කොවිඩ් වළක්වන්නට ආ ස්මාර්ට් හිතවතා “පරිස්සමින් ඉන්න”

යම් ස්ථානයකට ඇතුළු වීමේදී QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ කෙටි පණිවිඩ මගින් 1919 දත්ත ගබඩාවට අදාළ තොරතුරු ලැබීමෙන් පසු අදාළ පුද්ගලයාට එම පරිශ්‍රයට ඇතුළත් වීමට අවසර ලැබේ ද යන්න දුරකතනයේ දර්ශනය වනු ඇත. එමඟින් ආසාදිතයන් හෝ නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් කිසියම් පරිශ්‍රයකට ඇතුළු වීම අවහිර කළ හැකි වේ.

මේ වන විට ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය ලෝක ජන ජීවිත කෙරෙහි මරු පහරක් එල්ල කර තිබෙන ආකාරය පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නැත. එහෙත් පියවි ඇසට හෝ නොපෙනෙන වයිරසයක් විසින් මිනිස් ජිවිතවලට විශාල බලපෑමක් එල්ල කරන විට ඒ බලපෑම සමනය කර ගනිමින් දෛනික ජන ජීවිතය යළි පණ ගන්වා ගත යුතු ආකාරය පිළිබඳව නොයෙක් මාතෘකා ඔස්සේ පුළුල් සාකච්ඡා ඇති කර ගත යුතු වේ.

ඇහැට නොපෙනෙන කොවිඩ් මාරයාගෙන් ආරක්ෂා වීම, වසංගතය හමුවේ නව සෞඛ්‍ය පුරුදුවලට හුරු වීම යනාදී කාරණා සම්බන්ධයෙන් විවිධ සීමා මායිම් ඔස්සේ කතාබහ කෙරෙමින් පවතී. ඒ හා සමගාමීව මෙම වසංගතය මැඬපවත්වා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයන් දායක කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ.

ඩිජිටල් තාක්‍ෂණය

ලොව පුරා ව්‍යාප්තව තිබෙන කොවිඩ් -19 වයිරසය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයට සහාය වීම වෙනුවෙන් ඩිජිටල් තාක්‍ෂණයන් උපයෝගී කර ගෙන ඇති අතර, ජනගහන නිරීක්‍ෂණය, සිද්ධි හඳුනා ගැනීම, සම්බන්ධතා සොයා ගැනීම, සංචලතා දත්ත සහ මහජනයා සමඟ සන්නිවේදනයේ යෙදීම යන කාරණා පිළිබඳව මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධානය යොමු කර තිබුණි. මෙම වසංගතය හමුවේ ඩිජිටල්-සෞඛ්‍ය තාක්‍ෂණික විසඳුම් සඳහා පෙර නොවූ විරූ ඉල්ලුමක් මතු වී තිබෙන බැවින් ඊට අනුරූපීව මෙරට තොරතුරු තාක්ෂණවේදීන් විසින් නිර්මාණය කරනු ලැබූ ”පරිස්සමෙන් ඉන්න” (Stay Safe) මෘදුකාංග යෙදුම පිළිබඳව දැන ගත යුතු කරුණු කිහිපයක් මෙම ලිපියෙන් විස්තර කෙරේ.

”පරිස්සමෙන් ඉන්න” (Stay Safe) යනු ආසාදිතයන්ගේ සම්බන්ධතා සොයා ගැනීම සහ ආසාදනය විය හැකි වාහකයන්ගේ නිදහස් සංචරණය සොයා ගැනීම යන අභියෝග දෙකටම එකවර විසඳුම් සපයන මෘදුකාංග යෙදුමකි. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හඳුන්වා දෙන මෙම යෙදවුම සඳහා ශානක පෙරේරා, නිසු මේයන්, ක්‍රිස්ටෝර් අදිකාරම් සහ කණිෂ්ක බණ්ඩාර යන ස්වේච්ඡා මෘදුකාංග වෘත්තිකයන් සිය දායකත්වය සපයා දී තිබේ. භාවිතයට පහසු හා සරල මෙම මෙවලම කොවිඩ් 19 වැළැක්වීමේ බලධාරීන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියල්ලටම වඩා පුරවැසියන්ට මහඟු ප්‍රයෝජනයක් වනු ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

