සිංදු 800යි මිල්ටන් නැති වී වසර 23 යි…

පුංචි මිල්ටන් නොහොත් සුමනසිරිට යම්තම් අවුරුදු 3-4ක් තරම් වයසේදී තම මවගේ අතෙහි එල්ලී ලොරි බසයකින් හා දිගු දුරක් කෝච්චි ගමනකින් කොළඹට ආ හැටි පුංචි මතකයක් ඔහු තුළ විය. එහෙත් ඒ කොතැනක සිට කොහේට ආවාදැයි තේරුම් ගැනීමට තරම් ඔහු වයස් මට්ටමක නොවීය.

මවගේ ඥාති නැන්දණියකගේ නිවසේ කාමරයක තම මව සමඟ ජීවත් වූ ආකාරය ද ඔහුට මතකය. ජීවිතය සරි කරගන්නට තම මව මහන මැෂිමකින් කුලියට ඇඳුම් මැසූ බව ද පැහැදිලිය. මහන මැෂිමේ රෝදය කැරකෙන රිද්මයට ‘ක්ලැලලං ජිං ජිං’’ යනුවෙන් පුංචි කිරිකැටි පුතු තාල රටා මවනා විට තම පුතු අනාගතයේදී දවසක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මිහිරෙන් මිහිරට පත් කිරීමට පෙරහුරු කරනවා යැයි කිසිවිටෙකත් තරුණ ඇග්නස් මවට නොසිතෙන්නට ඇත.

තම මවගේ දෙවන විවාහයෙන් පසු සොහොයුරිය සහ සොහොයුරන් දෙදෙනා සමඟ මිරිහාන රජමහා විහාර පාරේ පුංචි නිවසේ සුමනසිරි ගත කළ කාලය බොහෝ සුන්දරය.

වයස 10-12 වනවිට කිරිකැටි වදන් වෙනුවට පුංචි සුමනසිරිගේ මුවින් පිටවුණේ හින්දි සින්දු ඛණ්ඩයන්ය. පොල්රුප්පාව මැද්දේ ගස් යට ළිඳ ළඟ මිතුරන් හමුවන හැම මොහොතකම ඔහු ගීත ගයන්නට වැඩි රුචියක් දැක්වූවේය. පුංචි සුමනසිරිගේ කටහඬින් ගැයෙන සින්දු අහන්න අහල පහල අය ඔහුගේ කටහඬට කන්යොමාගෙන සිටියේ ඔහුටත් නොදැනුවත්වය.

කෝට්ටේ රජමහා වෙහෙරේ පැවති උපසම්පදා උත්සවයේ ‘‘දොරකඩ අස්න’’ කියන්න සුමනසිරිව තෝරගත්තේ ගමේ හැමෝමත් දායක සභාවත් එක්වය. මේ පුංචි කොල්ලගේ කටහෙ`ඞ් තියෙන ආකර්ෂණීය බව හඳුනාගෙන එවකට රජමහා වෙහෙරෙහි නායක හිමිපාණන් වූ ඇඹුල්ගම පඤ්ඤාතිස්ස නාහිමිපාණෝ පුංචි සුමනසිරිගේ කටහඬට ආශීර්වාද කළහ. දසදහස් ගණනින් සහභාගි වූ මෙම උත්සවයේ දොරකඩ අස්න කියවන විට මේ ළයාන්විත කටහඬ හැමෝගෙම හිත්වලට සතුටක් මිහිරක් ගෙන දුන්නේය. ඒ වනවිට සුමනසිරිට යම්තම් අවුරුදු 13ක් පමණ විය.

දොරකඩඅස්න කියූ දවසට පසු දින සිට සුමනසිරිගේ හඬින් කිසිදු හඬක් පිටවුණේ නැත. ‘‘දරුවට ඇස්වහ කටවහ’’ හැමෝම කියුවේ එකම දෙයය. ඇඹුල්ගම නායක හාමුදුරුවන්ගේ උපදෙස් මත පිළිවෙත් කිරීමෙන් පසුව ඔහුට නැවත කටහඬ ලැබුණේය. එදායින් පසුව ඔහුගේ කටහඬට නව ජීවයක් ලැබුණේ ඔහුටත් නොදැනෙන්නටය. හින්දි සින්දු මුමුණද්දී ඒ හඬ මිනිසුන්ගේ සිත් ඇද බැඳ ගත්තේ කිසිවෙකුටත් සිතා ගන්නට බැරි අයුරිනි.

