මහගම සේකරගේ පළමු නවකතාව පළ වුණාද?

මෙරට පහළවූ විශිෂ්ට කවියකුවන ‘මහගම සේකරගේ’ 46 වැනිඅනුස්මරණ දිනය මේ මස 14 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙණි.

මගේ අතිශය කුලු‍පග,ළෙන්ගතු මිතුරෙකුගේ හදිසි අභාවය පිළිබඳ හද හඬවන පුවත පළමු වරට මා කන්හි වැකුණේ 1976 අවුරුද්දේ ජනවාරි මස 15 වැනිදා ප්‍රභාත කාලයේ ගුවන්විදුලිය ඔස්සේය. එකල ගුවන්විදුලි අසන්නන් තුඩ තුඩ නම රැන්දූ අමරබන්දු රූපසිංහ නම්, මා කලණ මිතුරු ,හඬින් සරු , බසින් සුරු , ඇසූ පිරු නිවේදකයාගේ අනනුකරණීය හඬිනි ඒ.1976 ජනවාරි 14 වැනි දා මැදියම් රැයේ එසේ අවසන් සුසුම් පොද මුදා හැරියේ කව් ගී ලොව ශේඛරායමාන මහගමසේකර මා සුමිතුරුය.

ඔහුගේ දයාර්ද්‍ර හදේ රිද්මය නොසිතූ නොපැතූ විරූ ලෙස එසේ නැවතී ගියේ විශ්වයේ රිද්මය විෂය කොටගෙන තමා විසින් ලියන ලද ආචාර්ය උපාධි නිබන්ධයේ සෝදුපත් බලමින් සිටින කල්හිය. සේකරයන් සදහටම අප අතැර ගිය 1976 ජනවාරි 14 වැනි දින පටන් 2022 අවුරුද්දේ ජනවාරි 14 වැනි දිනට පුරා 46 වසරකි. එහෙත් ඔහුගේ සෞන්දර්ය උරුමය පරපුරෙන් පරපුරට නව කවි සිත් පොබයා ලමින් තවමත් ගලා යයි.

මා ළතෙත් මිත් මහගම සේකරයන්ගේ ගුණ වෙසෙස් මගේ මතකයෙන් කිසි දා මැකී නොයේ. මා මෙහි ලා ඔහු පිළිබඳව හෙළි කරන සැඟවුණු පුවත මගින් සේකරයන්ගේ පුද්ගල සන්තානයේ මෙන්ම ලේඛක චරිතයේද අදෘෂ්ට පූර්ව අංශයක් ඔබට හඳුනාගත හැකි වනු ඇතැයි මම සිතමි. මහගම සේකරයන්ගේ නිර්මාණ පරිශීලනය කොට ඇති කවරෙකුගෙන් හෝ මේ ප්‍රශ්නය අසන්න. මහගමසේකරයන්ගේ පළමු වන නවකතාව කුමක්ද? ඊට කෙළින්ම ලැබෙන පිළිතුර ඔබ නිසැකවම දන්නෙහිය.

“තුංමංහන්දිය‘, ‘තුංමංහන්දිය‘, ‘තුංමංහන්දිය‘ යැයි පිළිතුරු සපයන්නා තුන් වරක්ම හඬ ගා කියනු නියතය.එහෙත් එය එසේ නොවන බව පසක් ලෙසම දන්නෝ සේකරයන්ගේ කුලු‍පගම , සද්ධිවිහාරික ,සමකාලීන මිතුරෝ දෙදෙනෙක් පමණි.ඔවුහු දෙදෙනාම තවමත් ජීවතුන් අතරය. එක් අතකින් ඒ දෙදෙනාම තවම ජීවත් වීම වාසනාවකි. යම් හෙයකින් ඒ දෙදෙනාගෙන් එක් අයෙක් අනිකාට පෙර මිය පරලොව ගොස් සිටියේ නම් පුවතේ සත්‍යතාව සනාථ කිරීමට ප්‍රත්‍යක්ෂ සාක්ෂ්‍යයක් අදෘශ්‍යමාන බැවින් එය ශංකාවට භාජනය වන තත්ත්වයක් උද්ගත වීම කාට වැළකිය හැකිද?ඉහත සඳහන් දෙදෙනාටම ‘තුංමංහන්දිය‘ සේකරයන්ගේ පළමු වැනි නවකතාව නොවන්නේ ඔවුන් දෙදෙනාම සේකරයන්ගේ පළමු වැනි නවකතාව ඔහුගේ කටින්ම හඬ නගා කියවනු රෑ බෝ වන තුරුම අසා සිටි බැවිනි. මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයෝ ඒ දෙදෙනාගෙන් එකෙකි. අනෙකා නම් මතකයෙන් මේ පුවත මමන මම්ම වෙම්.

