හරිජන මිනිස්සුන්ගේ ගෙවල්වල දානය වළඳනකොට ලේන්සුවකින් මැස්සෝ එළවනවා…. බොම්බෙ පන්සලේදී අපිටත් කැත කුණු කරන්න වුණේ එළිපහළියේ…

හරිජන මිනිස්සුන්ගේ ගෙවල්වල දානය වළඳනකොට ලේන්සුවකින් මැස්සෝ එළවනවා…. බොම්බෙ පන්සලේදී අපිටත් කැත කුණු කරන්න වුණේ එළිපහළියේ…

හරිජන මිනිස්සු බීමට ගත්තේ  පාරේ කාණුවේ වතුර…

දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදු දහම ප‍්‍රචලිත කළ  සිංහල හාමුදුරුවෝ -21

පන්ති කාමරයේ උගන්වන විෂය කරුණු බීමරාහු හොඳට අහගෙන ඉඳලා ධාරණය කරගත්තා. දවසක් ගුරුවරයා ළමයින්ට අංක ගණිත පාඩමක් කියා දීලා එක ගාණක් කළුලෑල්ලේ හදලා පෙන්නුවා. පහුවදා පන්තියට ආපු ඒ ගුරුවරයා කැමැති ළමයෙක් ඇවිත් ඊයේ කියා දීපු ගාණ කළුලෑල්ලේ හදන්න කියලා කිව්වා. පන්තියේ කිසිම ළමයෙක් ඉදිරිපත් වුණේ නෑ. පන්තියේ ළමයින්ට නින්දා කරන්න ඕනෙ නිසා ඒ ගුරුවරයා බීමරාහුට කතා කරලා ගාණ හදන ලෙසට දැනුම් දුන්නා. බීමරාහු ඇවිත් ගුරුවරයා කියා දීපු විදිහටම ගාණ හැදුවා…

‘මේ නම් නයෙක්ම තමයි. දැන් මට ගහන්නයි සූදානම් වෙන්නෙ…’ ඒත් බුදු ගුණ මෙනෙහි කරනවා විනා වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මා සමඟ ගිය අයත් තැන, තැන වැටිලා ගොරොද්දෙ අදිනවා. සිදු වෙන්න යන විපත කියන්න කෙනෙක්වත් නෑ. ස්… ස්… කණ ළඟම පිඹිනවා. මම දෑස් පියා ගත්තා. ටික වේලාවක් යනකොට පිඹින ශබ්දය නැති වෙලා ගියා. මටත් නින්ද ගියා. යාන්තමට අවට පහන් වෙනකොට අවදි වෙලා බූරු ඇඳ වටේ විපරම් කළා. මම නිදාගෙන හිටිය ගෙදර ඉස්තෝප්පුවේ ඇඳ ළඟම හරකෙක් ලැග ගෙන ඉන්නවා. නයෙක් පිඹිනවා වගේ ඇහිලා තියෙන්නෙ ඒ සතා හුස්ම ගන්න ශබ්දය…

අම්බෙඞ්කර්ගේ හරිජන මිනිස්සු සමඟ වැඩ කරගෙන යනකොට මගේ ජීවිතයට නොසෑහෙන්න අත්දැකීම් ලැබුණා. ඒ මිනිස්සුන්ට ලෙඩක් දුකක් හැදුණු වෙලාවට ප‍්‍රතිකාරයක් කරගන්නවත් රෝහල්වලින් භාරගත්තෙ නෑ. රෝහල්, වෛද්‍යවරු අපිරිසිදු වෙනවා කියලා හරිජන මිනිස්සුන්ට බෙහෙත් දුන්නෙ නෑ. පස්සෙ හරිජන මිනිස්සු අතර හිටිය නයාර් කියන වෛද්‍යවරයා බෞද්ධ ආගමත් වැළඳගෙන තමන්ගේ මිනිස්සුන්ට ප‍්‍රතිකාර කරන්න බොම්බෙ නගරයේ විශාල රෝහලක් ආරම්භ කළා. ඒ රෝහල අසල පන්සලකුත් ස්ථාපනය කළා…