සුළුපියාගේ දඬුවම් අඩම්තේට්ටම් මැද්දේ ඔහු මිතුරන් හා එක්ව නිතර ගීත ගැයුවේය. ඔහු පාසල් ගිය කෝට්ටේ ආනන්ද විද්‍යාලයේ මිතුරන් සමගින් වැඩි කාලයක් ගත කළේය. ඔහුගේ ළඟම මිතුරන් වූ ලකී, ටෙ‍්‍රවෝ, දයානන්ද ඇතුළු යහළුවෝ හා එක්ව නිතර කි‍්‍රකට් ගැසීමටත් ගීත ගායනයටත් ඔහු පුරුදුව සිටියේය. පන්තියේ පාසල් වේලාවේ ගීත ගායනා කර ගුරුවරයින්ගෙන් දඬුවම් ලැබූ වාර ද අනන්තය. ශාස්ත‍්‍රාලයේ කි‍්‍රකට් තරග දවස්වලට මිල්ටන්ව වටකරගෙන යාළුවෝ සින්දු කියවා ගන්නා විට ඔහු වටා දෙමාපියන් ද රැුස් වූහ. ඔහු ශාස්ත‍්‍රාලයේ ජනපි‍්‍රයම ශිෂ්‍යයකු බවට පත්වූයේ අධ්‍යාපනයෙන් නොව ගීත ගායනයෙන්ය. පාසල් ගිය දිනවලට වඩා නොගිය දින ගණන වැඩි බව ශිෂ්‍ය වාර්තා පොත්වල ද සටහන් විය. එහෙත් ඔහු නිසා ආනන්ද ශාස්ත‍්‍රාලයේ නම අදටත් ජනපි‍්‍රය පාසලක් වන්නට හේතු විය.

කෝට්ටේ ධර්මපාලයේ උගන්වපු දයා බී. සිල්වා සර්ගේ ගෙදර තාප්පෙ උඩ ඉඳගෙන හවසට යහළුවෝ හතර පස් දෙනෙක් එක්ව මිල්ටන් සින්දු කියන්න පුරුදු වෙලා හිටියා. ඒ යහළුවෝ ටික එකතු වෙලා සංගීත කණ්ඩායමක් හැදුවා. ‘ලාසිලනියන්ස්’ කියලා. ඒ කණ්ඩායමේ නිත්‍ය ගායකයා වූයේ මිල්ටන්. නායකත්වය භාර දුන්නේ නොයෙල් රණසිංහට. නුගේගොඩ, මිරිහාන, මහරගම අවට ගම්වල මඟුල් ගෙවල්වල, උත්සවවල ගීත ගයමින් සංගීතය සපයන්නට ඔහුට අවස්ථාව උදාවුණි. ලාසිලනියන්ස් ඒ අවට ජනපි‍්‍රය සංගීත කණ්ඩායමක් බවට පත්වුණි. එම කණ්ඩායමට ගීත කිහිපයක් පටිගත කරන්න අවස්ථාව ලැබුණේ ගෞරි කෝපරේෂන් හිමිකරු වූ පැටි‍්‍රක් කොරේරා මහතාගෙනි. ඔවුන් ගීත කිහිපයක්ම පටිගත කළා. ‘‘හෝයියා හෝයියා’’ ‘‘තරුණ ජීවිතේ අපෙ’’් ‘‘මාලි රුවන්මාලි’’ ‘‘දහදුක විඳලා’’

මිල්ටන් ඇතුළු ලාසිලනියන්ස් සංගීත කණ්ඩායම කැලණිය සරසවි ස්ටුඩියෝ එකේ මේ ගීත පටිගත කරනවා. මර්වින් රොද්‍රිගෝ මහතා තමයි මෙහි සවුන්ඞ් ඉංජිනියර් ලෙස කටයුතු කරන්නේ.

මේ පටිගත කිරීමෙන් පසුව පැටි‍්‍රක් කොරේරා මහතා විසින් යෝජනාවක් ගෙන එනවා මිල්ටන්ගේ ගීත හතරක් පටිගත කරන්න. මිල්ටන් ඒ ආරාධනාව සතුටින් භාර ගන්නවා.

එකල කරුණාරත්න අබේසේකරයන්ගේ පියා රැකියාව කළේ බොරැල්ල කැම්බල් පිටිය භාරවයි. ඔහු ලාසිලනියන්ස් නිහාල් කුමාර පතිරණව හඳුනනවා. ඒ හැඳුනුම්කම මත කරුණාරත්න අබේසේකර හමුවන්න නිහාල් කුමාර පතිරණ සමඟ මිල්ටන් ගුවන්විදුලියට යනවා.

කරුණාරත්න අබේසේකර දින දෙකකින් ගීත හතරක් මිල්ටන්ට ලියා දෙනවා.