එකල සේකරයෝ අවිවාහකයෙකි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තක තනතුරෙන් සමු ගත් සේකරයන් ගුවන් විදුලියේ සේවයට පැමිණියේ 1960 අවුරුද්දේ යැ යි සිතමි. ‘සක්වාළිහිණි‘ නමින් ඔහුගේ පළමු වැනි කාව්‍ය සංග්‍රහය පළ වූයේ ඔහු ගුවන් විදුලියේ ‘නිබන්ධ සම්පාදක‘ තනතුර දරන කාලයේය. එකල සුනන්ද මහේන්ද්‍රයෝ සහ මම නිතර නිතර නානාවිධ ගුවන් විදුලි වැඩසටහන්වලට එකට මෙන්ම වෙන් වෙන්වද සහභාගි වීමු. ඒ ගිය හැම වාරයකම වාගේ නොවරදවාම මහගම සේකරයන්ගේ මේසය ළඟට ගොස් ඔහු සමග අල්ලාප සල්ලාපයේ පසුවීම අප දෙදෙනාගේම අනිවාර්ය චර්යාවක් විය.සුනන්දයන්‍ මගින්ම පළමුව දැන හැඳින ගත් සේකරයන් පසුව සුනන්දයන් සමග මෙන්ම මා සමගද අතිශයින් කුලු‍පග වීම ඊට හේතු විය.මෙසේ සේකර හමුවී කතා බහෙන් පසුවූ දවසක ඔහු අප දෙදෙනාට මෙසේ යෝජනාවක් කළේය.

”‍මේ සති අන්තෙ සුනන්දටයි කරූටයි බැරිද අපේ ගමේ එන්න. අපේ මහගෙදර රැයක් ගත කරන්න. මං නවකතාවක් ලිව්ව. මට ඕනැ ඒක ඔය දෙන්නට කියවන්න. කොහොම ලියවිලාද දන්නෙ නෑනෙ.”‍

සේකරගේ ඉල්ලීමට එකඟ වූ අප ඒ සති අන්තයේ රදාවානට ගියේ බසයෙනි. සුනන්දයනුත් මාත් රදාවානේ සේකරයන්ගේ මහගෙදරට ළඟා වන විට ඉර අවරට යමින් තිබිණ. සෙනසුරාදාවක් වූ බැවින් තාර පාරද පාළුය. මහගමසේකරයෝ අප දෙදෙනා එන තුරු මග බලමින් සිටියෝය. කහ පාටට හුරු හම් ෆයිල් බෑග් දෙකක ඔබාගෙන ගිය සරොම් දෙකට බැස්ස අපට සේකරයෝ යෝජනාවක් ඉදිරිපත් කළහ.

”‍වෙල ළඟ වානට ගිහින් නා ගත්ත නම් සනීපෙ කියන්න බෑ. ඉර බහිනවත් බල බල වෙලේ හුළඟත් විඳ විඳ නා ගන්න පුළුවන්.ගමන් මහන්සියත් දුරු වෙලා යාවි.”‍

එදා හවස අපි දෙදෙනා සේකරයන් සමග ඔහුගේ මහගෙදරට නුදුරුව තාර පාර දෙපසට විහිදුණු වෙල්යාය මැදින් ගලන ඇළට ගොස් ගිලි ගිලී පීනමින් ඉර හැංගෙන තුරුම නෑවෙමු. සේකරයන් දිය බුං ගසමින් ඒ මේ අත පීනමින් නෑවේ පාසල් දරුවෙකු සේ සතුටින් ඉපිලෙමිනි. ඔහු එවේලේ මහ හඬින් නැඟූ සතුටු සිනා හඬ මේ දැන් ඇසෙන්නා සේය. පීනීම එතරම් හුරු නැති සුනන්දයන් නෑවේ ගොඩ හරියේ හිඳය.

