කොරෝනා පරදන හෙළ ඔසු

පළමුවෙන්ම කිව යුත්තේ කොවිඩ් 19 වයිරසය හමුවේ අප කිසිවකුත් පමණ ඉක්මවා බියට පත් නොවිය යුතු බවයි. කෙතරම් අභියෝගයක් ලෙස මෙය වර්ධනය වුවද ඊට බිය වුව හොත් නැත හොත් අනියත බියක් ඇති කර ගත හොත් කරනු ලබන සියලු ප්‍රතිකර්මවලින් අ‍පේක්ෂිත ප්‍රතිඵල නොලැබී යෑමට ඉඩ තිබේ. මෙම වයිරස් රෝගය සඳහා ප්‍රති‍ජීවක ඖෂධ ලබා දිය නොහැක. වයිරසය මුළුමනින්ම පරාජය කිරීමට සමත් ඖෂධයක් නිපදවීමට වසර ගණනාවක් පරීක්ෂණ කළ යුතුය. එනමුත් එතරම් කාලයක් ඉවසා සිටිය නොහැකි තත්ත්වයකට මෙය වර්ධනය වීමේ ප්‍රවණතාවයක් මතුව තිබේ. එබැවින් අප හැකි තරම් කළ යුත්තේ මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමය.

අප ශරීරය වයිරසය හමුවේ බිඳ වැටීම වැළැක්වීමට හැකි තරම් ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන ක්‍රියාමාර්ග ගත යුතුය. මෙහිදී ආයුර්වේද ක්‍රමවේදයන් අනුව අතීතයේ පටන් ප්‍රයෝජනයට ගනු ලැබූ ආහාර රටාවන් නැවත අනුගමනය කිරීම, පෙර රජ දවස පටන් අප පවත්වාගෙන යනු ලබන සම්ප්‍රදායික නිරෝධායන ක්‍රමවේද අනුගමනය කිරීම, ශ්වසන පද්ධතියට ඇති වන රෝග කාරක වලින් මිදීම ඔබ අප සැමගේ වගකීමය. ඒ අනුව අප මුලින්ම අ‍පගේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අතීතයේ පටන් පවත්වාගෙන ආ ආහාර රටාවන්, ආහාර විහරණ රටාවන්, ආනාපාන සති භාවනාව වැනි ව්‍යායාම රටාවන් ඇරඹිය යුතුය.

 

ප්‍රතිශක්තිය ඉහළ නංවන ආයුර්වේද පිළිවෙත්

මේ අවස්ථාවේදී අපගේ පැරණි පාරම්පරික වී වර්ග වන සුවඳැල්, හීනටි වැනි සහල් වර්ග වලින් සකස් කර ගන්නා ලද වස විසෙන් තොර එළවළු, පලතුරු, පළා වර්ග සමඟ සමබල ආහාර වේලක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. අපගේ සමබල ආහාර වේල තුළ ඕනෑම ලෙඩ රෝගයකින් එල්ල වන පීඩා මැඬපැවැත්වීමට අවශ්‍ය ශක්තිය සහ මානසික සුවතාව ලැබෙනවා ඇත.

අතීතයේ අප රටේ විසූවන් කොස්, පොල්, දෙල්, මඤ්ඤොක්කා, අල, බතල, කොහිල, නිවිති, කෙසෙල් මුව, ගම් බිත්තර ප්‍රධාන එළවළු සහිත බතක් පලා වර්ග ද සමඟ අනුභව කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එලෙස ආහාර රටාව හැඩ ගස්වා ගත් පැරැණියෝ ආයුර්වේද ගුණ සපිරි කැඳ වර්ග පානය කිරීමට ද ප්‍රියතාවක් දැක්වූහ. විශේෂයෙන් හාතවාරිය, වැල්පෙනෙල, ඉරමුසු, බෙලිමල්, ගොටුකොළ, මුගුණුවැන්න, රණවරා ඇතුළු තවත් ශාක ගණනාවක මුල්, අල, පත්‍ර යොදා ගනිමින් සකස් කළ කැඳ වර්ග පානය කළහ.

ඊට අමතරව දෙහි, ආඩතෝඩා, පින්න කොළ වර්ග, කොත්තමල්ලි වැනි දේ භාවිතයට ගනිමින් හුමාලය අල්ලා රෝගාබාධ දුරු කර ගැනීමට ක්‍රියා කළහ. මීට අමතරව අතීතයේදී අප රටේ විසුවෝ තමන්ට හෝ තම ඥාතියකුට වසංගත රෝග තත්ත්වයක් ඇති වුව හොත් එය නොහඟවා ඊට ප්‍රතිකර්ම ලෙස විවිධ දේ සිදු කර තිබේ. එදවස දෙයියන්ගේ ලෙඩ ලෙස හැදෙන බොහෝ වසංගත වලින් බේරීම සඳහා තම පවුලේ ඥාතියකු සිටී නම් එම නිවෙසට පැමිණීම බාහිර පුද්ගලයන්ට සීමා කරන ලදී. එසේ කරන ලද්දේ ගොක් අත්තක් හෝ කොහොඹ කොළ අත්තක් ගෙදර ඉදිකඩෙහි එල්ලා ප්‍රදර්ශනාත්මකව පණිවිඩයක් ලබා දෙමිනි.

