අපේ වගකීම අකුරටම ඉටු කරමු

වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව පෙන්වා දී තිබියදී පළමු අවස්ථාවටත් වඩා වැඩි වගකීමක් අප වෙත පැවරේ. එය එසේ වුව ද සමාජයේ සුළු පිරිසක් මේ වගකීම තබා මෙවැනි තත්ත්වයකදී තමන්ගෙන් ඉටු විය යුතු මූලික වගකීමවත් තේරුම් ගෙන නැති බවක් පෙනෙන්නට ඇත. පසුගිය සති අන්තයේදී බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව දැන ගැනීමත් සමඟ ඉන් පිට වූ පිරිස අයත් වන්නේ ද මේ කාණ්ඩයටය.

කොරෝනා ගෝලීය වසංගතය මර්දනය කිරීම පිණිස ලෝකය දැඩි සටනක යෙදී සිටියි. ඇතැම් විට තමන් හෝ නොදැන තම සමීපතමයන් ද ඇතුළුව තවත් මිනිසුන් සිය ගණනකට එරෙහිව රෝග වාහකයකු බවට පත්ව සිටිය හැකි බැරෑරුම් තත්ත්වයක, අප එකිනෙකා වෙත පැවරී ඇති වගකීම් සුළුපටු නැත. වැඩි වෙන වගකීම තේරුම් ගෙන ඇති බව පෙනෙන්නට නැතත් සුළු පිරිසක් එය තැකීමක් නොකර හැසිරෙමින් ඇති අයුරු සමාජයේ දිස් වේ.

එය ඛේදනීය මෙන්ම අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ මේ සුළුතරයට සිදු වන විනාශයට සමස්ත සමාජයටම වන්දි ගෙවීමට සිදු වන හෙයිනි. ඔවුන් තමන්ට හැර අන් සියල්ලටම ඇඟිල්ල දිගු කරමින් සිටියි. අනෙකාගෙන් ඉටු විය යුතු දේ හරියාකාරව ඉටු වී නැතැයි කියමින් මැසිවිලි නඟන මේ වැඩි දෙනකු තව තවත්, තම තමන් වෙත පැවරී ඇති වගකීම තඹයකට මායිම් කර නැත.

අතිශයින්ම වගකීම් සහගත අවස්ථාවක ඔවුන් කරමින් සිටින්නේ නොකළ යුතුම දෑ වීම ඛේදවාචකයකි.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට ද තර්ජනයක් එල්ල කළ පළමු අවස්ථාවේ සෙසු ලෝකයේ ද ප්‍රශංසාවට ලක් වන අන්දමින් එය පාලනය කිරීමට මෙරටට හැකි විය. එය ඉබේ සිදු වූ දෙයක් නොවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් කළ කැපවීම අමිලය. එය ලොව වෙනත් රටකට පූර්වාදර්ශයට ගත හැකි මෙහෙවරක් බව පවසන්නට කිසි විටෙක අප පැකිළිය යුතු නැත. ඊට ගැළපෙන අයුරින් රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීම ද සිදු විය. ඒ සියල්ල මෙහෙයවමින් හා පහසුකම් සලසමින් රාජ්‍ය නායකත්වයේ පළමු භූමිකාව පැසසුමට ලක් විය. ඒ සියල්ල සාර්ථක වීමට රටේ ජනතාව කැපවීමෙන්, සංයමයෙන් හා වගකීමෙන් ක්‍රියා කිරීම ද බලපෑවේය. ලැබූ සාර්ථකත්වයට උපදෙස් පිළිපැදීම ද හේතු වූ බව නොරහසකි. පළමු වටයේ සාර්ථක වූ අපට ලොව අන් රටවලට සේම යළිත් වරක් මෙම අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. මෙවර තත්ත්වය පළමු අවස්ථාවට වඩා සංකීර්ණය. වයිරස ප්‍රභේදය ඒ අවස්ථාවට වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ද, ප්‍රබල බව ද පෙනී ගොස් තිබේ.

