ඔබ පාසල් කාලය ගතකරන ආකාරයෙන් ඔබේ අනාගතය තීන්දු කෙරෙන්නේ නෑ…- සාගර විද්‍යාඥ ආශා ද වොස්

පානදුරේ තල්මසුන් බේරාගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන්නේ ඇයයි

ඔබට ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒත් සුදුසු පුද්ගලයන් ඔබ වටා සිටින විට ඒවා ජය ගත හැකියි.

මවුපියන්ගෙන් ලැබුණු නිදහස, ඒ තුළ මා ලබපු පෞරුෂය, ශික්ෂණය හා චින්තනය තමයි අද මා මේ තැනට ඔසවා තැබුවේ.

ලොව කොතැන හිටියත් ඔබ පිරිමින්ට වඩා වෙහෙස වී වැඩ කළ යුතු වෙනවා. එවිට යම් තැනෙකදී ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ පසුබිම නොසලකා ඔබේ දක්ෂතාව සහ වටිනාකම මතුවෙන්න පටන් ගන්නවා.

මට අවශ්‍ය වුණේ ත්‍රාසජනක අත්දැකීම් විඳින විද්‍යාඥවරියක් වෙන්න. ත්‍රාසය හා විද්‍යාව කියන මා ආදරය කරන ඒ හැම දෙයකම සංකලනය මහ සාගරය තුළ තිබුණා.

ආචාර්ය ආශා ද වොස්… අපේ කාලයේ දී විශ්ව සම්භාවනාවට ලක් වූ ශ්‍රී ලාංකේය කාන්තාව ඇයයි. මේ ප්‍රභාන්විත ගැහැනිය ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් පසුගිය වසර 40 තුළ එම සරසවියෙන් අධ්‍යාපනය හැදෑරූ දීප්තිමත්ම ශිෂ්‍යාවන් 20 දෙනා අතරට ඉකුත් වසරෙ දී තේරුණා. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඡායාරූපයක් ප්‍රදර්ශනය වන පළමු ශ්‍රී ලාංකේය කාන්තාව ද ඇයයි. එමෙන්ම වර්ෂ 2018 දි බී.බී.සී.ය මගින් ලෝකයට වඩාත් බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට ඇය ඇතුළත් කළා. රටවල් 60ක, වයස අවුරුදු 15ත් 94ත් දක්වා වූ වයස් ඛාණ්ඩවල ප්‍රබල කාන්තා චරිත දස දහස් ගණනක් අතුරින් තේරී පත් වී එවැනි ප්‍රභූත්වයක් පළ කළ එකම ශ්‍රී ලාංකික කාන්තාව වූයේ ද ඇයයි. එමෙන් සාගර ක්ෂීරපායින් පිළිබඳ ආචාර්ය උපාධියක් ලද ප්‍රථම ශ්‍රී ලාංකේය පුරවැසියා වූයෙත් මේ විශිෂ්ට කාන්තාවයි.

ආචාර්ය ආශා ද වොස් පිළිබඳ යළිත් අලුත් සංවාදයක් උපදින්න ප්‍රධාන නිමිත්තක් තිබුණා. ඒ තමයි පසුගිය 02වැනි දා පානදුර වෙරළට ගොඩ ගසා මිය යන්නට ගිය තල්මසුන් රංචුව බේරා ගැනීමට දියත් කළ දැවැන්ත මානුෂික මෙහෙයුමේ බුද්ධිමය සැලසුම සහිතව සිටි යෝධ චරිතය ලෙස ආචාර්ය ආශා ඩි වෝස් යළිත් මතු වීම. රසඳුන ඇය සමඟ මේ සංවාදය ගොඩනගන්න උත්සාහ කරන්නේ ඒ ප්‍රභූ කාන්තා චරිතයෙන් අපට උකහා ගත හැකි අප්‍රමාණ පාඩම් තිබෙන නිසා.

ආචාර්ය ආශා ඩි වෝස් නමැති මේ විශ්ව සම්මානිත ගැහැනිය සමඟ අප සංවාදයට මුල පිරුවේ පානදුර වෙරළට පැමිණි තල්මස් සේනාවේ මතකයත් එක්ක. ඇත්තටම එය ලෝක අවධානයට හා ප්‍රසංශාවට ලක් වූ විශිෂ්ට මෙහෙයුමක්.. ඒ තල්මසුන් රෑණෙන් අති මහත් බහුතරයක් යළි දියඹට යවන්න ආචාර්ය ආශා ඩි වෝස් ඇතුළු ඒ මොහොතේ එතැනට රැස් වුණු ස්වේච්ඡා කණ්ඩායමට හැකි වුණා. ඒ මොහොත ගැන කතා කරමින් සංවාදය අරඹන්න අප ඇයට ඇරයුම් කළා.

