රෝග රැසකට සුව ගෙනෙන හෙළ විටක රස රහස

 

සෞඛාරක්ෂිත බුලත් විට සමාජගත කිරීමට පර්යේෂකයෝ අපේක්ෂා කරමින් සිටිති. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පරික්ෂණ වලින් ඔප්පුකර ඇති දැ වැළඳ ගෙන හිතු මතේ එක්කරගත් දෑ ඉවත ලා සම්ප්‍රදායෙන් පැවත ආ දෑ ඉදිරියට ගෙන යාම සමාජයේ වගකීමය.

දනට, බණට, පිරිතට මෙන්ම මඟුලට, මරණෙට මුල් තැන ගත් දැහැත් වට්ටිය එදා මෙදා තුර සමාජයෙන් ගිළිහී නොයන්නට අපේ පරම්පරාවන් ක්‍රියා කර ඇත්තේ එහි සුවිශේෂි බවක් ගතට සිතට දැනුණ නිසා විය හැකිය. බුලත් හෙප්පුවට, බුලත් තට්ටුවට එදා නිවෙස තුළ හිමි වූයේ සුවිශේෂි තැනකි. නිවෙසට ගොඩ වදින ඕනෑම තරාතිරමක කෙනකුට පැකිළීමකින් තොරව බුලත් විටකින් සංග්‍රහ කිරීම අපේ හෙළ සිරිතකි. කෙතට, හේනට මෙන්ම දා බිඳු හෙළන කුමන කාර්යයේත් මූලික අංගයක් වූ බුලත් තට්ටුව එදත් අදත් ගෙන දුන්නේ වෙහෙසට සැනසීමකි. එදා රජ දවස රජවරුන්ට බුලත් සැපයූ ජන කොටසක් වෙනමම ජන සමාජයේ සිටි බව මහා වංශයේ පවා සඳහන්ව තිබේ. සුවිශේෂී කුමන කටයුත්තකට හෝ බුලත් අතක් දී ආරාධනා කිරීම අදත් සමාජයේ ලොකු කුඩා කා අතරත් සිදු කෙරෙන සුවිශේෂි සිදුවීමකි. පැත්ත මාරු කරමින් මඟුලට මරණෙට තබන බුලත් කොළය සමාජයේ ජනගත වූ සන්නිවේදන මාර්ගයකි. ඒ හා සුවිශේෂි තැනක් ගත් දැහැත් වට්ටියට, බුලත් විටට අද ජන සමාජයේ තිබූ තැන කෙමෙන් කෙමෙන් අහිමි වී ගෙන යන සේයාවක් දක්නට ලැබෙන්නේ බුලත් විට කෑමෙන් දරුණු රෝගාබාධයන්ට ලක්වනවා යැයි ජනගත වෙමින් පවතින කතිකාවත් සමඟිනි.

මේ කුතුහලයේ ඇත්ත නැත්ත සොයා සාම්ප්‍රදායික බුලත් විට මුඛ රෝග සම්බන්ධව බලපාන ආකාරය කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අංශය, ක්ෂුද්‍රජීවි අංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව වසර හයක් පර්යේෂණ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස හුණු සහ දුම්කොළවලින් තොරව දේශීය කුළු බඩු එකතු කරගත් බුලත් විට ශරීරයට අහිතකර‍ නොවන බවත් ශරීරයේ ලෙඩ රෝග බොහොමයකට ගුණ දායක බවත් තහවුරු කර ගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මූලික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාධවී ප්‍රියංකා පරණගම මහත්මිය පවසයි. හුණු සහ දුම්කොළ වලින් තොරව බුලත්, කරඳමුංගු, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරු පියලි, කොත්තමල්ලි, පුවක් යන අට වර්ගය මිශ්‍රණයෙන් සකසා ගත් බුලත් විටක් පිළිබඳව පර්යේෂණ සිදු කර එය ශරීරයට අහිතකර නොවන බවත් නොයෙක් රෝගාබාධයන්ට ඉතාමත් ගුණ දායක බවත් තහවුරු කරගෙන ඇත. විද්වතුන්ගේ, බුද්ධිමතුන්ගේ එම පර්යේෂණ නිර්දේශත් ‍සමඟ සමාජයෙන් ගිළිහී යන බුලත් තට්ටුව සහ බුලත් හෙප්පුව සැකයකින් තොරව නව මුහුණුවරකින් නිවෙසේ ආලින්දයට හෙට ගොඩවදිනු ඇත.