වැඩි වගකීමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව පෙන්වා දී තිබියදී පළමු අවස්ථාවටත් වඩා වැඩි වගකීමක් අප වෙත පැවරේ. එය එසේ වුවද සමාජයේ සුළු පිරිසක් මේ වගකීම තබා මෙවැනි තත්ත්වයකදී තමන්ගෙන් ඉටු විය යුතු මූලික වගකීමවත් තේරුම් ගෙන නැති බවක් පෙනෙන්නට ඇත. පසුගිය සති අන්තයේදී බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව දැන ගැනීමත් සමඟ ඉන් පිට වූ පිරිස අයත් වන්නේ ද මේ කාණ්ඩයටය. තවත් තමන් අත වරද නැතැයි පවසමින් පොලීසිය ඒ වගකීම බාර ගත යුතු යැයි සලකා ක්‍රියා කරන අය මෙවැනි බැරෑරුම් තත්ත්වයක දී පුරවැසියන් ලෙස තමන් වෙත පැවරී ඇති අවම වගකීමවත් ඉටු කර නැති බව පැහැදිළිය.

නීතිරීති පැන වුව ද, නැත ද පොලීසිය පරීක්ෂා කළ ද, නැත ද මේ සංචරණය හැකිතාක් සීමා කළ යුතු අවස්ථාවක් බව නොදන්නා පොඩි එකකුවත් නැති තරම්ය. ඒ තරමට මේ වයිරසය සමාජගත වී තිබේ. එය මෙරටට පමණක් අදාළ තත්ත්වයක් ද නොවේ.

වයිරසයට එරෙහි නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තුරු , ලෝකයටම පිළිපැදීමට සිදුව ඇති තර්ජන සමූහයක් තිබේ. වසංගත ව්‍යාප්තිය අවම කිරීම සඳහා අප ඒ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිපැදිය යුතුය. ඒවාට අනුගත විය යුතුය. ශ්‍රී ලංකාව තුළ තවමත් covid 19 සමාජ ව්‍යාප්තියක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශය හෝ අදාළ සෞඛ්‍ය අංශ පවසන විට ඊට සරදම් කරමින් මෙය සමාජ ව්‍යාප්තියක් නොවේ දැයි ප්‍රශ්න කරන අය ක්‍රියා කරමින් සිටින්නේ, එවැනි තත්ත්වයකට ගැළපෙන ලෙස ද?

සමාජ මාධ්‍ය

සිය පටු දේශපාලන හෝ නොයෙකුත් අභිමතාර්ථ වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිටින ඇතැම් අය කොවිඩ් මර්දන සටන ඉදිරි පෙළ දැඩි කැප කිරීම් සහගත කාර්ය භාරයක යෙදෙන වෛද්‍යවරුන්ට පවා පහත් අන්දමින් නින්දා අපහාස කරන අයුරු පසුගිය දිනවල දැකිය හැකි විය. එය අතිශයින්ම කනගාටුදායක තත්ත්වයකි. කළ යුතුව ඇත්තේ සිය දරු පවුල්වලින් පවා ඈත්ව කොරෝනා මර්දනය කිරීම පිණිස කැප වී සිටින සෞඛ්‍ය හා ආරක්ෂක අංශ හැකි අයුරින් දිරි ගැන්වීමය.

ඔවුන්ට ආශීර්වාද කිරීමය. කොරෝනා සමාජ ව්‍යාප්තියක් හෝ රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යා යුතු යැයි කිසිදු මනුෂ්‍යයකු කල්පනා කරනු ඇතැයි සිතිය නොහැකිය. එසේ වුව ද ඉන් කාලකණ්ණි සතුටක් ලැබීමට රිසි අය ද සිටින බව මේ හැසිරීම්වලින් පැහැදිලිය. මෙවැනි පහත් හැසිරීම් පසුගිය දිනවල මාධ්‍යවේදියකු ආසාදිතයකු වූ බව වාර්තා වූ විට ද දැකිය හැකි විය. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ ඇතැම්හු තවත් මිනිසකු රෝගී වූ විට සතුටු වන රෝගී මානසිකත්වයකින් යුතු අය බව ප්‍රකට කළේ, විශේෂයෙන් මෙවැනි වසංගත සමයක තමන්ට ද මෙය වැලඳීමට ඉඩ ඇති බව බැහැර කරමිනි. එලෙස මාධ්‍යයට හා මාධ්‍යකරුවන්ට විරෝධය පළ කළ අය තමන්ට ඇති අවදානම නොතකමින් සමාජ යහපත උදෙසා ඔවුන් කරමින් ඇති කාර්යභාරය නොතැකූහ.