ඒ කාලයේ කෘතහස්ත දේශපාලනඥයකු වූ කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දේශපාලන ප‍්‍රචාරක වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කළේ ප‍්‍රවීණ ගායන ශිල්පී එම්. එස්. ප‍්‍රනාන්දු මහතා. ඔහු රට වටා ගෙන ගිය ප‍්‍රසංගවලට සංගීතය සැපයූවේ මොහොමඞ් සාලි ප‍්‍රමුඛ සංගීත කණ්ඩායමයි. ලාසිලනියන්ස් කණ්ඩායමේ අය ඉඳහිට මේ ප‍්‍රසංගවලට සහභාගි වීම නිසා සාලි මාස්ටර්වත් හඳුනාගෙන තිබුණා. ඒ නිසාම මිල්ටන්, කරුණාරත්න අබේසේකරයන් ලියා දුන් ගීත හතරත් රැගෙන සාලි මාස්ටර් හමුවෙන්න යනවා. දින කිහිපයකින් සාලි මාස්ටර් විසින් ගීත හතරට තනු නිර්මාණය කර මිල්ටන්ට දෙනවා. ඒ වෙනුවෙන් රුපියල් හාරසියයක පමණ මුදලක් ඔහු අය කරනවා. ඒ කාලේ හැටියට එය විශාල මුදලක්.

තිඹිරිගස්යායේ සිලෝන් ස්ටුඩියෝ එකේ තමයි මේ ගීත හතර පටිගත කරන්නේ. මිල්ටන්ගේ ආර්ථික තත්ත්වය හඳුනාගෙන සිලෝන් ස්ටුඩියෝ හිමිකරු නිමල් වීරක්කොඩි මහතා අය කරන මුදලින් අඩක් පමණක් ගෙන මිල්ටන්ට සහාය දක්වනවා. ගීතවලට සංගීතය සපයන්න ලාසිලනියන්ස් කණ්ඩායමේ මිතුරන්ම අනුග‍්‍රහය දක්වනවා. කෑම බීම මඟ වියදම් පවා ඔවුනොවුන්ම ඉටු කරගන්නවා. ගීත පටිගත කරන්න ලාසිලනියන්ස් සංගීත කණ්ඩායමේ යහළුවෝ ටික එදා සිලෝන් ස්ටුඩියෝවට ආවේ සංගීත භාණ්ඩත් එක්ක බත්, මාළු, අලහොදි හට්ටි මුට්ටිත් අරගෙන. මිල්ටන් ඔහුගේ පළමු ගී හතර පටිගත කරන්න එදා සිලෝන් ස්ටුඩියෝවට ආවේ කරුණාරත්න අබේසේකරයන් ලියා දුන් සින්දු හතරත් ඔහුගේ මව රසට උයාදුන් පොළොස් හට්ටියකුත් රැගෙන.

මේ ගීත හතර පටිගත කළා. තැටිය කරුණාරත්න අබේසේකරයන්ට දෙනවා. ඔහු මේ ගීත අහලා තමා වටා හිටපු මිතුරන්ට කියනවා ‘‘මට ඕන කරන මිනිහා දැන් මට හම්බුවුණා’’ කියලා. ඔහු මිල්ටන් ගැන, මිල්ටන්ගේ කටහඬ ගැන අනාවැකි පළ කළා.

පසුකාලීනව ක්ලැරන්ස් විජේවර්ධන, සරත් දසනායක, එඞ්ගා පෙරේරා, සරත් ද අල්විස්, ස්ටැන්ලි පීරිස්, වික්ටර් රත්නායකයන්ගේ සිට රූකාන්ත ගුණතිලක දක්වා සුවිශේෂී සංගීතඥයින් ගණනාවකගේ රසවත් ගී නිර්මාණ විශාල ප‍්‍රමාණයක් මිල්ටන් වෙනුවෙන් නිර්මාණය වෙනවා.

කරුණාරත්න අබේසේකර, පේ‍්‍රමකීර්ති ද අල්විස්, කේ. ඞී. කේ. ධර්මවර්ධන, අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, ලූෂන් බුලත්සිංහ, ආනන්ද පද්මසිරි, උපාලි ධනවලවිතාන වැනි ගීත රචකයන්ගේ නිර්මාණවලින් මිල්ටන් මල්ලවආරච්චිගේ මේ ගීත පෝෂණය වෙනවා.

චිත‍්‍රපට 180කට පමණ ගීත ගායනා කරන මිල්ටන් සරල ගී, කැසට් තැටි ගී, සංයුක්ත තැටි සඳහා ඔහු ගායනා කර ඇති ගීත ප‍්‍රමාණය ගීත 800 කට ආසන්නයි.

විරහ ගීතයේ සදාතනික කඳුළු සලකුණ, මිල්ටන් මල්ලවආරච්චි අප අතරින් සමුගෙන මාර්තු 10 වන දිනට වසර 23ක් ගෙවී ගිය ද ඔහු ගැයූ ගී මල් වැස්ස සදාකාලිකවම මේ පොලොව මතට විසිරේවී. තවත් මතු පරම්පරා ගණනාවක් දශක ගණනාවක් පුරාවට ඒ ගී මල් වැස්සට තෙමේවි.

සටහන – ධම්මික සල්වතුර

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top