අම්බෙඞ්කර්ගේ ගුණ සැමරුම් උත්සවලට සහභාගිවීමට යෑමත් සමඟ මම සාංචි විහාරයෙන් දිල්ලි පන්සලට වැඩම කළා. හරිජන මිනිස්සු බහුලව ජීවත් වුණේ බොම්බෙ ප‍්‍රදේශයේ නිසා බොම්බෙ පන්සල ආරම්භ කිරීමත් එක්ක එම පන්සලට වැඩම කළා. මම ඒ පන්සලට වැඩම කළාට පස්සෙ, විහාර භූමිය තුළ පොඩියට කාර්යාල කාමරයක් හදාගත්තා. එම කාර්යාලයේ ප‍්‍රධාන දොරටුවට මුහුණලා පෙනුනෙ රෝහලේ ප‍්‍රසූතිකාගාරය. විසිහතර පැයම අපිට ඇහුණේ අඬන ශබ්දය. අම්මගේ ඇඬිල්ල, කෙඳිරිල්ල නතර වෙනකොට දරුවා අඬන්න පටන් ගන්නවා. ඒ වගේම ගැබිනි මවක් ඉස්පිරිතාලයට ගෙනවාට පස්සෙ අපි ගිහින් පිරිත් දේශනා කරනවා. ඒ මවට දරුවා ලැබුණට පස්සෙත් ගිහින් පිරිත් දේශනා කරනවා. රෝගීන්ගේ මානසික ආතතිය නැති කිරීමට අපි ගිහින් ඔවුන් සමඟ කතා බහ කළා. ඒ අතරේ ධර්මය අවබෝධ කරගැනීමට කැමති අයට ධර්මය කියා දුන්නා. අපේ පන්සලට පැමිණෙන මිනිස්සුන්ටත් ධර්මය අවබෝධ කර දුන්නා. දවස ගාණෙ අපිට දානවලටත් ආරාධනා ලැබුණා. ඒ සියලූ ආරාධනා භාරගෙන මම දානයට වැඩම කළා. මගෙ උස අඩි පහයි, අඟල් තුනයි. කොන්ද කෙළින් තියාගෙන මටවත් ඒ ගෙවල් තුළට ඇතුළු වෙන්න බෑ. එතරම්ම පුංචි පැල්පත්. ඒ නිවෙස්වලට යන්න හරි හැටි පාරක්වත් නෑ. වැස්ස කාලෙට පටු පාර වාරි මාර්ගයක් වගේ ගලනවා. පායන කාලෙට ඒ පාරවල් දුවිල්ලෙන් වැහෙනවා. ඒ වගේම පාරවල් දිගට ළමයි මළපහ කරලා. සත්තු මළපහ කරලා. කුණු රොඩු පිරිලා. ඒ මගෙහි යනෙන විට නැහැපුඬු අමුතුම පිලී ගඳකින් දැවෙන්න ගන්නවා. නිල මැස්සො වැහි වැහැලා. දවාලටත් මදුරුවො පිරිලා. ඒ දුගඳ මග දිගෙ ගමන් කර, කොන්ද නවාගෙන ගේ තුළට යනකොට අසුන් ගැනීමට පිළියෙල කරලා තිබුණේ පැදුරු කඩමල්ලක්…

