දැනෙන්න දෙයක් කරන්න කැමැතියි

ජීවිතයේ අභ්‍යන්තරයේ ඇති වෙච්ච කැමැත්ත නිසා නාට්‍ය කලාවට එන ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි පාසල් වේදිකාව, නාට්‍ය වැඩමුළු, හැදෑරීම් ඔස්සේ වේදිකා නාට්‍ය කලාව ස්පර්ශ කරයි. ඔහු ප්‍රසිද්ධ වේදිකාවේදීත් පාස්කු නාට්‍ය කලාවේදීත් ටෙලි නාට්‍ය කලාවේදීත් සිනමාවේදීත් විවිධ භූමිකා ඔස්සේ ප්‍රේක්ෂක ඔබට හමු වේ. ජෙහාන් ශ්‍රීකාන්ත වේදිකාවේදී හොඳම අධ්‍යක්ෂණයට ද හොඳම රංගනයට ද හිමි සම්මාන දිනා ඇති අතර ටෙලි නාට්‍ය කලාවේදී සහ සිනමාවේදී හොඳම රංගනයට හිමි සම්මානය දිනා ඇත. මීට අමතරව නව පරපුරක් තනන්නට ඈත ගම්දනවු පීරා යන ජෙහාන් එහිදී වේදිකා නාට්‍ය කලාව ගැන දරුවන්ට ගුරුහරුකම් දෙයි. ඔහු ‘ඩ්‍රාමා’ සඟරාවේ නියමුවා ද වේ.

වේදිකාවේ කට්ට තීරණාත්මකයි. අපි ඒ ගැන කතා කරමු?

වේදිකාවේදී කට්ටක් කන්න වීම ම මගේ ආශාව නිසා ගත් තීරණයක්. ඒත් මම කියන්නේ නැහැ වේදිකාවෙන් ආවම මම මාරම පොරක් වෙනවා කියලා. සිනමාව ඇතුළෙවත් ටෙලිවිෂන් එක ඇතුළෙවත් එහෙම මාරම පොරවල් නැහැ. මේ මාධ්‍ය තුනම අ‍පට තේරුම් ගන්න වෙනවා. කලාව තුළ ස්ථානගත වෙනවා නම්, එක් එක්කෙනාට අනන්‍ය වූ පදාසයක්, වපසරියක් තියෙනවා අපට හඳුනගන්න. එතැනදී අප අපේ ශක්තිය යොදවන්න ඕනා. ඒ තුළ තම තමන්ගේ කැපවීම තමයි කෙනෙකුගේ අනාගතය තීරණය කරන්නේ.

අප කතා කළේ ප්‍රධානම කලා මාධ්‍ය තුනක් ගැන එතනදි වෘත්තීන් තුනක්. එක් එක් වෘත්තියෙන් එකිනෙකට සම්බන්ධ වෙන්නත් පුළුවන්.

තමන්ගේ අත්දැකීම් එතනදී වැදගත්. පෞද්ගලිකව මගේ ජීවිතය ඇතුළත වේදිකාව ගොඩක් බලපාල තියෙනවා.දෙයක් අවබෝධයෙන් වැඩ කරන්න අවශ්‍ය කරන වගකීම සහ වෙහෙස ගැන අවබෝධය මට ලැබිලා තියෙන්නේ වේදිකාවෙන් කිව්වොත් වැරදියි. ඒක මගේ ජීවිතයට මාරයි.

ධර්මසිරි බණ්ඩාරනායක වගේම JEAN- PAUL SARTRE ඔබේ ජීවිතයට බලපෑමක් කරපු චරිත විදිහට නම් කළොත්?

