සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 16 ක්

2004 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 16 ක් සපිරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් 35,000 කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි වී ඇත. තවත් 5000 ක් පමණ අතුරුදන් වූ බව ද දහස් ගණනකට අධික සංඛ්‍යාවකට අවතැන් වීමට සිදු වූ බව ද වාර්තා විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් සුනාමි ව්‍යසනයෙන් විපතට පත් විය. එහි නිල වෙබ් අඩවියේ  (2005.01.13 සවස 5 වන විට) සඳහන්, තහවුරු කරගත් තොරතුරුවලට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. එම ගණන 10,436 කි.

මීට අමතරව පුත්තලම, ගම්පහ, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය,  මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක ද විපතට පත්වූවන් වාර්තා වූ දිස්ත්‍රික්ක විය.

2004 වසරේ දී සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26 වෙනිදා “ජාතික සුරක්ෂිතතා දිනයලෙස නම් කර තිබේ. එදින මියගිය අය සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබුණි. 16 වන සුනාමි සැමරුම වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇත. එම සියලු වැඩසටහන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු වන බව සියහඬ වාර්තාකරුවෝ පවසති. එමෙන්ම අද (26) පස්වරුවේ පහනක් දල්වා මිය ගිය පිරිසට පින් අනුමෝදන් කිරීමටද ඇතැම් පිරිස් කටයුතු සංවිධානය කර ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top