වූහාන් නගරයේ ප‍්‍රථම කොරෝනා ආසාදිතයාගේ ආශ‍්‍රිතයන් සෙවීමේ පුළුල් මෙහෙයුමක් අවශ්‍යයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රය සොයා ගැනීම සඳහා එම වෛරසය මුලින් පැතිර යාම ඇරඹි චීනයේ වූහාන් නගරයෙන් සොයා ගැනුණු ප‍්‍රථම කොරෝනා ආසාදිතයාගේ ආශ‍්‍රිතයන් සොයා බැලීමේ පුළුල් මෙහෙයුමක් දියත් කළ යුතු බවට සිය වාර්තාව හරහා නිර්දේශ කිරීමට කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රය සොයා බැලීමට වූහාන් නගරයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායම සැලසුම් කර තිබෙන බව එම විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයන් ‘සී එන් එන්’ පුවත් සේවයට පවසා තිබේ. එමෙන්ම චීනයේ වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ බවට සැක කෙරෙන ‘හුආනන්’ මුහුදු ආහාර වෙළෙඳසලේ සේවය කරන වෙළෙඳුන් ගණනාවකගේ ආශ‍්‍රිතයන් සම්බන්ධයෙන්ද මෙහිදී සොයා බැලිය යුතු බව එම විශේෂඥයෝ කියා සිටිති.

අදාළ විශේෂඥයන්ට අනුව කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රය පිළිබඳව පර්යේෂණ පවත්වන චීන විද්‍යාඥයන් මේ පිළිබඳව සොයා බැලීමට තිබුණේ මෙයට මාස ගණනකට පෙර වන අතර එසේ නොකිරීම පුදුමයට කරුණකි. සිය වූහාන් සංචාරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමට නගරයේ ප‍්‍රථම කොරෝනා ආසාදිතයා මුණගැසීමට හැකි වූ බවත් කිසිදු විදෙස් සංචාරයකට සහභාගි වී නොමැති වයස අවුරුදු 40 ගණන්වල පසුවන එම ආසාදිතයා කිසිදු මුහුදු ආහාර අලෙවි කරන වෙළඳසලකට ගොස් නැති බව පැවසූ බව ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන පීටර් ඩස්සක් පවසා තිබේ. පරිවර්තකයෙකුගේ මාර්ගයෙන් චීන භාෂාවෙන් විශේෂඥ කණ්ඩායමට අදහස් දක්වා ඇති එම තැනැත්තා වැඩිදුරටත් පවසා ඇත්තේ සිය දෙමව්පියන් වූහාන් නගරයේ සතුන් පණ පිටින් අලෙවි කරනු ලබන සත්ත්ව වෙළඳසලකට ගොස් ඇති බවයි. එහෙත් එය මුලින්ම කොරෝනා වෛරසය පැතිරීම ඇරඹි බවට සැක කෙරෙන ‘හුආනන්’ මුහුදු ආහාර වෙළඳසල නොවන බවද ඔහු ප‍්‍රකාශ කර තිබේ. කෙසේ වුවද මෙම වූහාන් නගරයෙන් හඳුනාගත් ප‍්‍රථම කොරෝනා ආසාදිතයාගේ දෙමව්පියන්ට කොරෝනා වෛරසය ශරීරගත වී නොමැති බව අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top