QR කේතය

මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වනුයේ QR කේත මත පදනම් කර ගෙනය. www.staysafe.gov.lk යන වෙබ් ලිපිනය වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය හිමිකර ගත හැකිය. අන්තර්ජාලය සම්බන්ධිත දුරකතනයක් ඇති ඕනෑම කෙනකුට ආයතනයක් සඳහා QR කේතයක් ජනනය කළ හැකි වන අතර එය සුපිරි වෙළෙඳපොළක්, කුඩා එළවළු වෙළෙඳ සලක්, රජයේ, පෞද්ගලික හෝ වේවා සංවිධානයේ නම, වීදි ලිපිනය, හිමිකරුගේ නම හා දුරකථන අංක වැනි තොරතුරු කිහිපයක් සපයා දීම ඊට ප්‍රමාණවත්ය. මේ කිසිඳු ක්‍රියාවලියක් සඳහා රුපියලක මුදලක් හෝ වැය නොවීම සුවිශේෂීය. QR කේතය ගැනීමෙන් අනතුරුව සිදු කිරීමට ඇත්තේ එහි මුද්‍රිත පිටපතක් ගෙන එය අදාළ ආයතනයේ හෝ වෙළෙඳසලෙහි දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පමණි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අදාළ තොරතුරු ලැබීමට සලස්වා ඇත. එම ආයතනයට හෝ වෙළෙඳසලට පැමිණෙන ඕනෑම අයකු QR කේතය ස්කෑන් කර පරිශ්‍රයට පිවිසෙන විට පද්ධතිය ස්වයංක්‍රීයව උපාංගය මගින් විස්තර එකතු කරමින් ඒවා සටහන් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය අමුත්තන්ගේ ලැයිස්තුවක් නඩත්තු කිරීමේ කාර්යයකට සමාන වේ. එක් ස්ථානයකට ඇතුළු වන අවස්ථාවේදී ලියාපදිංචි වීමෙන් පසු දිවයිනේ ඕනෑම ස්ථානයකට යළි ලියාපදිංචියකින් තොරව ඇතුළත් වීමට හැකියාව ලැබේ.

මෙම පද්ධතියේදී එක් ස්කෑන් පරීක්ෂණයකින් පවා පුද්ගලයකුගේ තොරතුරු ස්ථාපිත වේ. උදාහරණයක් ලෙස ගතහොත් නොවැම්බර් 30 දින ප.ව 3.30ට A නමැති පුද්ගලයා R නම් සුපිරි වෙළෙඳසලේ T නම් ශාඛාවට පැමිණ ඇති බව තහවුරු වනු ඇත. මෙහි විශේෂත්වයක් වන්නේ එම ස්ථාන අනිවාර්යයෙන්ම ගොඩනැඟිලි වීම අවශ්‍ය නැත. ඒවා දුම්රිය හෝ බස් රථ හෝ ඕනෑම ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් විය හැකිය.

