කැලණි පාලමේ දශක හතරක්…

රම්‍යා වනිගසේකර…
කැලණි පාලමේ දශක හතරක්…
අද රංගවේදිනියක්…

කතාබහ- – රම්‍යා වනිගසේකර

අකුරු කළ කාලය

අපේ පවුලම කලාවට ලැදි අය. හැමෝටම හොඳ ගායන හැකියාවක් තිබුණා. හබැයි පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. මම තමයි එකම කෙනා. පාසල් වේදිකාවේ පුංචි පුංචි චරිත කරන්න අවස්ථාව ලැබුණත් වැඩිපුර අවස්ථාව ලැබුණෙ ගීත ගායනා කරන්න. කොච්චර ආසා වුණත් ප‍්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක් නරඹන්න අපිට අවස්ථාව තිබුණෙ නැහැ.

පැතුම ඉටුවෙයි

කොහොම හරි එක දවසක් අපේ පාසල් වේදිකාවේ සිංහබාහු නාට්‍ය පෙන්නන්න යනව කියල දැනගන්න ලැබුණ. ඉතින් ඒ දවස එනතුරු ඉවසුමක් තිබුණෙ නැහැ. කියන්න වචන නෑ. හරියට වශීවෙලා වගේ මම ඒ දිහා බලාගෙන හිටියෙ. ඒක අමුතුම ලෝකයක් වගේ වුණා.

අලූත් ගමනක්

පාසලෙන් ඉවත්වෙලා මට අපේ මාමා කෙනකුගේ ගෙදර නවතින්න අවස්ථාව ලැබෙනව. එතනදි කලා ලෝකයේ ප‍්‍රවීණයන් වන ජයතිස්ස අලහකෝන්, රංජිත් ධර්මකීර්ති සහ එස්. කරුණාරත්න යන අය ඇසුරු කරන්න අවස්ථාව ලැබෙනව. මෙතනදි මගේ මාමා දවසක් ජයතිස්ස අලහකෝන් අයියට කියනව ‘රංජිත්, මේ ළමයට හොඳට සිංදු කියන්න පුළුවන් අවස්ථාවක් දීල බලන්න’ කියල. ඒ අනුව ජයතිස්ස අයියා හරහා චන්දි ගුණතිලකගෙ නාට්‍යයකින් ගායනයට යොමුවෙන්න අවස්ථාව මට ලැබෙනව.

‘තක්සලාව’ ට එකතු වෙයි

නාට්‍ය වලට සම්බන්ධ වෙලා වැඩකරද්දි ජයතිස්ස අයියත් එක්ක ගුවන්විදුලි සංස්ථාවට යන්න මට

අවස්ථාව උදාවනව. එහිදී ‘තක්සලාව’ නමින් පැවැත් වුණ වැඩසටහනක සරල ගී පරීක්‍ෂණයකින් මම සමත් වෙනව. මේ අතර යුනෙස්කෝ සංවිධානයෙන් සඟරාමය වැඩසටහනක් කරනව. කෙටි කතාව, කවිය, ලිපි, රචනා සහ චරිත කතා ආදියත් ඒකෙන් ඉදිරිපත් කරනව. ඒ වගේම ප‍්‍රවෘත්ති පිටපතකුත් එවනව. පියසේන එස්. ජයවීර මහත්මයා තමයි ඒ වැඩසටහන මෙහෙය වූවේ. මම හැම පැත්තෙන්ම දක්‍ෂතා දක්වපු නිසා ඒ හැම තැනකදිම මට අවස්ථාව ලැබුණ.

ප‍්‍රවෘත්ති නිවේදනයට

ගුවන්විදුලියට යන එන එක දවසකදි මට දැනගන්න ලැබෙනව ප‍්‍රවෘත්ති නිවේදනයට නිවේදක නිවේදිකාවන් හොයනව කියල. මොකද පාලන අධිකාරිය තීරණය කරල තිබුණ වෙළෙඳ වැඩසටහන් කරන ගමන් ප‍්‍රවෘත්ති නිවේදනය කිරීම සාර්ථක නෑ කියල.

එයාලට උවමනා වුණේ ප‍්‍රවෘත්ති සඳහාම අනන්‍ය වූ හ`ඩක් ගොඩනගන්න.