“මා මුලින්ම මේ සිදුවීම දුටුවේ රූපවාහිනී නාලිකාවකින්. ඒ ඇඳිරි නීතිය පැනවී තිබුණු අවස්ථාවක්. ඒ මොහොතේ මම එතෙන්ට ගියා. සාගර ජීව විද්‍යාඥවරියක් ලෙස මට මේ වගේ අවස්ථාවක් කලමණාකරණය කරගන්න අවශ්‍ය දැනුම සහ අත්දැකීම් තිබෙනවා

තල්මසුන් කියන්නෙ මත්ස්‍ය විශේෂයක් නොවෙයි. ඔවුන් ක්ෂීරපායි සත්වයන් කොටසක්. ඔවුන් ගළපා ගැනීමේදී මූලිකව හිස මත ඇති ශ්වසන විවර වැලි වලින් හෝ ජලයෙන් අවහිර නොවිය යුතුයි. මා එතෙන්ට යන විටත් විශාල ස්වේච්ඡා කණ්ඩායමක් හා ආරක්ෂක අංශවල පිරිසක් ඇවිත් මෙහෙයුම් කටයුතු අරඹා තිබුණා. ඒ වෙලාවේදි මගෙන් වුණු සේවය තමයි මෙවැනි මොහොතක මේ සත්ව සමූහය ගලවාගෙන යළි දියඹයට යැවීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීම. මුදාහරින තල්මසුන් නැවත ගොඩබිමට නොපැමිණෙන ආකාරයට තත්ත්වය කළමණාකරණය කිරීමට මග පෙන්වීම. “ඇය පවසන්නේ සිය පරිචය ගැන දැඩි විශ්වාසයකින්. තෘප්තියකින්.

ආශා ද වොස් අද විශ්ව කීර්තිමත් සාගර විද්‍යාඥවරියක්..ඇය ගේ මේ ගමනට අඩිතාලම වැටුණු පාසල් විය ගැන සිරිමත් මතක මොනතරම් අපුරු ඇති දැයි අප ඇයව විමසා සිටියා…

“මම මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. මම පාසලේදී කිසි දවසක නරක ශිෂ්‍යාවක් වුණේ නැතත් අධ්‍යාපනයට සම්බන්ධ තෑග්ගක් හෝ සම්මානයක් ලබා ගෙන නෑ. මගෙ කාලය වැඩිපුරම ගත වුණේ පිහිනන්න, ගස් නගින්න, ක්‍රීඩා කරන්න වගේම පරිසරය හා ගැටුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට. මම හිතුවේ නෑ මතක තබා ගැනීම මූලික කර ගත්ත අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මට සහයක් ලැබෙයි කියලා. මගේ වාසනාවට මගේ මවුපියොත් එහෙම හිතුවේ නැහැ. පාසල් කාලේදී ක්‍රීඩාවලට ගොඩක් ජයග්‍රහණ ලබා ගත්ත කෙනෙක් මම. කිසි ම දවසක ඉගෙනීමට අදාළ තෑගි ප්‍රදානෝත්සවයකදී මම වේදිකාවට නැගලා නැහැ. මෙතනදි ඔබට එක් දෙයක් කිව යුතුයි. පාසල් කාලය ගත කරන ආකාරයෙන් ඔබේ අනාගතය තීන්දු කරන්නේ නෑ… ඔබට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මම. “

ඇත්තටම එය අපූරු යථාර්ථයක්. පවතින රාමු තුළ ලංකාවෙ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ දීප්තිමත් නොවුණු ඒ සිසුවිය ලෝකයේම අවධානයට ලක් වන්නේ ඔක්ෆර්ඩ් සරසවියෙන් පිදුම් ලබන ප්‍රභාමත්ම ශිෂ්‍යාවක් වෙලා. පසුගිය වසර 40 තුළ ඔක්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලද දහස් සංඛ්‍යාත සිසුවියන් අතරින් දීප්තිමත්ම සිසුවියන් 20 අතරට ඇය තේරෙනවා. ඇයගේ ඡායාරූපයක් සරසවි බිත්තියේ එල්ලෙනවා…