ආසාදිතයකු හඳුනා ගැනීම

යම් ස්ථානයකට ඇතුළු වීමේදී QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ කෙටි පණිවිඩ මගින් 1919 දත්ත ගබඩාවට අදාළ තොරතුරු ලැබීමෙන් පසු අදාළ පුද්ගලයාට එම පරිශ්‍රයට ඇතුළත් වීමට අවසර ලැබේ ද යන්න දුරකතනයේ දර්ශනය වනු ඇත. එමඟින් ආසාදිතයන් හෝ නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් කිසියම් පරිශ්‍රයකට ඇතුළු වීම අවහිර කළ හැකි වේ. තව ද යම් අයකු ආසාදිතයකු ලෙස හඳුනා ගත හොත් ඔහු හෝ ඇය ගමන් කළ ස්ථානවල ගැවසුණු අයට වහා ආරක්‍ෂිත පියවර ගන්නැයි කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ ක්‍රමවේදයක් මීට ඇතුළත් වීම වඩාත්ම සුවිශේෂි වේ. මෙම කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ප්‍රබලම ගැටලුවක් ලෙස මතු වනුයේ ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීමට යෑමේදීය. ‘පරිස්සමෙන් ඉන්න’ එයට පහසුවක් වනු ඇති බව භාවිතයට ගත් කළ වැටහෙනු ඇත. මෙම තොරතුරු මත පදනම්ව, දුරකථන අංක සමඟ පළමු හා දෙවන සබඳතා පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් නිර්මාණය කරනු ලබයි. වර්තමානයේ සෞඛ්‍ය බලධාරීහු මේ ක්‍රියාවලිය සඳහා පැය ගණනක් කාලය වැය කරති. එහෙත් මෙම යෙදුම ඔස්සේ තත්පර කිහිපයකින් එම තොරතුරුම ජනනය කර සපයා දීමක් සිදු කරයි. එය සබඳතා සොයා යෑම ද වේගවත් කරනු ඇත.

මෙහි ඇති තවත් වාසියක් වන්නේ කඩදාසි ගොනු තබාගෙන අමුත්තන්ගේ ලේඛනයක් නඩත්තු කිරීමට අවශ්‍ය නොවීමය. පෑන්, පැන්සල්, කඩදාසි තබාගෙන පිටස්තරයන්ගේ විස්තර ඇතුළත් කිරීමට වඩා QR කේතයක් ප්‍රදර්ශනය කිරීම ඕනෑම ආයතන හිමිකරුවකුට හෝ වෙළෙඳසල් හිමිකරුවකුට පහසුදායී වනු ඇත. පැමිණියේ කවුරුන් ද, කුමන වේලාවක ද, කොපමණ කාලයක් රැඳී සිටියේ ද, දිනපතා හෝ සතිපතා දැන ගැනීමට හැකිය. මෙහි වැදගත්ම දෙය නම්, කොවිඩ් -19 ආසාදිතයකු සිය පරිශ්‍රයට ඇතුළු වන්නේ දැයි කියා වහාම දැන ගැනීමට හැකි වීමයි. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසන ආකාරයට මෙම පද්ධතියේ අවසාන ප්‍රතිලාභ හිමි වන්නේ රටේ පුරවැසියන්ටය. එය හුදෙක් සෞඛ්‍ය බලධාරීන්ට විශාල සහායක් ද වේ.

අනාගත අනුවාද

‘පරිස්සමෙන් ඉන්න’ (Stay Safe) කොවිඩ් ආසාදිතයන් සලකුණු කරන බැවින් වයිරස ආසාදිතයකු සංචරණය කරන්නේ නම් ඒ බව වහා නිරීක්ෂකයන්ට දැන ගත හැකි වේ. මෙහි අනාගත අනුවාද (Update Version)වලදී නිරෝධායනය යටතේ සිටින පිරිස් පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම පහසුකම පුළුල් කළ හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60-70 අතර ප්‍රමාණයකට ජංගම දුරකථන හිමි අතර, ඔවුන්ගෙන් අඩක් ස්මාර්ට් දුරකථන භාවිත කරති. QR ස්කෑන් කිරීම සඳහා අනිවාර්යයෙන් ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබිය යුතුය. එබැවින් ‘පරිස්සමෙන් ඉන්න’ (Stay Safe) යෙදුම, එහි ආරම්භක අවධියේදී අදාළ වන්නේ ජනගහනයෙන් කොටසකට පමණි. ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන්ට තිබෙන්නේ අදාළ ස්ථානයේ QR කේතය [Location ID] ‘ස්කෑන්’ කර ලැබෙන පෝරමයේ ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ නම ඊට ඇතුළත් කිරීම පමණි. (Stay Safe) නමින් ගූගල් යෙදුම් ගබඩාවන්හි (App Store) තිබෙන ව්‍යාජ යෙදුම් සිය ස්මාර්ට් ජංගම දුරකතනවලට බාගත කර ගැනීමට යෑමෙන් වළකින්නැයි ඔවුන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටී. 