ගුවන්විදුලිය ඇතුළත සේවකයන්ගෙන්මයි කෙනෙක් හෙව්වෙ. විශේෂයෙන්ම කියන්න ඕන, ගුවන්විදුලියේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ නිමල් කරුණාතිලක කියන මගේ ළඟම හිවතකු මාර්ගයෙන් තමයි මම මේ තරගයට ඉදිරිපත් වෙන්නෙ. ඔහු මට කියනව මම ඔයාට අවස්ථාවක්

අරගෙන දෙන්නම් තරගයට ඉදිරිපත් වෙන්න, නමුත් සමත් කරන්න මට බැහැ කියල. කොහෙම හරි ඉල්ලූම් කළ බොහෝ දෙනෙක් අතරින් අවසන් දොළොස් දෙනා අතරට මාව තෝරාගන්නව. ඒ අතරිනුත් අවසන් හතර දෙනා අතර තරගයෙන් ඉහළම ලකුණු ලබාගෙන මම සමත් වෙනව. ඉන් පස්සෙ පටිගත කළ හ`ඩපටයක් පාලන අධිකාරියට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ අනුමැතිය යටතේ ගවන්විදුලියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මාව සේවයට බඳවා ගන්නවා.

ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරයි

වේලාව රාත‍්‍රී නවයයි. මේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප‍්‍රවෘත්ති. ප‍්‍රකාශය රම්‍යා වනිගසේකර විසිනි.

ආර්. ආර්. සමරකෝන් (ස්වාමියා) මුණගැහෙයි

රංජිත් ධර්මකීර්ති මහත්මයාගෙ හස්ථිරාජ මහත්මයා කියන විකාරූපී නාට්‍යයක පොඩි චරිතයකට මාව තෝරා ගන්නව. ඉන් පස්සෙ විවිධ නාට්‍යවල රඟපාන්න මට අවස්ථාව ලැබෙනව. මේ අතර චූලා කාරියවසම් නිෂ්පාදනය කළ ‘මනරංජන වැඩවර්ජන’ කියන නාට්‍යයේ ප‍්‍රධාන චරිතයකට මාව තෝරා ගන්නව. මේ නාට්‍යය බලන්න සමරකෝන් මහත්මයා එනව. නමුත් ඒ වන තුරු මම එයාව දැනගෙන හිටියෙ නැහැ. කොහොම හරි නාට්‍ය අවසන් වුණාම ඔහු ඇවිත් මට සුභ පතනව. ඒක මට පුදුමසහගත අවස්ථාවක් වුණා.

සමරකෝන් ගෙන් පණිවුඩයක් ටික දවසකට පස්සෙ එල්සන් දිවිතුරගම මහත්මයා අතේ සමරකෝන් මහත්මයා මට පණිවුඩයක් එවනව මාව මුණගැහෙන්න ඕනය කියල. ඒ වෙනකොට මම පානදුර රඟහලේ ‘අංගාරා ගඟ ගලාබසී’ කියන නාට්‍යයේ වැඩකරමින් හිටියෙ. ඔහු එක දවසක් නාට්‍යයේ විවේක කාලයේදි මාව මුනගැහෙන්න ඇවිත් මගෙන් අහනව මගේ අලූත් නාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියල. මේ 1978 අවුඅරුද්දෙ. බොහෝ වෙලාවට චන්ද්‍රා කළුආරච්චි තමයි ඔහුගෙ නාට්‍යවල ප‍්‍රධාන චරිත නිරූපණය කළේ. නමුත් චන්ද්‍රාට බබා ලැබෙන්න ආසන්න නිසයි ඔහු මට මේ ආරාධනය කරන්නෙ.

මැටිල්ඩා කරළියට

එදා එහෙම කළ ආරාධනය මම බොහොම සතුටින් භාර ගත්තා. ඒ අනුව පිටපත මගේ අතට දීල එතුමා මට කියනව ඔබතුමිය මැටිල්ඩාගේ චරිතය බලාගන්න කියල. එදා සිට අද දක්වාම වසර 42ක් පුරා ‘කැලණි පාලම’ නාට්‍යයේ මැටිල්ඩා මමයි.

‘කැලණි’ පාළම රට වටා

මේ නාට්‍යයට පුදුම විදිහට පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම රට පුරා පුදුම වේගයකින් නාට්‍යය දුවන්න ගත්තා. මාසයට දවස් 27ක් 28ක් අපිට මේ වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වුණා.

