අද වට්ටෝරුව අම්ල පිත්තයට

ආයුර්වේදයේ හැටියට මනුෂ්‍යයාගේ පංචස්කන්ධය සහ එහි ක‍්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන්නේ වාත, කප, පිත යන ත‍්‍රිදෝෂය මගිනි. මේ ත‍්‍රිදෝෂය සමතුලිතව පවත්නා තාක්කල් මනුෂ්‍ය ශරීරය රෝගී නොවේ. එහෙත් මේ ත‍්‍රිදෝෂය අසමතුලිත වීමෙන් මිනිස් ශරීරය රෝගී වේ. වාත, කප, පිත, ත‍්‍රිදෝෂයේ පැවැත්ම සහ එම දෝෂ කෝප වීම පිළිබඳව ආනන්ද මෛත‍්‍රය මහා නායක හාමුදුරුවන් වහන්සේ අධ්‍යයනය කළ බව පෙනෙන්නට තිබේ.


අද අප මේ ලිපියෙන් සාකච්ුා කරන්නේ මෙකී ත‍්‍රිදෝෂය අතරින් එකක් වන පිත් දෝෂය කෝප වීමෙන් ඇතිවන ලෙඩ රෝග වලට සුදුසු බවට ආනන්ද මෛත‍්‍රය මහා නාහිමියන් විසින් නිර්දේශ කෙරුණු බෙහෙත් වට්ටෝරු කිහිපයකි. මනුෂ්‍ය ශරීරයේ ආහාර ජීර්ණය සහ ආහාර ඛණ්ඩනය කොට පෝෂ්‍ය පදාර්ථ නිපදවීමේ ක‍්‍රියාවලිය සිදු කරන්නේ පිත් දෝෂය මගිනි. එසේම මිනිසාගේ කුසගින්නට සම්බන්ධ හෝමෝන කිහිපයක්ද පිත මගින් පාලනය කෙරේ. ආයුර්වේද පිළිගැනීමට අනුව ඇඹුල් සහ කුළු බඩු සහිත ආහාර වැඩියෙන් ගැනීමත් වැඩි වෙලාවක් අව්වේ සිටීමත් මගින් පිත කුපිත වේ. ඔබේ ශරීරයේ ක‍්‍රියාකාරිත්වයට බලපාන ප‍්‍රමුඛ ගාමක බලවේගය පිත් දෝෂය නම් හදවත් රෝග, අධික රුධිර පීඩනය සහ විවිධ ආසාදන ඔබේ සිරුරේ හටගනී. බලංගොඩ මහා නාහිමියන් පිත් රෝග වලට නිර්දේශ කරන බෙහෙත් වට්ටෝරු කිහිපයක් මෙසේය.

1. රත් පිත – සුදු හඳුන්, වම්මුතු, සැවන්දරා, ඉරිවේරිය යනාදිය කලන් දෙකයි මංචාඩි අට බැගින් ගෙන ලී වංගෙඩියක දමා මදක් තලා පසෙක තබා ගන්න. ඉන්පසු පිරිසුදු වතුර නැලි දෙකක් බඳුනක දමා එයට කොටාගත් බෙහෙත් එකතුකර මඳ ගින්නේ උතුරවා එක පතකට සිඳුවා පෙරා රත් පිත් රෝගියාට පානය සඳහා දිය යුතුය. රත් පිත හටගත් විට ඇතිවන පිපාසය මෙමගින් සංසිඳේ.

ශීත පිත – ඇල් කහඹිලියා, රසකිඳ, කොහොඹ පොතු, යනාදිය සමසමව ගෙන පත අට එකට හිඳ උදේට පානය කළ යුතුය. (කෙසේ වුවද මෙම ඖෂධ වර්ග කවර මාත‍්‍රාවකින් ගත යුතුද යන්න දක්වා නැති බැවින් මඳක් ගැටලූ සහගතය)

3. අම්ල පිත්තය – ආඩතෝඩා මුල්, නෙල්ලි, කලාඳුරු අල, ඉරමුසු මුල් කලන් දොළහ බැගින් ගෙන වනේ ලා කොටා පත අට එකට සිඳ පානය කළ යුතුයි. මෙය උදේට පත භාගයක්ද සවසට පත භාගයක්ද යනුවෙන් පානය කළ යුතුයි. අම්ල පිත්තය යනු ගැස්ට‍්‍රයිටිස් රෝගය හඳුන්වන ආයුර්වේද නමය.

4. පිත් දාහය – ඉරිවේරිය මුල්, හාතාවාරිය මුල්, නෙල්ලි, උක් දඬු යනාදිය සමසමව ගෙන පත අට එකට සිඳ අනුපාන ලෙස මී පැණි ස්වල්පයක් යොදා උදය වරුවේ පානය පිණිස දිය යුතුයි. දින සයකට කසාය හැලි හයක් සෑහේ.

5. රත් පිත නසන කැඳ (1) – කස පැන්, උක් පැණි, එළ කිරි, පුහුල් ඉස්ම මනාව බැගින් ගෙන කැඳ පිස සූකිරි සමග පානය කළ යුතුයි.

6. රත් පිතට කැඳ (2) – නික කොළ, කීකිරිඳිය කොළ, හාතාවාරිය කොළ, සමසමව ගෙන හීනටි හාලේ කැඳ පිස පානය කළ යුතුයි.

සංඛනාද වෙදගේවත්ත
දිවයින ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top