මාධ්‍යයේ කාර්ය භාරය

මාධ්‍ය පිරිස් කරමින් ඇති සියල්ල හරි යැයි අපි නොකියමු. අඩුපාඩු දුර්වලතා තිබිය හැකිය. ආචාර ධර්ම පිළිපැදීම වැනි ගැටලු තිබිය හැකිය. ඒවා නිවැරදි කර ගැනීම ද මාධ්‍යයේ කාර්ය භාරයකි. එසේ වූ පමණින් පහත් අන්දමින් මාධ්‍යකරුවන්ට හා මාධ්‍යයට අවමන් කරන අයගෙන් සමාජයට අපේක්ෂා කළ හැකි යහපත කුමක් ද?

කොරෝනා වසංගතයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ලෝක බලවතා ලෙස හඳුන්වා ගන්නා අමෙරිකාවෙනි. එරට පාලනය වසංගතයට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග ප්‍රමාණවත් ද යන්න ගැන රට තුළම මැසිවිලි නැඟීම් තිබේ. එවැනි පසුබිමක ශ්‍රී ලංකාව වැනි ඇතැම් රටවල් බලවත් රටවලට ද ආදර්ශයක් විය හැකි අයුරින් මෙය කළමනාකරණය කරමින් සිටින්නේ මුල් වටයේ දී මෙනි. සංචාරයේ යෙදුණු ප්‍රදේශයන් ඊට සාක්ෂි දරයි. ඇතැම් අය පැහැදිලිවම ප්‍රකාශ කළේ මෙවැනි වසංගත සමයක ශ්‍රී ලංකාවේ ගත කිරීමට ලැබීම ගැන සතුටු වන බවය. තවත් අය කීවේ මෙහිදී තම රටවලට ශ්‍රී ලංකාවෙන් ගත හැකි ආදර්ශ ඇති බවය. ඒ විදේශිකයන්ගේ අදහස්ය. ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති හෝ එසේ තිබුණ ද නෑසූ කන්ව හා නුදුටු නෙතින් සිටින මෙරට ඇතැම් දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙන්ම දේශපාලනඥයන් ද තම තමන් පැලඳ සිටින පාට කන්නාඩිවලින්ම මේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අයුරු දිස්වේ.

තම තම දේශපාලන උවමනාවන්ට අනුව අදහස් පළ කරමින් ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මෙම වසංගතය හමුවේ දේශපාලන වාසි නොලබන ලෙසය. ඔවුන් මේ පළ කරමින් සිටින්නේ පරිණත දේශපාලන ලක්ෂණ ද? මෙය පක්ෂ විපක්ෂ කවුරුත් එක්ව ක්‍රියා කළ යුතු අවස්ථාවකි. පාට පක්ෂ කොරෝනාට අදාළ නැත. එවැනි අවස්ථාවක රජය සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ නොහැකි නම්, තම වගකීම ඉටු කරන්නට ඔවුනට හැකිය. එහෙත් එවැන්නක් නොපෙනේ. අඩුපාඩු තිබේ නම් ඒවා පෙන්වා දීමේ දී සාධනීය විවේචන ඉදිරිපත් කිරීමේද වරදක් නැත. සිදු වෙමින් ඇත්තේ නම් එය නොවේ. තමන් බලයේ සිටින විට කරන සියල්ල හරිය, තවත් විදිහකට තමන් විපක්ෂයේ සිටියදී බලයේ සිටින ආණ්ඩුව කරන සියල්ල වැරදිය යන දෘෂ්ටිය මෙරට දේශපාලනයේ රෝග තත්ත්වයකි…

