අතීත හෙළයන්ගේ තාක්ෂණික මහිමය කියාපාන දැදිගම ඇත් පහන

පුරාණ ලංකාවේ, ක්‍රි.පූ. තෙවැනි ශතවර්ෂයේ සිට මනාව ස්ථාපිත වූ, ද්‍රව මූලික, ව්‍යූහාත්මක සංවර්ධන ක්‍රියාදාම, 12වැනි සියවස දක්වා තරමක් සංකීර්ණ අයුරින් ද, ඉන් පසු සාමාන්‍ය අයුරින් ද මෙරට පැවතී ඇත. ජලය මුල් කරගනිමින් ජලාශ ඉදි කිරීම, මානව මැදිහත් වීමෙන් ස්වාභාවික ජල මූලාශ්‍රය පාලනය, ජලය බෙදාහැරීම, ඇළ මාර්ග ඉදි වීම, සොරොව් හරහා ජල පාලනය, බිසෝකොටුව මඟින් වැවෙහි පීඩන ජලය වැව් බැම්ම හරහා ඉදි වූ ආවරණ නළ මාර්ග ඔසසේ ගොවි බිම් වෙත රැගෙන යෑම වැනි ක්‍රියාදාම දේශීය ඉංජිනේරුවන් විසින් ද්‍රව තාක්ෂණය යොදාගත් මහාපරිමාණ මැදිහත් වීම්ය. මේ වන විට විවිධ පර්යේෂණ ආයතන මඟින් එලෙස යොදා ගත් ද්‍රව තාක්ෂණ විද්‍යාත්මක සොයාබැලීම් විවිධ පර්යේෂණ සිදු කර තිබේ. මීට අමතරව, සුළු වශයෙන් භාවිතයට ගත්, දේශීය ඉංජිනේරුවන්ගේ දක්ෂතාවේ විස්මයජනක බව, වර්තමාන විද්‍යාඥයන්ට ද මහත් කුහුලකි. මේ අතුරින් ක්ෂුද්‍ර තාක්ෂණික ක්‍රියාදාම රැසක් රැඳි දැදිගම ඇත් පහන, ලාංකේය පුරාණ ඉංජිනේරුවන්ගේ විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු කරන සුවිශේෂ පුරාවස්තුවකි.

අතීතයේ ලංකාව ප්‍රධාන රාජ්‍යය තුනක් යටතේ පාලනය වූ බව පැහැදිලි වන්නේ, වංශකථාමය තොරතුරු මඟිනි. ඒ අතරින්, දක්ඛිණ දේශයට අයත් වූ වත්මන් සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම, ඒ යුගයේ දී හඳුන්වා ඇත්තේ ‘පුංඛගාම’ නමිනි. අනුරාධපුර, පොලොන්නරුව තරමින්ම රාජකීය අගනුවරක් නොවුව ද, පුංඛගාමය දක්ඛිණ දේශයේ ප්‍රධාන පරිපාලන ග්‍රාමය වී තිබේ.

ඒ අනුව පුංඛගාමය ලෙස හැඳින්වූ දැදිගම මානාභරණ රජතුමාගේ අණසක රැඳි ප්‍රදේශයක් වී තිබිණ. කාලයත් සමඟ මානාභරණ රජු හා බිසවට දාව පරාක්‍රමබාහු කුමරු උත්පත්තිය ලැබීය. ඒ කුමරු ඉපදුණු ස්ථානය සිහි වීමට ස්ථූ පයක් ගොඩනංවා තිබේ. එම ස්තූපය කොත්කැරැල්ලක් රහිත ගර්භයෙන් අඩක් සහිතව ඉදිවූ නිසා, ‘කොට වෙහෙර’ ලෙසින් හඳුන්වයි. මෙවැනි තවත් කොට වෙහෙර දෙකක් ලෙස, පරාක්‍රමබාහු රජ සමයේ ඉදි කර ඇති පොලොන්නරුව දෙමළ මහා සෑයත්, යුදඟනාව ස්තූපයත් දැක්විය හැකිය.

මහා පුරුෂයකුගේ හෝ ඔහුගේ අනුගාමිකයකුගේ භස්මාවශේෂ හෝ ඔහුට අයත් උපභෝග පරිභෝග වස්තුවක් තැන්පත් කරමින් තනනු ලබන ස්මාරකය බුදු දහමට අනුව ස්තූපයක් ලෙස හැඳින්වේ. එහෙත්, දැදිගම කොට වෙහෙර නිර්මාණය කර ඇත්තේ, මහා පරාක්‍රමබාහු රජුගේ උත්පත්ති ස්ථානය සිහි කිරීමටය.