ඔය ප්‍රශ්නය මගෙන් අහන්නේ පළමු වතාවට. ඇත්තටම ගත්තොත් මම හලාවත ඉඳලා කොළඹ ඇවිල්ලා කලාව තුළ ගහපු රස්තියාදුවේ දී මුණගැහෙන ප්‍රතාපවත්ම චරිතය තමයි ධර්මසිරි බණ්ඩාරනායක. යම් කිසි මොහොතක මට එතුමාගේ නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා.ඒ JEAN-PAUL SARTRE ලියූ MEN WITHOUT SHADOWS මුල් කෘතිය සිරිල් සී. පෙරේරා පරිවර්තනය කළ ‘ධවල භීෂණ’ නාට්‍යයේ එම චරිතය පලමුවෙන් රඟපෑවේ ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී විසින්. ඔහු මා වඩාත් ප්‍රිය කරන නළුවෙක්.
ඔහු රඟපෑ ප්‍රබලම චරිතය මට ලැබෙන්නේ. එතනදී මට ධර්මසිරි බණ්ඩාරනායකයන් මුලින්ම කියවගන්න ලැබෙන්නේ. පසු කාලීනව ඔහු මගේ ලෝකයේ වීරයා බවට පත් වනවා. මගේ ජීවිතය ඇතුලේ බොහෝ කාරණා ඉගෙන ගන්නේ ඔහුගෙන්. ඔහුව කියවා ගන්න ලේසි පහසු නෑ. මනුස්සයෙක් විදිහට තවත් මනුස්සයකුගේ ජීවිතයට ගරු කරන්න ඉගෙන ගත්තේ ඔහුගෙන්. තවත් ජාතියකට සුළුතරයකට ආදරය කරන්න කොටින්ම මනුස්සයන්ට ආදරේ කරන්න මං ඉගෙන ගත්ත එතුමාගෙන්. මනුෂ්‍ය ජීවිතය අධ්‍යයනය කරන්න SARTRE වගේ නිර්මාණකරුකුගේ ඒ නිර්මාණ අපේ ජීවිතවලට බලපෑමක් කළා.කෙටි කලකින් මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් අවි ආයුධ මේ වන විට මිනිස්සු හදලා ඉවරයි. න්‍යෂ්ටික අවි සියල්ල නිෂ්පාදනය කරමින් ඉන්නවා. ඒත් මිනිස්සු එකිනෙකා මත මියයන කොරෝනා පරදන්න බෙහෙතක් හොයාගන්න අපට බැරිවෙලා තියෙනවා. මනුෂ්‍ය ජාතියම එතන දි අසමත්. මනුස්ස ජීවිතය දිහා ලෝකය දිහා වෙනස්ම විදිහේ දෘෂ්ටි ත්‍රිකෝණයකින් බලපු සාහිත්‍යකරුවෙක් නාට්‍යකරුවෙක් SARTRE. මිනිසා කොතනටද රැගෙන යන්නේ කියන එකයි ඔහු සාකච්ඡා කළේ. සාංදෘෂ්ටිකවාදය ඇතුළේ ගොඩනඟපු මතවාදය අපේ ජීවිතවලට බලපෑවා.
‘ඩ්‍රාමා’ සඟරාවේ නියමුවා වන්නේ ඔබ. නාට්‍ය කලාව සම්බන්ධව කතිකාවක් ගොඩනඟන්න දරන මේ තැත සම්බන්ධයෙන් කතා නොකරම බැහැ?

මේ සඟරාව මුද්‍රිත මාධ්‍යයෙන් පලකරන්න පෙර පර්යේෂණයක නියැලෙන්න අපට සිද්ධ වුණා. සමීක්ෂණය තුළ ගුරුවරුන් මෙය අවශ්‍යතාවක් විදිහට මතු කළා. මේ වන විට කලාප පහක් අප නිකුත් කර අවසන්. ලැබෙන ප්‍රතිචාර පිළිබඳව තව තවත් අවධානය යොමු කරමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

මේ කාරණාවේදී එකතු වෙලා ඉන්න සියලු දෙනාම අධ්‍යාපන කාර්යයක් විදිහට මුල්තැන දී කටයුතු කරන්නේ.ඔවුන්ගේ සේවය ලැබෙන්නේ ස්වෙච්ඡාවෙන්. කිසිදු අයකිරීමක් නොකරයි ඔහුන් මේ සඳහා දායකත්වය වන්නේ.මෙහි මූල්‍යමය අර්ථපතිත්වය දරන්නේ අමිල් ගල්අංග විසින්. අප මේ සඟරාව ගුරුවරුන් සහ ළමයින් අතට පත් කරන්න වෙහෙස මහන්සියක් වෙනවා. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට අප ආරාධනා කරනවා සඟරාව අරගෙන කියවලා බලන්න කියලා. මේක ලාභ ලබන්න කරන ව්‍යාපෘතියක් නොවෙයි. දීර්ඝකාලීන ප්‍රතිලාභ විදිහට හොද නාට්‍ය රසික සමූහයක් අනාගතයේ ගොඩනගා ගන්නයි අපේ බලාපොරොත්තුව. මාස දෙකකට වරක් මෙම සඟරාව ඔබ අතට පත්වෙනවා. මේ පිළිබඳ ව අපට තියෙන්නේ ආත්ම තෘප්තියක්. එතරම් එය සද්භාවයෙන් කරන වැඩක්.

තමන් උගත් දෙයක් ඉදිරි පරම්පරාවේ යහපත වෙනුවෙන් නිර්ලෝභීව ලබාදෙන්න හැමෝටම බැහැ. ඈත ගම් දනව්වල දරුවන්ට නාට්‍ය වැඩමුළු පවත්වන්න ඔබ පෙළඹෙන බව අප දකිනවා. අනාගතයේදීත් මේ කැපවීමට ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවද?

අනිවාර්යෙන්ම. බොහෝ දුෂ්කර පළාත්වල ඒ කටයුත්ත අප කරමින් ඉන්නේ. අගනගරයට කේන්ද්‍ර වෙච්ච මේ අත්දැකීම් ඈත ගම් දනව්වල ඉන්න අපේ දරුවන්ටත් ලබා දෙන්න අවශ්‍යයි. ඔහුන් හෙට දවසේ විශ්වවිද්‍යාලවලට එන්නට නියමිතයි. එහෙම පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ම සතුට ට කාරණයක්.

අප වැඩ කරන දේ ඇතුලේ ජීවත් වෙනවා කියලා දැනෙන්න දෙයක් කරන්න මම කැමතියි. ඒ විශ්වාසෙන් තමයි මේ හැමදේම මං කරන්නේ.

උපුටා ගැනීම
දිණමිණ විශේෂාංග පිටුවෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top