ගෙවත්තේ වවා ගත් බුලත් වැල, වවාගත් ඉඟුරු පියලි, එනසල් ඇටයක් දෙකක් එදා පැරැන්නන් බුලත් විටට එකතු කර ගත්තේය. සියක් වසකටත් වඩා ආයු විඳි ඔවුන් බොහොමයකගේ දත් බොහෝ ශක්තිමත් විය. ලන්දේසීන් විසින් මෙරටට ගෙනා දුම්කොළ කෙමෙන් කෙමෙන් බුලත් විටට එකතු කර ගන්නට හුරුවිය. අර්ථයක් රසයක් නැතත් ඉවත හෙළන කෙළ බිංදුවේ ලස්සනට හුණු ද විටට එක්විය. දුම්කොළ සහ හුණු එක් කොට ගත් කල රසවත් ගුණවත් බුලත් විට වෙස් වලාගත් මාරයකු ලෙසින් කතිකාවට භාජනය විය. පර්යේෂණ, සමීක්ෂණ පැරැණි ජන සමාජයේ නොවුණත් එදා සිට පැවති සාම්ප්‍රදායික භාවිතවල ඉවතලන කිසිවක් නොවන්නට තරම් අපේ පැරැන්නන්ගේ දැනුම් සම්භාරය විද්‍යානුකූල විය. දියුණු වන ලෝකයත් සමඟ බොහෝ දෑ ඊට සංකලනය නොවන්නට ඔවුන්ගේ නිරෝගි සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්ම ඒ දැනුම් සම්භාරය ඔස්සේ සාර්ථකව පවත්වාගෙන යනු ලැබුහ. එබැවින් එම බුලත් විට පිළිබඳව මේ විශ්වවිද්‍යාල ඇදුරෝ සිය පර්යේෂණාගාරවල නූතන විද්‍යා දැනුම උපයෝගි කොට ගෙන පරීක්ෂණ ආරම්භ කළහ. විද්‍යාගාර දෙක තුනක් ඔස්සේ වසර හයක් තුළ පරීක්ෂණ පවත්වා වස විසෙන් තොර වූ බුලත් විට ශරීරයට ඉතාමත් හිතකර බව ඔවුහු පසක් කර ගත්හ.

මෙහිදි ශල්‍යාගාර තුළ පිළිකා සෛල භාවිතයෙන් කරන ලද පර්යේෂණ මඟින් පුවක්වලට පිළිකා මර්දනය කළ හැකි බව තහවුරු කර ගෙන ඇත. මේ බව පුවක් පිළිබඳව ඇමරිකාව කරන ලද පර්යේෂණවලදීද තහවුරු වී ඇති බව සඳහන් වේ. අද සමාජයේ බහුලව පවතින ස්නායු රෝග සඳහා ද පුවක් ඖෂධීය බව තහවුරු කර ගෙන ඇත. පර්යේෂණවලදී ජානවල විකෘතිභාවයක් ඇති වේද යන්න පර්යේෂණ කටයුතු සිදු කළ ද එසේ නොවන බව තහවුරු වී ඇත

දත් දිරා යාමට බලපාන (Strepococcus Nutans) බැක්ටීරියාව සහ විදුරුමස් රෝගවලට මුල් වන (Porphyromonas gingivalis) බැක්ටීරියා විනාශ කිරිමට මෙම සාම්ප්‍රදායික විට මිශ්‍රණයට හැකියාව ඇති බව තහවුරු වී ඇත. තවද (Candida Algicans) වැනි දිලීර මර්දනය කිරිමේ හැකියාව ඇත.