“ඒ ගැන නම් ඇත්තටම මට නිහතමානී ආඩම්රබයක් තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මා ඉගෙන ගත් ලින්කන් විද්‍යාලයට ශිෂ්‍යාවන් බඳවා ගැනීම ආරම්භ වෙලා මේ වසරට අවුරුදු 40ක් සපිරෙනවා. එය සැමරීම සඳහා පාලනාධිකාරිය තීරණය කරලා තිබුණා, එහි ඉගෙන ගත් ශිෂ්‍යාවන් 20 දෙනකුගේ ඡායාරූප එල්ලා තබන්න. ඊට මාවත් යෝජනා වෙලා තිබුණා. “

“ඔක්ස්ෆර්ඩ් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මකවන ලොව පැරැණිතම විශ්වවිද්‍යාලය. මම කළ කැපවීම්වලට ලැබුණු ගෞරවයකට වඩා මා තෘප්තිමත් වෙන්නේ ශ්‍රී ලංකාවට ලෝකයේ යම් ගෞරවයක් ලබා දෙන්න මට හැකි වීම ගැනයි“

මෙවැනි ගැහැනුන් ආකාස්මිකව පහළ වන්නේ නැත. ලෝකය එළිය කරන එවැනි බිජුව දළු ලා වැඩෙන්නේ සාරවත් බිමක. ඒ සරු බිමක් මුලින්ම නිර්මාණය වන්නෙ මවුපියන් ගේ චින්තන වපසරිය ඇතුළෙ… පවුල් පරිසරය තුළ…

“ඇයට මේ තරම් නිදහස් චින්තනයක් දුන් ළමා කාලය, අම්මා තාත්ත සමඟ ගත කළ ඒ අත්දැකීම් කොයි වගේ දැයි අප ඇගෙන් විමසුවා.

“ඔවුන් හරිම නිදහස් සිතිවිලි තිබෙන මිනිස්සු. මගේ පියා දේශමාන්‍ය විද්‍යාජොති ඇෂ්ලි ඩි වොස්. ඔහු ගෘහ නිර්මාණ ශිල්පයෙක් වගේම අපේ මහා සංස්කෘතිය ගැන විශාල පරිචයක් තිබෙන ස්මාරක සංරක්ෂකයෙක්. පුරාවිද්‍යා වාස්තු සංරක්ෂණ ශිල්පියෙක්. ගාලු කොටුව වගේම ජේතවනාරාම දාගැබ සංරක්ෂණය වුණේ ඔහුගේ ඒ විශේෂඥ දැනුම යටතේ. අම්මා තමයි වටිනාම වෘත්තීය කළේ අපේ ගෙදර. ඇය ගෘහණියක්. මට අසීමිත ශක්තියක් වුණේ ඇය.. මගේ එකම සහෝදරයා ජීවත් වෙන්නෙ එංගලන්තයේ. ඔහු ලන්ඩන් නුවර ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔවුන් සමඟ ගෙවූ ළමා කාලය තුළ මා ලබපු පෞරුෂය, ශික්ෂණය, චින්තනය තමයි අද මා මේ තැනට ඔසවා තැබුවෙ.

පාසල් අධ්‍යාපනය හමාර කළ පසු ආචාර්ය අශා ඩි වෝස්ගෙ ද්විතියික අධ්‍යාපනය පෙළ ගැසෙන්නෙ විදේශයන්හි දීයි. ඇය ඒ ගැන කෙටියෙන් සඳහන් කළා.

“පාසල් අධ්‍යාපනය හමාර කළාට පස්සෙ මගෙ පළමු උපාධිය ලබා ගන්නේ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘ සරසවියෙන්. ඊට පස්සේ තමයි එංගලන්තයෙ ඔක්ෆර්ඩ් සරසවියට ඇතුළු වෙලා මගෙ ප්‍රථම පශ්චාත් උපාධිය ලබා ගන්නෙ. ආචාර්ය උපාධිය ලබා ගන්නේ බටහිර ඔස්ට්‍රේලියානු සරසවියෙන්“

සාගර විද්‍යාඥවරියක් ලෙස ඇයගේ වෘත්තීය ජීවිතය ගොඩනැඟෙන්නෙ මේ අධ්‍යාපන පසුබිමත් එක්ක. එහෙත් ඒ ගමන සඳහා පුංචි අවධියේ සිට ඇගේ තිබුණු කුළුගැන්වීම තුළ ගැබ්ව තිබුණේ පුදුමාකාර චමත්කාරයක්.

