාන ආහාරයෙන් පසු අමතර කෙටි ආහාර වේලක්ද ඔවුන්ට ලබා දිය යුතුය. අමතර ආහාර වේල් සඳහා පලතුරු එකතු කර ගත හැකිය. පලතුරු වර්ග තෝරා ගැනීමේදී අධික මිල ගණන් යටතේ අලෙවි වන, හුදෙක් ප්‍රදර්ශනයට පමණක් තබා ඇති දේවල් වෙනුවට තම ගෙවත්තෙන් පහසුවෙන් සපයා ගත හැකි වස විස නොයෙදූ ස්වාභාවිකත්වය රැකි පලතුරක් වීම විශේෂය. ඒ අනුව වෙරළු ගෙඩියක්, කෙසෙල් ගෙඩියක්, පේර, අඹ වැනි ගුණවත් දෑ එක් කිරීමට පුලුවන. එසේම දිනපතාම පාහේ ඔවුන්ගේ ආහාරයට එලවුළු සහ පලතුරු වර්ග 05ක්වත් එකතු කළ හැකි නම් එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයටත් කදිමය.

ආහාර අතර විවිධත්වයක් ඇති වන පරිදි ගොටුකොළ සම්බෝලයක්, එලවුළු සලාදයක් තව දවසකට මිශ්‍ර කොළ කැඳක් හඳුන්වා දිය හැකිය. වයස්ගත වීමත් සමඟ ඔවුන්ට ආහාර සම්බන්ධයෙන් ඇති තවත් ගැටලුවක් නම් දත්වල ශක්තිමත්භාවය මඳ වීමෙන් හෝ දත් නොමැති වීමෙන් ආහාර සැපීමට ඇති අපහසුතාවයි. එබඳු වි⁣ටෙකදීද ඔවුහු ආහාර ප්‍රතික්ෂේප කරති. මෙවන් අවස්ථාවකදී ඝනව ආහාර පිළියෙල කරනවාට වඩා පහසුවෙන් ආහාරයට ගත හැකි වන ලෙස සැකසීම වරදක් නොවේ. ඒ සඳහා ආහාර හොඳින් තම්බා සැපීමට පහසු වන පරිදි සැකසිය හැකිය. නොඑසේනම් පිස ගත් ආහාරය හොඳින් අඹරා (blend) දීමට පුළුවන. එසේ නොවුණහොත් දිව පැටැලී ආහාර පිට උගුරේ යාම පවා සිදුවිය හැකියි.

අපේ රටේ වයස්ගත පුද්ගලයෝ බොහෝ දෙනකුම තම ආහාරයෙන් මස්,මාළු,බිත්තර ප්‍රතික්ෂේප කරති. එය ගැටලුවක් නොවන හෙයින් එකී පෝෂණීය සංඝටක සිරුරට ලබා ගත හැකි වෙනත් ක්‍රම පවතී. ⁣මේ අනුව ප්‍රෝටීන සංඝටකය නම් කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග මගින් සපුරා ගත හැකියි. සිරුරට අත්‍යවශ්‍ය තෙල් වර්ග පවතින නමුත් ගැඹුරු තෙලේ බඳින පේස්ට්‍රි වැනි කෙටි කෑම වර්ග භාවිතය අඩු කිරීම සුදුසුය. ඔලිව් ඔයිල්, අලිගැටපේර, කජු, ආමන්ඩ්, පළා වර්ග, ප්‍රෝටීන ලැබෙන ප්‍රභව, විටමින් ප්‍රභව ආහාරවල විවිධත්වය ඇති කිරීමෙන් ලබා ගත හැකියි.  එකම ආහාර රටාවකට අනුගත නොවී පොල් සම්බෝල හා පරිප්පු වෑංජනය වුවද වෙනස් ක්‍රමවලට සැකසීම මඟින් සිරුරට ආහාර  උරා ගැනීමේ හැකියාව පවා වැඩි දියුණු කර ගත හැකියි.

සිරුරට අවැසි පෝෂණය ඖෂධ මඟින් ලබා ගන්නවාට වඩා ආහාර  මඟින්  එම අවශ්‍යතාව සපුරා ගැනීමට පුලුවන. එහෙත් විවිධ රෝගී තත්ත්ව හේතු කොට ගෙන ඇතැම් වෛද්‍යවරු විසින් වයස්ගත පුද්ගලයන් සඳහා අතිරේක විටමින් වර්ග නිර්දේශ කළ හැකියි. විටමින් අතිරේක වුවද පිටින් ලබා ගැනීම වුව කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත වන අතර එසේ නොවුණහොත් අතුරු ප්‍රතිවිපාක රැසක්ම භුක්ති විඳීමට සිදුවේ. එබැවින්     පිටතින් ලබා ගන්නා පෝෂණ අතිරේක වෛද්‍ය උපදෙස්වලට අනුකූල විය යුතු අතරම හිතුමතේ නොගත යුතුයි. ඒවා සිරුරට අවශ්‍ය මාත්‍රාව සේම දිනකට අවශ්‍ය ප්‍රමාණය කොතෙක්ද යන්න තමාට නිර්ණය කළ නොහැකි සේම එය වෛද්‍යවරයා සතු කාර්යයකි.

මේ වනවිට රට හුදෙකලා බවින් තොර වුවද තවමත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ. වසංගතයද යම්තාක් දුරට මර්දනය වීමක් පෙන්නුම් කළද එය සමුපූර්ණයෙන්ම මර්දනය වී නැත. එබැවින් අප සියලු දෙනාම ඉදිරියටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වසංගතයෙන් හැකි උපරිමයෙන් ආරක්ෂා විය යුතු වේ.

–  සටහන- මාධවී ධර්මරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top