අප පාවිච්ච් කරනු ලබන දන්තාලේපවල සහ මුඛ සෝදන දියරවල ෆ්ලෝරයිඩ් අඩංගු වේ. දත් දිරාපත්විම වළක්වා ගැනීමට සඳහා ෆ්ලෝරයිඩ් භාවිත කරනු ලබයි. මෙය යොදා ඇත්තේ ජලය කොටස් මිලියනයකට ෆ්ලෝරයිඩ් කොටස් එකක් වශයෙනි. මෙය ශරීරයට ඉතාම විෂ රසායනයකි. මෙම ෆ්ලෝරයිඩ් වැඩි වශයෙන් භාවිත කළ හොත් ස්නායුවලට තදින්ම බලපෑම් එල්ල වී එවිගසම මරණයට පවා පත් විය හැකි බව ද. ෆ්ලෝරයිඩ රටකින් ගෙන ඒමේදි ගුවන් යානයකට පවා නොගන්නා බවද ආචාර්ය පරණගම මහත්මිය පවසයි.

අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල වැනි ප්‍රදේශවල භූගත ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩිය. එම ජලය පාවිච්චි කිරීම නිසා දරුවන්ගේ දත්වල සහ අස්ථිවල ෆ්ලෝරයිඩ් තැන්පත් වේ. ඒවා දත්වල තැන්පත් වී දත් දුඹුරු පැහැයක් ගනී. දුඹුරු පැහැති පුල්ලි ඇතිවේ (dental slurosis). නියමිත ප්‍රමාණයට වඩා වැඩි ෆ්ලෝරයිඩ ප්‍රමාණයක් භාවිතයෙන් ශරීරයට එකතු වුව හොත් මේ තත්ත්වයන් උදා වීමට පුළුවන.

ආයුර්වේද බෙහෙත්වලදි තනි ශාකයක් පාවිච්චි කිරීම බොහෝ දුරට අඩුය. ශාක වර්ග කිහිපයක් එකට පාවිච්චි කරනු ලබයි. එම මිශ්‍රණය තුළින් එකිනෙකට පවතින සම්බන්ධතාවය මත අපේක්ෂිත ප්‍රතිඵලය ලැබේ. එය පාරම්පරික ආයුර්වේද ඖෂධ භාවිතයේ දී සිදු වන්නකි. එසේම මෙම විට මිශ්‍රණය තුළින්ද එකිනෙකට තුළිත වීමක් සිදු කෙරෙන බැවින් සෞඛ්‍යදායක තත්ත්වය ඉහළ මට්ටමක පවති.. නිශ්චය කරන පුවක් ප්‍රමාණයක් වශයෙන් පාවිච්චි කිරීම තුළින් ෆ්ලෝරයිඩ් වැනි විෂ ද්‍රව්‍යයන් භාවිතයට වඩා සෞඛ්‍යදායක තත්ත්වයක් ලබා ගැනීමේ හැකියාව පවතින බවද නිර්ණය කොට ඇත.

අද සමාජයේ බහුලව පවතින කොලොස්ට්‍රෝල් සහ දිය වැඩියාව අඩුවීම සඳහා බුලත් ඉවහල් වන බව මෙම පර්යේෂණ මගින් තහවුරු වි ඇත. සමාජය දෙස බැලිමේදි නොයෙකුත් ආකාරයේ විට වර්ග වලට ඇබ්බැහි වු තරුණ පිරිස් විශාල වශයෙන් සිටින බව දක්නට ලැබේ. එම තත්ත්වය ශරීර සෞඛ්‍යයට මෙන්ම සමාජයට ද පිළිලයක් බවට පත්ව ඇත. මෙවැනි සාම්ප්‍රදායක විටක් සමාජගත කිරිම තුළින් සමාජයේ නොයෙකුත් අහිතකර විට වලට ඇබ්බැහි වි සිටින අයවලුන් ඉන් මුදා ගැනිමටත් මුඛ රෝග, ස්නායු රෝග සහ තවත් රෝගාබාධ රැසකට සහනයක් ඇතුළු ප්‍රතිලාභ රැසක් අපේක්ෂා කළ හැක.

මෙම සෞඛාරක්ෂිත බුලත් විට සමාජගත කිරීමට පර්යේෂකයෝ අපේක්ෂා කරමින් සිටිති. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පරික්ෂණ වලින් ඔප්පුකර ඇති දැ වැළඳ ගෙන හිතු මතේ එක්කරගත් දෑ ඉවත ලා සම්ප්‍රදායෙන් පැවත ආ දෑ ඉදිරියට ගෙන යාම සමාජයේ වගකීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top