එදා රෑ මඳ පමණ  නාළිකේර මදිරා මද මුදිතව  බත් කෑ අපි ඉස්තෝප්පුවේ පැදුරු එලා ගත්තෙමු. සේකරයෝ චිමිනි ලාම්පුවක් රැගෙන විත් ඉස්තෝප්පුවේ කොට තාප්පය උඩ තැබූහ. අනතුරුව ඊට ළං කොට ගත් ඇඳි පුටුවක දෙකකුල් උඩට ගෙන වාඩිවූ සේකරයන් තම ඔඩොක්කුවේ තබාගත් නවකතා අත්පිටපත කියවන්නට පටන් ගත්තේ සිගරැට්ටුවක්ද දල්වා ගනිමිනි. රදාවානේ සේකරයන්ගේ මහගෙදර පලේ බාපු ඉස්තෝප්පුවේ බිම පැදුරුවල දිග ඇදී ගත් අපි දෙදෙන ගන අඳුර මඳ අඳුරට හැරවූ චිමිනි ලාම්පු එළියෙන් එදා ඔහු තම පළමු වැනි නවකතාව කියවද්දී රෑ බෝ වන තුරු ඊට ආසාවෙන් සවන් දී සිටියෙමු.

එය රමණීය ප්‍රේම වෘත්තාන්තයකි. සේකරයන් අතින් එය ලියැවී තිබුණේ අතිශය හෘදයංගම කාව්‍යමය බස් වහරකිනි. පාරම්පරික සාහිත්‍ය සිංහලයේ හාෂා මාධුර්යයෙන් මහගමසේකරයන් ලත් තීව්‍ර ආස්වාදයේ විශිෂ්ට ඵලයක් ලෙස එය හැඳින්විය හැකිය. එම නවකතාව හුදු ප්‍රේම කතාවක්ම නොවේ. එය වූකලී එක්තරා කලාකාරියකගේ සහ කවියෙකුගේ භාවමය ජීවිතයට උරුම වූ සංකීර්ණ චෛතසික සංඝට්ටනයක් සෞන්දර්යාත්මක නිර්මාණයකට හැරවීමක් වැන්න.

පසු දා උදේ සුනන්දයන් සහ මා සේකරයන්ගෙන් සමු ගෙන රදාවානේ මහගෙදරින් පිට වුණේ සේකරයන්ගේ අම්මා පිළියෙළ කර දුන් පාතරාසයද අනුභව කොටය. සේකරයන්ගේ අම්මා සකස් කර තිබූ දුම් දාන අලු‍ත් හාලේ බතද, ඉඳ හිට හීන් ලු‍ණු කැටයක් දෙකක් අතරින් පතර හැපෙන හොඳට දෙහි ඇඹුල් දැමූ පොල් සම්බෝලය සහ ලු‍ණෙහි ගිල්වා පදමට බැද තිබූ ඌරල් රස නැති හයිය කට්ට කරවල බැදුමද සහිත ඒ උදේ ආහාර වේලෙහි රස මට කිසි දා අමතක නොවන්නකි. දැනුදු සුනන්දයන් සහ මා ඒ පිණි බොජුනෙහි අනුසස් ආසාවෙන් පවසන සමහර අවස්ථා ඇත.

එදා අප දෙදෙන සේකරයන්ගේ මහගෙදර වත්තෙන් තාර පාරට පැමිණ බස් නැවතුම්පළට වී කොළඹ බසය එන තුරු බලා සිටියදී එක් වරම සුනන්දයන්ගේ කටින් පිට වුණේ මේ වදන් පෙළය.

”‍කරූ , සේකරගෙ නවකතාව හරි අපූරුවට ලියවිලා තියෙනවා නේද? මම ආසාවෙන් අහගෙන හිටිය. අපි හොඳට දන්න චරිතනෙ ඒ නවකතාව ඇතුළෙ ඉන්නෙ! ප්‍රධාන චරිතෙ මට පණ පිටින් පෙනුණ.හැබැයි සේකර ඔය නවකතාව පළ කරයිද කියන එක ප්‍රශ්නයක්!”‍

සුනන්ද මහේන්ද්‍රයන් එදා අනුමාන කළ ලෙසම සේකරයෝ ඔහුගේ පළමු නවකතාව පළ කිරීමට නොසිතූහ. අවසානයේ ඔහු ඊට කුමක් කරන්නට ඇද්ද යන්න තවමත් රහසකි!

(මෙහි පළ වන සේකර රුව වනාහි ලේක්හවුසියට ආ සේකරයන් ‘සරසවිය‘ කතු මඩුල්ලේ සෝමවීර සේනානායකයන්ගේ මේසය ළඟ වාඩිවී සිටියදී ‘සරසවිය‘ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාරයන් විසින් ඔහුටත් හොරෙන් ගන්නා ලද්දක් බව ‘සේකර සමර‘ සමරු කලබට ලිපියක් ලියන පර්සි ජයමාන්නයෝ හෙළි කරත්.)

කරුණාරත්න අමරසිංහ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top