මම ගිහින් ඒ පැදුර මත එරමිණියා ගොතාගෙන අසුන් ගත්තට පස්සෙ, පිරිමි කෙනෙක් කෙසෙල් කොළයක් ගෙනත් ඉදිරියෙන් තියනවා. ඊට පස්සෙ කෑම ගෙනත් බෙදනවා. සමහර වේලාවට ඒ ආහාර පිළුණු වෙලා. දානය වළඳලා අහවර වෙනකම් එක මනුස්සයෙක් ඉඳගෙන ලොකු ලේන්සුවක් වනලා නිල මැස්සො එළවනවා. ඒ ලේන්සුව ගසනකොට ඒ තුළින් වහනය වුණේ අමුතුම ගඳක්. මාස ගාණකින් ලේන්සුව හෝදලා නෑ. මම දානය වළඳනකම් පුංචි උන් මා වට කරගෙන ඉන්නවා. ඒ පුංචි උන්ගේ ඇෙඟ් නූල් පොටක්වත් නෑ. කබ, හොටු ගලනවා. හත්දෝවාකින් නාලා නැති ගාණට උෂ්ණෙයි. ගැහැණු, පිරිමි දෙගොල්ලම. සමහර පුංචි ළමයි හිස් ගෙඩියො වගෙයි. ඒත් මම ඒ මිනිසුන් මැද හිඳගෙන දානය වළඳලා, ධර්මය දේශනා කරලා නැවත පා ගමනින් පන්සලට වැඩම කරනවා. පන්සලට ආවට පස්සෙ, බඬේ කැක්කුම අරගෙන බඩ යනවා. විවිධ අපහසුතා දැනුනා. ඒත් මම ඒ රෝගාදිය ගණන් නොගෙන ඊළඟ දවසෙත් ඒ පැල්පත්වල දනට වැඩිය…
ඒ පැල්පත්වල මිනිස්සු බීමට ගත්තෙ කාණුවකින් ගලාගෙන ගිය වතුර. උසස් කුලවල මිනිස්සු ස්නානය කරන, රෙදිපිළි හෝදපු, වළං පිඟන් සෝදන කාණුවේ වතුර. හරිජන මිනිස්සුන්ට පොදු ළිඳකින් වතුර ගන්න දුන්නෙ නෑ. ඒ වගේම හරිජන මිනිසුන්ගේ පැල්පත්වලට විතරක් නෙමෙයි ඒ සන්දියේ ඒ ප‍්‍රදේශයටම වැසිකිළි තිබුණේ නෑ. බොම්බෙ අපේ පන්සලටත් වැසිකිළි තිබුණෙත් නෑ. අපිටත් කැත කුණු කරන්න වුණෙ එළිපහළියේ. උදේට එළිය වැටෙන්න ඉස්සර වෙලා ඒ කටයුතු සිද්ධ කරගන්නවා. අවශ්‍යතාවයක් දැනුනත් දවස කළුවර වෙනකන් කොහොමහරි ඉවසගෙන හිටියා. දානය වළඳලා බඬේ අමාරුවක් හැදුනොත් බැරිම තැන කුඩයක් ඉහළගෙන වාඩි වෙලා කුඩෙන් වහගෙන ඒ කටයුතු කරලා එනවා. ඒ හැර වෙන විකල්පයක් තිබුණේ නෑ. ආවෙලාවේ මුත‍්‍රා බර නොදැනෙන්න වතුර අඩුවෙන් පානය කරන්න පුරුදු වුණා. ඒ ජීවිතය අතිශය කටුකයි. ඒත් ජීවිත අත්දැකීම් බහුලයි. ඒ කටුක ජීවන

ගමන තුළ අධ්‍යාපන කටයුතුවල නියැලීමටත් අමතක කළේ නෑ…

සාංචි විහාරය පහළ ජනතා විදුහලට ඇතුළත් වෙලා මෙටි‍්‍රකියුලේෂන් විභාගයට ඉගෙනගත්තා. ඒ පාසලේ ඉගැන්නුවේ උපාධිධාරී ගුරුවරු දෙදෙනෙක්. ඔවුන් මගෙන් අය කිරීමක් නොකරම පාසලට ඇතුළත් කරගත්තා. මම මෙටි‍්‍රකියුලේෂන් විභාගයට ඉගෙනගෙන විභාගය කරන්න ඇතුළත් වුණේ බෙනාරස් හින්දු විශ්වවිද්‍යාලයට. එතකොට එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු විදිහට මැටිවල සංඝරතන නායක හාමුදුරුවෝ, හම්මලව සද්ධාතිස්ස හාමුදුරුවොත් කටයුතු කළා. විශ්වවිද්‍යාලයට ඉල්ලූම් පත‍්‍ර භාරදීමේදී මා වෙනුවෙන් භාරකරු විදිහට පෙනී සිටියේ හම්මලව සද්ධාතිස්ස හාමුදුරුවෝ. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යයන කටයුතු කරගෙන යනකොට පොතුවිල ගුණරතන හාමුදුරුවෝ මට මුණගැහුණා. උන්වහන්සේ මා සමඟ හිතවත් වුණා…