 

පැරැණි නිරෝධායන උපාය මාර්ග

ඊට අමතරව නිවසේ ගෙමිදුලේ පිරිසුදු වතුර භාජනයක් තබා ඊට කහ, දෙහි, දෙහි කොළ, කොහොඹ කොළ වැනි විසබීජ නාශක ද්‍රව්‍ය එක් කොට නිවෙසට ඇතුළු වන්නේ නම් ඉන් මුහුණ අතපය සෝදා පිරිසුදු වී පිවිසීමට ඉඩ කඩ ලබා දී තිබුණි. නිවෙසට පැමිණි පසු කොත්තමල්ලි, බෙලිමල්, රණවරා ආදි බීම වර්ග සාදා පානයට දුන්හ. ඊට අමතරව දෙහි, දොඩම්, නාරං වැනි බීම පානයට දුන්හ. නිවෙසෙහි නිතරම පහනක් දල්වා ආලෝක ගන්වා තිබිණි. එමඟින් විෂබීජහරණය සිදු වන අතර ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සිදු කෙරේ. මෙලෙස අතීතයේ අප භාවිත කළ විෂබීජහරණ ක්‍රියාදාමයන් සහ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවන වැඩපිළිවෙළ හරහා කොවිඩ් 19 වසංගතයෙන් එල්ල වන බාධා වුව මැඬලීමට අපට පියවර ගත හැකිව තිබේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ රෝගය සඳහා බියක් ඇති කර ගැනීම හෝ රෝගය වසන් කිරීම සිදු නොකොට සමාජයට නිරාවරණය නොවී හැකි තරම් හුදෙකලාව සිට මේ පොදු සතුරා පරාජය කිරීමට සමාජය පෙළ ගැස්සවීම මූලික කරුණක් බවය.

රෝග කාරකය ශරීරයට ඇතුළු වූවා යැයි කියා බිය වී හෝ ලජ්ජාවට පත්වී එය වසන් කිරීමට පියවර නොගෙන සෞඛ්‍ය බලධාරීන්ට, ආරක්ෂක අංශයන්ට දැනුම් දී නිරෝධායනය වීමට ක්‍රියා කිරීම කාගේත් වගකීමකි. මෙහිදී ශ්වසන පද්ධතියට ඇති වන දැඩි පීඩාවන් අවම කර ගැනීමට හැකි මානසික ක්‍රියාදාමයන්ද තිබේ. එහිදී මනා සිහියෙන් යුතුව හුස්ම ගැනීම, හුස්ම පහළට යැවීම, නැතහොත් ආනාපාන සති භාවනාව වැඩීම, බුද්ධ, ධම්ම, සංඝ තුන් රුවනේ ගුණ සිහි කිරීම සහ රතන සූත්‍රය ප්‍රධාන සෙත් පිරිත් සජ්ඣායනාව සිදු කිරීම වුවද අපට කළ හැකිය.

මානසික සුවතාවය

මෙමඟින් භෞතිකව තමනට දැනෙන බාධා ඉවත් වෙනවා පමණක් නොව මානසිකව විශාල සහනයක් සැලසෙනු නොඅනුමානය. අලුත උපන් බිලිඳකුට මව මිය ගියහොත් අතීතයේදී මවුකිරි වෙනුවට පානයට ලබාදුන්නේ කොත්තමල්ලි වතුරය. කොත්තමල්ලි වලට සංස්කෘත භාෂාවෙන් ‘ධාර්ත්‍රී’ යැයි පවසති. එලෙස ඉතා බලසම්පන්න මවුකිරිවලට සමාන කොත්තමල්ලි පිරිසුදු කොට කබලේ බැද කුඩු කොට ඉඟුරු හෝ තිප්පිලි ද සුළු ප්‍රමාණයක් එක් කොට දිනකට තුන් වේලක් පානය කිරීම සඳහා අප පුරුදු විය යුතුය. එය ද කොවිඩ් 19 හමුවේ තමන්ට අහිමි වුණ ප්‍රතිශක්තිය නැවත ළඟා කර ගැනීමට තරම් ප්‍රබල බව මේ මොහොතේ දැඩිව අවධාරණය කළ යුතු කරුණකි.

කොවිඩ් 19 වසංගතය හමුවේ දෙවැනි රැල්ලෙන් ආරක්ෂා වන අතර ඊට සාර්ථකව මුහුණ දෙන අප මේ මොහොතේ සිතට ගත යුතු ඉතා වැදගත් කරුණක් වෙයි. එනම් මෙහි ආසාදිතයකු බවට පත්වූවකු හෝ ඔහු ආශ්‍රය කළ අයකු සමාජයෙන් හමු වූ විට හෝ ඒ පිරිසට විවිධ මානසික පීඩාවන් එල්ල වන අයුරින් පරිභව කිරීම නොකළ යුතුය. කෙනකු විවේචනය කිරීමේදී මේ රෝගය වැලඳුණු අයගේ පෞද්ගලිකත්වය පවා සැලකිල්ලට නොගෙන මහත් සිත් වේදනා ඇති වන අයුරින් එය සිදු නොකළ යුතුය. විශේෂයෙන්ම ආසාදිතයන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වන අයුරින් කුමනාකාරයක හෝ තොරතුරක් විවේචනයක් සමාජයට ඉදිරිපත් නොවන තැනට සියලු දෙනා වගබලා ගත යුතුය. එය රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පමණක් නොව රෝග බියෙන් සැඟවී සිටීම පවා වැළැක්වීමට හේතුවන අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.

උපදෙස්

ශාමිකා විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top