වේදිකාවෙන් පුංචි තිරයට

1983 අවුරුද්දෙ විතර ඇරඹුණ ටෙලි නාට්‍ය පරපුරේ මුල්ම සාමාජිකයන් වුණේ අපි. ඒවාට යොදා ගත්තේ වේදිකාවේ නළුනිළියන්ව. බුද්ධි වික‍්‍රම,

සිරිල් වික‍්‍රමගේ, චාන්දනී සෙනෙවිරත්න සහ මම රංගනයෙන් එක් වුණ ‘ගඟුලෙන් එගොඩ’ ටෙලි නාට්‍යයට ජර්මනියේ පැවැත්වුණ උළෙලකදි ස්වර්ණ සම්මානය පවා හිමි වුණා.

රසමුසු තැන්

ඒ කාලෙ නාට්‍යයක් අවසන් වෙලා ලොකු සාදයක් පවත්වනව. එක දවසක් කැලණි පාලම නාට්‍යය අවසන් වෙලා මේකප් එහෙම හෝදගෙන අපි උත්සවයට සහභාගි වෙනකොට පේ‍්‍රක්‍ෂකයො ඇවිත් අහනව කෝ අර මැටිල්ඩට රඟපාපු කෙනා කියල. අපෙන්මයි අහන්නෙ. ඒ කරපු චරිතයේ හැටියට පේ‍්‍රක්‍ෂකයන්ට ඒ තරමටම අපිව අඳුන ගන්න බැරිවෙලා. ඒ ඒ අයව හඳුන්වා දෙනකොට ඔවුන්ට හරිම පුදුමයි.

දෙන්නටම ආදරෙයි

නිවේදිකාව සහ රංගන ශිල්පිණිය යන දෙදෙනාම මට මගේ නිවුන් දරුවො වගේ. ඒ චරිත දෙකටම මම එක වගේ ආදරය කරනව.

පසුතැවීමක්

ගායනයට මට තිබුණ හැකියාවෙන් ප‍්‍රයෝජනයක් ගන්න බැරි වුණ එක ගැන මම අද ගොඩක් පසුතැවෙනව. ගීත ගායනයෙන්ම ක්‍ෂේත‍්‍රයට ආපු මට මගේම ගීතයක් ගායනා කරන්න උවමනාවක් ඒ කාලෙ තිබුණෙ නැහැ. නමුත් අද මම ඒ බලාපොරොත්තුව යම් තරමකට

සපුරගෙන තියෙන්නෙ. අම්මා ගැන මම ම ලියපු ගීතයක් මම ම ගායනා කළා. රූපරචනාවත් එක්කම ඉදිරියේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනව.

මෙහෙමයි වැඩ කළේ

මම අවුරුදු ගාණක් පුරාවටම පාන්දර 3.30ට නැගිටල සේවයට ගිය කෙනෙක්. මගේ පහසුවට උදෑසන සේවා කාලය මම ඉල්ලීමක් කරලම ලබා ගත්තා. උදේ 6.30 වෙනකොට සේවය අවසන් කරනව. එතන ඉඳන් රාත‍්‍රි 10ත් පහුවෙනතුරු මගේ කාලය කැප කළේ නාට්‍ය වැඩවලට.

අද සහ එදා

ඇත්තටම අද එක එක ආයතන අතර තියෙන්නෙ ලොකු තරඟයක්. භාෂාව හැසිරවීමේ ප‍්‍රමිතියක් නැහැ. තමුන් තමුන්ටම හිනා වෙනව. මෙතනදි නිවේදකයන්ට දොස් කියන්නත් බැහැ. එදා අපි මේ දේ කළේ බොහොම ගෞරවණීය සේවයක් විදිහට. අද ඒ දේ දකින්න නැහැ. මේක අනාගත පරපුරට කරන බරපතළ වරදක්. මෙවැනි දේ පාලනය කරන්න රජය මැදිහත් වෙන්න ඕන. ඒ රජයේ යුතුකමක්.

බලාපොරොත්තුවක්

මේ දවස්වල ‘දූවිලි’ නාට්‍යයේ වැඩ පටන්ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. සමරකෝන් මහත්මයාගෙ ‘ජේලර් උන්නැහේ’ කියන නාට්‍යය වේදිකාවට ගේන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නව. ඒ වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් ඉදිරිපත් වෙනවනම් මම බොහොම සතුටුයි.

ඉසිඹුවක්

කලාව තරම් තෘප්තිමත් වෙන්න පුළුවන් රැුකියාවක් තවත් නැහැ කියලයි මම නම් හිතන්නෙ. නිර්මාණවල ඉන්නකොට පාළුවක් තනිකමක් දැනෙන්නෙ නෑ. අවසානය දක්වාම මම වැඩ කරනවා.

ලිව්වේ මහේෂ් එදිරිසිංහ
දිවයින ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top