එය ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ සිදුවීමකි. කෘෂිකාර්මික වශයෙන් මෙරට දියුණු කළ සුවිශේෂ රජකු ලෙස, ක්‍රි.ව. 1153-1186 කාලයේ දී ලංකාව පාලනය කළ මහා පරාක්‍රමබාහු රජු හට අත් වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මානාභරණ රජු ඉදි කළ කුඩා ස්තූපය පසෙකට හසු වන සේ, දැදිගම සූතිඝර චෛත්‍යය ඉදි කර ඇත. ඒ පේසා තුනක් සහිතවය. මුලින් ඉදිව තිබූ කුඩා ස්තූපයට බාහිරින් ප්‍රතිසංස්කරණයක් හෝ නව එකතු කිරීමක් කර ඇත්තේ එයට ගෞරවාන්විත බවක් එක් වන පරිද්දෙනි. ඒ අනුව පෙර නිර්මාණය විනාශ නොකර ඉදි කිරීමට තරම් දෙවැනි සංස්කෘතිය නිහතමානි වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සූතිඝර ස්තූපය ප්‍රතිසංස්කරණය කිරීමේ දී ද ඒ ගෞරවාන්විත දැක්ම ඉස්මතු කර තිබීම පැසසුම් කට යුතුය.

වර්ෂ 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන්, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ මූලිකත්වයෙන් සිදු කළ පර්යේෂණ කැණීම් මඟින්, කොට වෙහෙර ස්මාරකය පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ. පසින් වැසීගිය මේ ස්මාරකය, කුඩා ස්තූපයක් කේන්ද්‍ර කරගනිමින්, අර්ධ ගර්භයෙන් යුතු කොට වෙහෙරක ස්වරූපයෙන් ගොඩනඟා ඇති බව කැණීම් මඟින් පැහැදිලි කරගෙන තිබේ. ප්‍රධාන ස්තූපයේ නිධන් ගර්භ දෙකකින් හා කුඩා ස්තූපයේ එක් නිධන් ගර්භයකින් පූජා භාණ්ඩ බොහෝ ප්‍රමාණයක් සොයාගෙන ඇත. මේ වන විට දැදිගම පුරාවිද්‍යා ස්ථානයේම ඉදි කර ඇති, ස්වාභාවික ආලෝකය මඟින් පුරාවස්තු නැරඹිය හැකි ආකාරයට සැකසූ සුවිශේෂ කෞතුකාගාරයෙහි ඒවා තැන්පත් කර තිබේ.

නිධන් සොරුන්ගේ ග්‍රහණයට නතු නොවූ ස්තූප අතුරින් පළමු තන්හි ලා ගිණිය හැකි දැදිගම සූතිඝර ස්තූපයේ පර්යේෂණ කැණීම් කාර්තු ක්‍රමය භාවිතයට ගනිමින් ආරම්භ කර තිබේ. ඒ අනුව, කැණීමත් සමඟ විවර කළ පළමු නිධන් ගර්භයේ තිබූ ඇත් පහන් දෙකට හිමි වන්නේ ඉහළ අගයකි. ඒ නිධන් ගර්භයේ, මකර තොරණින් සමන්විත බුදු පිළිම හතරක් සතර දිසාවට තැන්පත් කර තිබී ඇති අතර, මීට අමතරව, නෙලුම් පෙහොට්ටුවක හැඩැති පහනක් ද, මැටි පහන් කීපයක් ද, තවත් පුරාවස්තු කීපයක් ද මෙහි තැන්පත් කර තිබී ඇත. මෙලෙස හමු වූ පහන කොටස් කීපයකින් සමන්විය. ඉහළ සිට පහළට පිළිවෙළින්, එල්ලීමට භාවිතයට ගන්නා නයි පෙණයක හැඩැති කොක්ක, බෙර වයන්නන්ගේ හා නැට්ටුවන්ගේ රුව සහික එල්ලා තබන දම්වැල, අලියා මත අලංකාර කැටයම් සහිතව නිර්මාණයවූ මකර තොරණ, ඇතා මත වාඩි වී සිටින ඇත්ගොව්වා, අභ්‍යන්තර කුහරය සහිතව විශේෂයෙන් නිර්මාණය වූ පිරිපුන් ඇතා, පහන් දැල්වීමට හා තෙල් රැඳවීම සඳහා යොදාගත් තැටිය මේ පහනෙහි අන්තර්ගත ප්‍රධාන කොටස්ය.

පහනේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරතොත්: පහන් දැල්වීම සිදු වන තැටිය තෙල් රැඳීම සඳහා භාවිත කර තිබේ. තෙල් ගබඩා වීම සිදුව ඇත්තේ, අලියාගේ කුස තුළය. අලියාගේ කුසට තෙල් පුරවා ඇත්තේ, ඉදිරි දකුණු පාදයේ වූ නළයකිනි. එම නළය මඟින් කුස තුළට තෙල් පුරවා, අනෙක් පසට හැරවූ පසු, නැවත තෙල් ගලා නොයන උසකින් එය නිම වී ඇති බව දැකගත හැකිය. පහනේ ඇති තෙල් දැවීමෙන් ඇතිවන අඩුව පිරවීම, ඇතාගේ ලිඟුව හරහා ඇති නළයක් මඟින් සිදුවේ. එහෙත් ලිඟුව හරහා ඇති නළයෙන් සැම විටෙකම තෙල් වැගිරීමක් සිදු නොවේ.

පහන දැල්වීමෙන් තැටියේ තෙල් අඩු වූ අවස්ථාවේ, ඉදිරි පාදයේ නළය විවර වනවාත් සමඟ, එම නළය මඟින් ඉහළට ඇ දී යන වායු ධාරාවේ පීඩනය මතින් ලිඟුව හරහා තෙල් වැගිරේ. තෙල් ගලා ඒම සිදු වන්නේ දහන වේගය මතය. එලෙස අඛණ්ඩව ගලා එන තෙල් මඟින්, ඉදිරි පාදයේ සිදුර දක්වා පහනේ තැටිය මත තෙල් පිරුණු පසු යළිත් තෙල් වැගිරීම ඇන හිටී. ඒ කුස තුළට ගලා යන වායු ධාරාව නවතින නිසාය. අවශ්‍ය ප්‍රමාණයට තෙල් ගලා ඒමෙන් පසු එය වායු පීඩන තාක්ෂණය ඔස්සේ ස්වයංක්‍රීයව නවතින පරිදි සකස් කර ඇත. ඒ, කුටිය අභ්‍යන්තරයේ ඇති සම්පූර්ණ ඔක්සිජන් ප්‍රමාණය දහනය වන තෙක්, තෙල් ටික පැවැතිය යුතු නිසාය.

මේ ක්‍රියාවලිය සරල සේ පෙනුණ ද සිදු වන විද්‍යාත්මක යන්ත්‍රණය ඉතා ගැඹුරු හා භෞතික විද්‍යා මූලධර්ම කීපයක, නියම කිහිපයක එකතුවකින් නිර්මාණය වූවකි. මේ ඇත් පහන තුළ, භෞතික විද්‍යා මූලධර්ම වන බොයිල්ගේ නියමය, ජල ගතික විද්‍යාව, ද්‍රවස්ථිතික විද්‍යාව යන නියම ක්‍රියාත්මක වේ. එය නවීන විද්‍යාඥයන් ද පුදුමයට පත් කරවන්නකි. මේ තත්ත්වය වායු නියම යටතේ හඳුනාගත යුතු සංකීර්ණ විද්‍යාත්මක ක්‍රමවේදයකි. මෙහි අගය හා විද්‍යාත්මක පසුබිම වටහා ගත් ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මේ ඇත් පහනේ ආකෘතියක් තනා ක්‍රියාකාරිත්වය සජීව ලෙස දැකගැනීමට සලස්වා ඇත. ඒ මඟින් අතීත මානවයාගේ නිර්මාණශීලිත්වය මෙන්ම දක්ෂතාව ද වත්මන් පරපුරට දැක-බලා ගැනීමට හැකි වේ.

මේ පහනේ නිර්මාණාත්මක ලක්ෂණ හා විද්‍යාත්මක පදනම කෙබඳු අයුරකින් විස්තර කරන්නේ දැයි සිතෙන තරමට සංකීර්ණය; පුදුම සහගතය! එයට හේතුව, මේ පුරාකෘතියේ අයිතිය අදින් වසර 900ක් පමණ පැරණි වීමය. ඔවුන් මේ පහන දැල්වීම මඟින් අරමුණු දෙකක් මුදුන්පත් කරගැනීමට උත්සාහ දරා ඇති බව සිතිය හැකිය. ඉන් එක් කරුණක් වන්නේ, ආගමික වශයෙන් ස්තූපයක් හෝ බුදු පිළිමයක් ඉදිරියෙන් පහන් දැල්වීම මඟින් එයට, ආලෝකය සැපයීම හා යම් ආගමික අගය කිරීමක් දැක්වීමය. ඉන් එහා ගිය දෙවැනි වැදගත් කරුණ වන්නේ, මේ පහන් දැල්වීම මඟින් විද්‍යාත්මක අවශ්‍යතාවක් ඉටු කරගැනීම සිදුව ඇති බවයි. අතීත වැසියාගේ ලෝහ භාවිතයේ ප්‍රායෝගික ප්‍රාගුණ්‍යය මැනවින් පිළිබිඹු වන එම කරුණ වන්නේ, වාතයට නිරාවරණය වන ලෝහ ද්‍රව්‍ය මළ බැඳීම, ඔක්සීකරණය හරහා වන අවපැහැ ගැන්වීම හා ඔක්සයිඩ් බැඳීම වැනි කරුණු ඔවුන් මැනවින් දැනසිටි බවයි.