“මම කුඩා අවිධියෙදිත් වතුරට ගොඩක් කැමැති කෙනෙක්. පාසල් යන එන හැම වාරයකම මට පෙනුන මහ මුහුද නිකම්ම වතුර ගොඩක් නොවන බවට වූ අවබෝධය මට පුංචි කාලේ ඉඳන් තිබුණා. සාගරය ගැන අධ්‍යයනය කරන්න එයත් එක්ක ගත කරන්න නම් ඊට සම්බන්ධ වෘත්තියක් කළ යුතුයි යන අවබෝධය පාසල් අවධියේම මට ඇතිවුණා. සාගර විද්‍යාඥවරියක් වීමේ මූලික පදනම ඒ ආශාවයි. එහෙත් රට වටේටම සාගරය තිබුණත් සාගර විද්‍යාඥවරියක් වීම මේ සම්ප්‍රදායික චින්තනය ඇතුළේ පහසු වුණේ නෑ… මොකද සාගරය කියපු ගමන්ම ගොඩ දෙනකුගෙ ඔළුවට එන්නේ ධීවර කර්මාන්තය නිසා.

මගෙ පාසල් වකවානුව තුළම මගෙ මවුපියන් මා වෙනුවෙන් National Geographic සඟරා මිල දී ගත්තා. මේ සඟරා කියැවීමෙන්ම මගේ පරිකල්පනාව ඇතුළෙ වෙනත් කිසිවෙක් ස්පර්ෂ නොකළ කිසිවකුට නොපෙනන මානයන් මැවුණා… මට අවශ්‍ය වුණා ත්‍රාසජනක අත්දැකීම් විඳින විද්‍යාඥවරියක් වෙන්න. මේ වකවානුවේ ලංකාවෙ සමුද්‍ර තීරයේ කිමිදීමට කැපවුණු, ලංකාවේ ජීවත් වෙමින් සිටි ආතර් සී. ක්ලාක් වැනි විශ්ව කීර්තිමත් විද්‍යා චින්තකයන් මට හඳුන්වා දෙන්න මගේ මව්පියන් කටයුතු කළා.

ඔහුගේ කතා අසන විට මගේ කුතුහලය තවත් වැඩි වුණා. මේ පරිසරය තුළ සමුද්‍ර ජීව විද්‍යාඥවරියක් වීම සඳහා මම ගත් තීන්දුව ඉතාම ස්වභාවිකයි. මා ත්‍රාසජනක අත්දැකීම් ලබන්න සූදානම් විද්‍යාඥවරියක් වීමේ ඒ ගමන ආරම්භ කළා. පසුව පිහිනීම ක්‍රීඩාවක් විදිහට ප්‍රගුණ කරන්න ගත් විට ජලයට තවත් ඇලුම් කරන්න ගත්තා. අවසානෙ දී මා සාගර ජීවි විද්‍යාඥවරියක් වීම මගේ ජීවිතයේ ලඟා කරගත හැකි සුදුසුම දේ බව වැටහුණා. සාගරය, ත්‍රාසය හා විද්‍යාව කියන මා ආදරය කරන හැම දෙයකම සංකලනයක් එතැන තිබුණා. මේ තෝරාගැනීම පිළිබඳ මට කිසිම පසුතැවීමක් නෑ.

මගේ විෂය ක්ෂේත්‍රය ඉලක්ක වුණේ සාගර ක්ෂීරපායින් පිළිබඳ කළ පර්යේෂණවලට. මගේ ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ උතුරු ඉන්දියානු සාගරයේ නිල් තල්මසුන්. මේ සෑම අභියෝගාත්මක ප්‍රවේශයකදීම පවුලේ සාමාජිකයන්ගෙන් මට ලැබුණෙ විශාල සහයෝගයක්. “

සාගර ක්ෂීරපායීන් පිළිබඳ පර්ය්ෂණ කරන බර සාර සාගර විද්‍යාඥ වෘත්තිය අපට ආගන්තුක වූ ඒ අභියෝගයත් ඇය භාර ගත්තා. අධ්‍යාපන කටයුතු නිමා කර ලංකාවට එන ආචාර්ය ආශා ද වොස් සාගර විද්‍යා පර්යේෂණ ආයතනයක් ආරම්භ කළා. “ඔව්… ඒක ලංකාවේ බිහි වුණු ඒ ආකාරයේ මුල්ම ආයතනය…“ඇය ඒ අත්දැකීම විස්තර කළේ මේ විදිහට.