ස්මාර්ට් නොවන ජංගම දුරකතන හිමිකරුවන් ද මෙම පද්ධතියට එක් වන්නේ මඳක් වෙනස් ආකාරයෙනි. ඔවුන් පළමුව කළ යුතු වන්නේ තමන්ගේ දුරකතනයෙන් SS හිස්තැනක් REG හිස්තැනක් ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් [SMS] යැවීමයි. එම ලියාපදිංචියෙන් පසුව SS හිස්තැනක් පරිශ්‍රයේ අංකය [Location ID] ඇතුළත් කර 1919ට යොමුකර අදාළ ස්ථානයට පිවිසිය හැකිය. තෙවන කාණ්ඩය වන දුරකථන පාවිච්චි නොකරන්නන් ගැනත් මෙහි අවධානය යොමු වී ඇත. ඔවුන් පද්ධතියට සම්බන්ධ කරන්නට ඇති එකම ක්‍රමය වන්නේ සෑම කෙනකුටම QR කේතයක් සපයා දීමයි. එහිදී ක්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් සිදු වේ. එනම් යම් වෙළෙඳසලක හිමිකරු හෝ ආයතනයක නිලධාරීන් දුරකතනයක් නොමැති අයගේ QR කේතය ස්කෑන් කර පද්ධතියට දත්ත ඇතුළත් කරනු ලබයි.

රහස්‍යතා ප්‍රතිපත්තියක්

කරුණු කාරණා මෙසේ වුවද නවීන තාක්ෂණය නිදන කාමරය දක්වා එබිකම් කිරීමට සුක්ෂ්ම වී තිබෙන මොහොතක මෙවන් තාක්ෂණික මෙවලමක් හරහා සිය පෞද්ගලික දත්ත දීම අනතුරුදායක වේයැයි යමකුට සිතෙන්නට පුළුවන. මෙම ඩිජිටල් තාක්ෂණික යෙදුම ප්‍රයිවසි නැතිනම් පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට අමතක නොකිරීම අගය කළ යුතුය. මෙම තාක්ෂණික ක්‍රියාවලියේදී ඕනෑම අයකුගේ දත්ත ගබඩා වෙන්නේ රජයට අයත් ක්ලවුඩයක (Cloud) වන අතර එය රහස්‍යතා ප්‍රතිපත්තියක් (privacy policy) අනුගමනය කරමින් සිදු කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විශේෂයෙන් අවධාරණය කරයි. එමෙන්ම අදාළ තොරතුරු භාවිත කරනුයේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පමණක් වන බවට ද ඔවුහු සහතික වෙති.

‘පරිස්සමෙන් ඉන්න’ (Stay Safe) යෙදුම කොවිඩ් වසංගතය පැතිරීම අවම කිරීමට සහාය වන උසස් තාක්ෂණික විසඳුමකි. කෙසේ වෙතත් ප්‍රජාව මෙය අනුගමනය නොකරන්නේ නම් කිසිදු පද්ධතියක් ප්‍රයෝජනවත් නොවනු ඇත. මෙය මුල් කාලීනව භාවිතා කරන්නන්ට අපහසුතාවලට මුහුණ දීමට සිදු විය හැකි මුත් ප්‍රජාව එහි ප්‍රතිලාභ දුටු පසු භාවිතය වේගවත් වීම ස්වභාවික වනු ඇති බව මෙම පද්ධතියේ නිර්මාණකරුවන්ගේ අදහසය.

පහන් විජේසේකර

දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top