ඒ ශිල්පීන්, මේ තත්ත්ව වළක්වාගැනීම සඳහා ගත හැකි උපක්‍රමයක් ලෙස, මුද්‍රා තැබූ නිධන් ගර්භයේ ඔක්සිජන් මුක්ත කලාපයක් ඇති කිරීමට, ඔක්සිජන් දවාලිය හැකි උපකරණයක් ලෙස පහන් දැල්වීම සිදු කර ඇත. ඒ අනුව, නිධන් කුටීරයේ ඔක්සිජන් නිමවූ පසු පහන නිවී යයි. එවිට එම වායු මුක්ත කලාපයේ පවතින සියලු ලෝහ භාණ්ඩ බොහෝ කලක් නිරුපද්‍රිතව පැවතීම ස්ථිරය. අද වන තෙක් දැදිගම ස්තූපයේ වූ ලෝහ භාණ්ඩ ආරක්ෂා වීමට, ඇත් පහන හා අනෙකුත් පහන් සියල්ල නිහඬව ඉමහත් කාර්යභාරයක් ඉටු කර ඇත. දහන ක්‍රියාවලිය මෙන්ම, අභ්‍යන්තර රසායනික ප්‍රතික්‍රියා පිළිබඳ පුළුල් අවබෝධයක් හා ඊට පිළියම් ද ඔවුන් සතුව පැවතීම, හෙළ විද්‍යාඥයන්ගේ දක්ෂතාවට කදිම උදාහරණයකි. මේ තත්ත්වය අපට සරල කරුණක් ලෙසින් පෙනුණ ද, අදින් වසර 900කට ආසන්න කාලයක දී මෙවන් විද්‍යාත්මක නියම ක්‍රියාත්මක වීම විස්මයජනකය!

ශ්‍රී ලංකාවේ, කැණීම් හා වෙනත් ක්‍රම ඔස්සේ අනාවරණය වන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ලෝහ පුරාකෘති එකතු, කෞතුකාගාර මට්ටමින් ප්‍රදර්ශනය කිරීම අද වන විට සංකීර්ණ හා අභියෝගාත්මක ක්‍රියාවලියකි. එය එසේ වුව ද, වසර 900ක් වැනි අතීතතයක් හිමි ලෝහ භාණ්ඩ එකතුවක්, දැදිගම කොට වෙහෙර තුළ ආරක්ෂා වී පැවතීම සිදුව ඇත්තේ, පැරණි ශිල්පීන්ගේ ප්‍රායෝගික තාක්ෂණික ඥානයට පින් සිදු වන්නටය.

12 වැනි සියවසේ දී ක්ෂුද්‍ර ද්‍රව තාක්ෂණය මේ ආකාරයට භාවිත කිරීම පිළබඳ, ජාතියක් ලෙස අප සතුටු විය යුතුය; එසේම, එවන් තාක්ෂණයක් රැඳුණු අතීතයක්, වර්තමානය දක්වා නොපැමිණීම පිළිබඳ කනගාටු විය යුතුය. වසර 900කට වඩා පැරණි ලාංකේය මිනිසාගේ විද්‍යාත්මක ඥානයේ අද්විතීය බව කියාපාන මේ අද්විතීය නිර්මාණය කෙරෙහි අපගේ අවධානය නිසි ලෙස යොමු විය යුතුය. ලෝකඩ වාත්තු ශිල්පය ද, හෙළ කැටයම් ශිල්පය ද, භෞතික විද්‍යා මූලධර්ම ද මැනවින් ප්‍රකට කරන මේ ඇත් පහන, දැදිගම කෞතුකාගාරයේ දී හා කොළඹ ජාතික කෞතුකාගාරයේ දී ඔබට දැකගත හැකිය.

එච්.එම්. සමන් කුමාර

ඇරගම

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී,

ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය,

සීතාවක, අවිස්සාවේල්ල.

( දිණමිණ )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top