“ සාගර සංරක්ෂණ, පර්යේෂණ සහ අධ්‍යාපනය සඳහා ඇති ලංකාවේ පළමු ආයතනය වූ Ocenswellපටන් ගත්තා. ඒ වර්ෂ 2017 දී. ඒ වන විට මම නිල් තල්මසුන් පිළිබඳ දශකයකට ආසන්න කාලයක් පර්යේෂණ කටයුතුවල නිරත වෙලයි හිටියේ. උතුරු ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මසුන් පිළිබඳ දිගුකාලීන පර්යේෂණවල පුරෝගාමියා වුණේ මම. මේ වකවානුවෙදි සාගර විද්‍යාව හා සංරක්ෂණය වෙනුවෙන් මා කළ කාර්ය භාර්ය පිළිබඳ BBC, New York Times, TED, National Geographic වැනි අන්තර්ජාතික සම්භාවිත ආයතන විසින් මාත් මගේ අලුත් ආයතනික ප්‍රවේශයත් ඇගයීමට ලක් කළා. “

“ඇත්තටම මට Ocenswell ගොඩනඟන්න අවශ්‍ය වුණේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්. සාගරය සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පර්යේෂණ කරන සාරග වීරයන් පෝෂණය කිරීමට මට අවශ්‍ය වුණා. සාගරය අපේ පෘථිවියෙන් 70% ක් වන නමුත් ඒ වෙනුවෙන් වැඩ කරන්නේ ඉතා ස්වල්ප පිරිසක්. මේ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ප්‍රතිවිරෝධතා රහිත අධ්‍යයන අවකාශයක් සහතික කිරීමට මට අවශ්‍යයයි. ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම විෂයයේ හැසිරීමට දැනුම හා අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ යුතුයි. මේ ආයතය එහි ප්‍රතිඵලයක්…

මම ආරම්භ කළ මේ ශාස්ත්‍රීය කටයුතු කිසිම දෙයක් මා මැරුණු පසු අවසන් විය යුතු නෑ. එහෙම වුණොත් මම ජීවත් වෙලා හිටපු කාලයම නිරපරාදේ නාස්තියක් වේවි. ඒ නිසාම මගේ දැනුම, ඉගැන්වීම, පුහුණුවෙන් කෙනෙක් සන්නද්ධ කිරීම වගේම අන් අයට අවස්ථාව ලබා දීම මට අදහන්න බැරි තරම් වැදගත්.

බොහෝ හරවත් දිගු සාකච්ඡාවක් නිමා කරන මොහොත පැමිණ තිබුණා. ඇගෙන් ඇසිය යුතුම ප්‍රශ්නය සමුගැනීමට මොහොතකට පෙර මා ඇය වෙත යොමු කළා.

“ඔබ ලෝකය දිනාගත්තේ ශ්‍රී ලාංකේය කාන්තාවක් ලෙසයි… මේ පොළොවේ ජීවත්වෙන ලාංකික ගැහැනියට ඔබට දිය හැකි මගපෙන්වීම කුමක් ද? “

ඇය සිය තියුණු දීප්තිමත් බැල්ම සහිතව පිළිතුරු දුන්නා. “මුලින්ම ඔබ මේ කනගාටුදායක යථාර්ථය පිළිගත යුතුයි. ලෝකයේ කොතැන හිටියත් ඔබ පිරිමින්ට වඩා වෙහෙස වී වැඩ කළ යුතු වෙනවා.

නමුත් ඔබ මහන්සි වී වැඩ කරන විට යම් තැනෙකදී ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ පසුබිම නොසලකා ඔබේ දක්ෂතාව සහ වටිනාකම මතුවෙන්න ගන්නවා.

අන්න ඒ කඩඉමෙන් පස්සෙ ඔවුන්ට විසඳගන්න තියෙන ඕනෑ ම ගැටලුවකදී ඔබගේ අවශ්‍යතාව ඔවුන් පිළිගන්නවා. වැදගත්ම දේ කියන්නම්. ඔබට සහය දක්වන ශක්තිමත් පිරිසක් සොයා ගෙන ඔවුන්ට සමීප වෙන්න. ඔබට ඕන තරම් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒත් සුදුසු පුද්ගලයින් ඔබ වටා සිටින විට ඒවා ජය ගත හැකියි.

ටානියා මෝසස්
සිළුමිණ

ඡායාරූප – අරුණ උදය අල්විස්, ශාන් රූපස්සර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top