ආහාර අරුචිය නැති කරන ඉපැරණි බෙහෙත් වට්ටෝරු

සංඛනාද වෙදගේවත්ත

මනුෂ්‍ය ශරීරයට විවිධ රෝගාබාධ පන්දහස් නවසිය අනූනවයක් වැළඳෙන බවත් ඒවා සුවපත් කිරීම සඳහා සුදුසු ශාක වර්ග පන්දහස් නවසිය අනූනවයක් මිහිතලය මත ඇති බවත් රාවණ රජතුමා විසින් පවසා තිබේ. ආයුර්වේදය ඉන්දියාවේ ප‍්‍රධාන දේශීය වෙදකම ලෙස අද ලෝකය පුරා පැතිර ගොස් තිබුණ ද එය ශ‍්‍රී ලංකාවේ රාවණ පරම්පරාවට අයත් රාජකීය වෛද්‍ය ක‍්‍රමය බවත් එබැවින් එය ශ‍්‍රී ලංකාවට අයත් බවත් පැරැන්නන්ගේ පිළිගැනීමය. සමහර විට සිංහල වෙදකම ලෙස දැනට ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්තව පවත්නා දේශීය වෙදකමෙහි මුල් අවස්ථාව ලෙස එය හැඳින්වීමට ද පුළුවන. පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් වහන්සේ සතුව පවත්නා, බලන්ගොඩ මහවලතැන්න වලව්වේ විසූ එස්. ඞී. මහවලතැන්න රටේ මහතාණන්ට අයත් වට්ටෝරු වෙදපොතක දේශීය වෙදකමේ අගනා වට්ටෝරු සිය ගණනක් ඇතුළත්ය. පසුගිය සතියේ අප විසින් ඉදිරිපත් කරන ලද්දේ පුරුෂ ශක්තිය වර්ධනය කරන වට්ටෝරු කිහිපයකි. ආහාර අරුචිය සහ එයට සම්බන්ධිත රෝග කිහිපයක් නසන වට්ටෝරු කිහිපයක් අද අපි මේ තීරය ඔස්සේ ඔබට ඉදිරිපත් කරමු.

1. ආහාර අරුචියට

බෙලිමුල්, තිප්පිලි මුල්, සිද්ධිඟුරු කසාය කර එයට සහිඳ ලූණු කුඩු ස්වල්පයක් එක්කර පානය කරන්න. බඩ පිපීම, ආහාර අරුචිය, ගුල්මගාය, බඩගිනි මඳවීම නොපමාව සුවකර ගැනීමට මේ කසාය වැදගත්ය.

කළුඳුරු, සිවිය මුල්, මිරිස්, බෙලිමුල්, තිප්පිලි, සිද්ධිඟුරු කසාය කර පානය කරන්න. සියලූ ආහාර අරුචි ගුණ වේ.

සිද්ධිඟුරු, එනසාල්, වගපුල්, කුරුඳු පොතු, නාකෙසරු, කොල්ලන් කොළ, චූර්ණ කර එම බරට සීනි එකතු කොට තුන් දවසක් කළඳ බැගින් අනුභව කරන්න. කටට කෙළ ඉනීම, කාස රෝගය ඇතුළු රෝග කිහිපයක් මෙයින් ගුණ වේ.

එනසාල් කලං කාලක්, තිප්පිලි කලං දෙකහමාරක්, කුරුඳුපොතු කලං කාලක්, මිරිස් කලං එකහමාරක්, තිලිස් පතුරු කළඳක් ගෙන හොඳින් අඹරා කුඩුකොට සීනි කලං විස්සක් එකතු කර අනා තබා දිනපතා ස්වල්පය බැගින් අනුභව කරන්න. ආහාර අරුචිය නැතිවේ. සියලූ උණ වර්ග, වමනය, පිලාවෙහි හටගන්නා වේදනාව, පාණ්ඩුව, අතීසාරය යනාදිය මෙයින් සුවවේ.

දළුව මුල්, කොතඹුරු, රත් නෙටුල්, සූදුරු, මිරිස්, අසමෝදගම්, සිද්ධිඟුරු, ස්වසලූණු, ඉරිවේරිය, චතුර්ජාත යනාදියෙන් කළඳ බැගින්ද දෙළුම්, වගපුල්, මයිලමල්, සියඹලා මද, බෙලිමද යනාදියෙන් කලං තුන බැගින්ද සීනි කලං හයක්ද, ගිවුළු මද කලං 8 ක්ද කුඩුකර එකට අනා දිනපතා ස්වල්පය බැගින් අනුභව කරන්න. ආහාර අරුචිය, ගුල්මගාය, අතීසාරය, ග‍්‍රහනි රෝග මෙයින් සුවවේ.

ජටාමාංශ, එනසාල්, දුරු, දළුව මුල්, සිද්ධිඟුරු, සිවිය යනාදිය කසාය කර දෙන්න. ආහාර අරුචි නසා කුසට සහනයක් ගෙනදෙයි.

මී පැණි, සීනි, සහිඳ ලූණු, තිකුළු, සියඹලා ඇඹුල් අඹරා ලේහ කරන්න. දිගුකල් පැවැති ආහාර අරුචිය නැතිවේ.

කපුරු, ලොත්සුබුළු, සාදික්කා, තිකුළු, කරාබු, කොල්ලන්කොළ, නාකෙසරු, මිරිස්, සිවිය අනුක‍්‍රමණයෙන් වර්ධනය වන ප‍්‍රමාණ වලින් ගෙන කුඩුකර සීනි සමානව යොදා අනුභව කරන්න. ආහාර අරුචිය, ක්‍ෂය රෝගය, පීනස, චර්ධි ඉක්කාව නැසේ.

උක් හකුරු පලන් සියයයි, ඊට සමාන අමු ඉඟුරු යුෂ කකාරා තලප පදමට එනවිට ත‍්‍රිසුගන්ධි, තිකුළු, වම්මුතු, දුරු, කරාබු, අසමෝදගම්, කොතඹුරු පලම බැගින් ගෙන කුඩුකර පෙර කී මිශ‍්‍රණයේ බහා හැඳිගා මී පැණි පලම් පනහක් සමඟ අනා දිනපතා ස්වල්ප වශයෙන් අනුභව කරන්න. ආහාර අරුචි නැති වේ. (මේ සියලූ ඖෂධ වෛද්‍ය උපදෙස් මත පමණක් පරිහරණය කරන්න.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top