අවබෝධයෙන් ගත යුතු තීරණ

මෙවැනි වසංගතයක් හමුවේ රටවල් විවිධ පියවර ගන්නේ එළැඹ ඇති තත්ත්වය හා ඉදිරිය ගැන ද අවබෝධයකින් යුතුවය. ඒවා හුදෙක් දේශපාලඥයන් විසින්ම ගන්නා තීරණ නොවේ. තීරණ ගන්නේ ඔවුන් වුවද මෙවැනි තත්ත්වයකදී සෞඛ්‍ය අංශවල උපදෙස් හා නිර්දේශවලට ප්‍රමුඛත්වය හිමි වේ. එසේම එම තීරණ ජන ජීවිතවලට බලපාන ආකාරය ගැනද ජනතාවාදී ආණ්ඩු සංවේදීය. මෙය අපේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම අසීරු කාල වකවානුවකි. මේසා බරපතළ වශයෙන් වසංගත තත්ත්වයකට දශක ගණනාවකට ඉතිහාසයේ අප මුහුණ දී නැතත්, තිස් අවුරුදු යුද්ධය සුනාමි ව්‍යසනය වැනි අවාසනාවන්ත අත්දැකීම්වලින් පසු අපට රටක් හැටියට යළි ශක්තිමත්ව නැඟී සිටීමට හැකි විය. කොරෝනා වසංගතයද පාලනය කරමින් නැඟී සිටීමේ ශක්තිය මෙන්ම විභවයද මෙරට තිබේ. මෙවැනි අභියෝගාත්මක තත්ත්වයක් සමාජයේ සෑම තරාතිරමකටම එක හා සමානව බලපාන්නේ නැත. විශේෂයෙන් එදිනෙදා ආදායම් උපයමින් ජීවනෝපාය සලසා ගන්නා සහෝදර ජනතාවට මෙය දරා ගැනීම අපහසුය. සුබවාදීව රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව මේ පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කරයි. එසේම මනුෂ්‍යත්වයට මුල්තැන දෙන මිනිසුන් ලෙස ආපදාවකදී සහයෝගයෙන් යුතු වීම අවැසිය. ලොකු කුඩා කවුරුත් අපහසුතාවන්ට මුහුණ දී ඇතත් අපට ගතින් දුරස්ව සිටිමින් සිත්වලින් සාමූහිකව බැඳී ක්‍රියා කරන්නට හැකිය.

නොකළ යුතුම දේ

නොකළ යුතුම දෙය අනෙකා විවේචනය කිරීමය. අනුන්ගේ වැඩ කොටස හරියාකාරව ඉටු කර ඇති දැයි විපරම් කිරීම වෙනුවට, තනි තනිව අප කාටත් පැවරී ඇති වැඩ කොටස පළමුව ඉටු කර තිබේ දැයි අපි විපරම් කරමු. එසේම අපගෙන්ම ප්‍රශ්න කරමු. කායික නීරෝගී භාවය පවත්වා ගනිමින් මානසිකව ද ශක්තිමත් වෙමු. පළමුව අපි අපිම ආරක්ෂා වෙමු. මේ වසංගතයේ ගොදුරක් නොවන්නේමැයි අදිටන් කරගෙන ඒ අනුව ක්‍රියා කරමු. එමෙන්ම ඔබ පවුලේ සාමාජිකයන් ද සෙසු සහෝදර මිනිසුන් ද ආරක්ෂා කර දෙමියි යන අදිටනින් හැසිරෙමු. එවිට තනි තනිව පුද්ගලයන් ලෙස අපේ යුතුකම හා වගකීම ඉටු කර අපි අපේ සමාජ වගකීම ද ඉටු කළා වනු ඇත. එය කොරෝනා අභියෝගය ජය ගැනීමේ මාවතයි.

ධම්මික සෙනෙවිරත්න
විශේෂාංග -දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top