‘මගෙ ඉංග‍්‍රීසි දැනුම දුර්වලයි. ඔබවහන්සේගේ ඉංග‍්‍රීසි දැනුම ඉතාම හොඳයි. මේ විභාගයට ප‍්‍රමාණවත් ඉංග‍්‍රීසි ටික ඉගෙනගන්න මට උපකාර කරන්න. ඔබවහන්සේටත් මගේ කාමරේ නතර වෙන්න පුළුවන්. ඉඩ පහසුකම් තියෙනවා. කෑම, බීම පහසුකම් ටිකත් මම බලාගන්නම්…’ පොතුවිල ගුණරතන හාමුදුරුවන්ගේ ඉල්ලීමට සවන් දීලා මම උන්වහන්සේගේ කාමරේ නතර වුණා. ඒ වගේම මෙටි‍්‍රකියුලේෂන් විභාගයට අවශ්‍ය ඉංග‍්‍රීසි දැනුම මම උන්වහන්සේට තේරුම් කර දුන්නා. අපි දෙන්නම මෙටි‍්‍රකියුලේෂන් විභාගයට පෙනී හිටියා. ඊට පස්සෙ ඒ විශ්වවිද්‍යාලයේම පාලි විභාගයටත් පෙනී හිටින්න ඉල්ලූම් කළා. ඒත් පාලි ටිකක් බලා ගන්න මට පාලි පොතක් තිබුණේ නෑ. පොතුවිල ගුණරතන හාමුදුරුවෝ ළඟ පාලි පොතක් තිබුණා. මම ඒ පොත ටිකකට ඉල්ලූවා…

‘ඔබවහන්සේට පන්සිල් පුළුවන්ද?

පුළුවන්…

අටසිල් පුළුවන්ද?

පුළුවන්…

දසසිල් කියන්න පුළුවන්ද?

පුළුවන්…

ඒ හොඳටම ඇති. ඔය විභාගයට ප‍්‍රශ්න කරන්නෙ එච්චරයි. ඒ නිසා ඔය පොතෙන් වැඩක් නෑ. මා ළඟ පාලි පොතක් ඇත්තෙත් නෑ…’ කියලා පොතුවිල හාමුදුරුවෝ මට කිව්වා…

ඊට දින තුනකට පස්සෙ පාලි විභාගයට පෙනී සිටින්න ගියා. ශාලාවට ඇතුළු වෙන්න පෙර අපි ගෙනියන සියලූම ගමන් මලූ එළියෙන් තියන්න ඕනෑ. මගේ ගමන් මල්ල තියන්න යනකොට, ‘මේකත් තියන්න…’ කියලා පොතුවිල ගුණරතන හාමුදුරුවොත් එයාගෙ මල්ල මට දුන්නා. ඒ මල්ල බිත්ති පඩිය උඩින් තියෙනකොට නෑ කියපු පාලි පොත මල්ල ඇතුළේ තියෙනවා මම දැක්කා. ඒ ගැන මම එච්චර සැලකිලිමත් වුණේ නෑ. විභාගය කළා. පාලි හැර මෙටි‍්‍රකියුලේෂන් විභාගයෙන් අපි දෙන්නම ගෞරව පන්තිය පේල් වුණා. ඊළඟ වර්ෂයේ විභාගයට නැවත මම ඉල්ලූම් කළා. ඊට ටික දවසකට පස්සෙ, බෙනාරස් විශ්වවිද්‍යාලයට ගිහින්, හම්මලව සද්ධාතිස්ස හාමුදුරුවන් මුණගැහෙන්න මට අවස්ථාවක් ලැබුණා…

‘අපි එවපු ලියුම ඔබවහන්සේට ලැබුණද…’ සද්ධාතිස්ස හාමුදුරුවෝ මාව දැකපු හැටියේ එහෙම ඇහුවා.

මතු සම්බන්ධයි
තරංග රත්නවීර – දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top