මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා බිමෙහි සටන්

1968 මෙක්සිකෝ ඔලිම්පික් උළෙලෙහි සමාරම්භයට දින දහයකට පෙර මෙක්සිකෝ ආරක්ෂක අංශ විසින්, ඔලිම්පික් උළෙල සඳහා රජයේ මුදල් පමණක් යොදවන්නැයි බල කරමින් රජයට එරෙහිව විරෝධතාවයන්හි නියැළුණු එරට වැසියන් දහස් ගණනක් වෙඩි තබා ඝාතනය කිරීම නිසාම ඉතිහාසයේ නොමැකෙන කලු පල්ලමක් සටහන් කල ඔලිම්පික් ක්‍රීඩා උලෙලකි.
මේ වකවාණුව වන විට ඇමරිකාව තුලද සුදු-කලු වර්‍ණභේදවාදය උත්සන්න වෙමින් අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී තිබූ අතර, කලු ජාතිකයන් හට විඳින්නට සිදු වූ තාඩන පීඩන හිරිහැර එමටය. මෙම තත්ත්වයට එරෙහිව කලු ජාතිකයින් තම අයිතිය වෙනුවෙන් සටන් කල අතර, මෙම අරගලයන් හා සමගාමීව 1968 ඔලිම්පික් උළෙලේදී සිදු වූ එක් විශේෂ සිදු වීමක් ඉතිහාසයට එකතු වූයේ බ්ලැක් පවර් සැලුයිට් ( Black Power Salute ) නමිනි.
මීටර 200 ඉසව්වෙහි රන් සහ ලෝකඩ පදක්කම් ද්විත්වය දිනා ගත් කලු ජාතික ඇමරිකානු ක්‍රීඩකයින් දෙදෙනා, පදක්කම් ප්‍රදානයේදී තම රට තුල කලු ජාතිකයන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව ඔවුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කිරීම Black Power Salute ලෙස හඳුන්වන අතර, එම අවස්තාව තවත් විශේෂ වන්නේ එම තරඟයේදී රිදී පදක්කම දිනා ගත් ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩකයාද ඔවුන් හා මේ විරෝධාතාවයට එක් වීම හේතුවෙනි.
මීටර 200 පිරිමි ඉසව්වෙහි අවසන් තරඟයෙන් අනතුරුව රන් සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ඇමරිකානු ක්‍රීඩකයන් දෙදෙනා වු ටොමී ස්මිත් ( Tommie Smith ) සහ ජෝන් කාලෝස් ( John Carlos ) ඔවුන් දෙදෙනාගේ සැලසුම , රිදී පදක්කම් ලාභී ඕස්ට්‍රේලියාවේ පීටර් නෝමන් ( Peter Norman ) ක්‍රීඩකයාට පවසා සිටි අතර, එහිදී විශ්මය හෝ බිය වෙනුවට, ඉතාම ආදරණීයව “මමද ඔබ සමඟ එක් වෙමියි” ( I’ll stand with you ) යි යනු ඔහුගේ පිලිතුර විය.
පදක්කම් ප්‍රදානය සඳයා Tommie Smith සහ John Carlos සහභාගී වූයේ පාවහන් රහිතවය. ඔවුන් දෙදෙනාම OPHR ( Olympic Project for Human Rights ) පලඳනාවන් පැලඳ සිටි අතර Peter Normanටද එය පැලඳීමට අවශ්‍ය වූයේ තම ක්‍රීඩා සගයන් දෙදෙනාට ශක්තියක් වීමටය
පදක්කම් ප්‍රදානය සඳහා එන අතරතුරදී ඔහු දුටුවේ ඇමරිකානු ඔරු පැදීමේ කණ්ඩායම නියෝජනය කල සුදු ජාතික ක්‍රීඩක පෝල් හොෆ්මන් ( Paul Hoffman ) එය පැලඳ සිටින ආකාරයයි. ඔහු අසලට ගිය Norman, තමාට එම පලඳනාව මඳකට ලබා ගත හැකිදැයි විමසූ අතර, Hoffmanගෙන් ඉල්ලා ගත් පලඳනාව සමඟ ඔහුද පදක්කම් ප්‍රදානයේදී තම ආදරණීය ඇමරිකානු ක්‍රීඩකයන් දෙදෙනාගේ විරෝධතාවයට එක් විය.
විරෝධතාවය සඳහා කලු අත් වැසුම් යුගලක් පැලඳීමට Smith සහ Carlos සැලසුම් කොට තිබුනත්, Carlosට තම අත් වැසුම් ඔලිම්පික් ගම්මානයේ අමතක වී පැමිණ තිබූ නිසා, ඔවුන් දෙදෙනාට එක් අත් වැසුම බැගින් බෙදාගෙන පලඳින ලෙසට යෝජනා කලේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Normanය. ඒ අනුව පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව ඇමරිකානු ජාතික ගීතය වාදනය වන විට Smith සහ Carlos පහලට නමා ගත් හිසට ඉහලින් කලු අත් වැසුම් පැලඳි අත මිට මොලවා උස්සා, තම රට තුලදී තම ජනතාවට සිදු වන අසාධාරණයන්ට එරෙහිව විරෝධතාවය පල කල අතර, Smith දකුණු අතත්, Carlos වම් අතත් ඔසවාගෙන සිටින්නේ අත් වැසුම් බෙදාගෙන පැලඳීමට සිදු වීම හේතුවෙන්.
මෙම සිදු වීමෙන් අනතුරුව Smith සහ Carlos අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ඇමරිකානු ඔලිම්පික් කමිටුව මඟින් තරඟ තහනමකට ලක් වූ අතර, ඕස්ට්‍රේලියාව තුලදී Normanටද නිල නොලත් තහංචි බාධක රැසකට මුහුණ දීමට සිදු විය. 1972 Munich ඔලිම්පික් ක්‍රීඩා සඳහා අවශ්‍ය පරිසාදන මට්ටමට පැමිණ සිටියද, ඒ සඳහා Normanට අවස්ථාව නොලැබුණෙන් ඉන් අනතුරුව ඔහු මලල ක්‍රීඩාවටද සමු දුනි. 2000 වසරේදී සිඩ්නි ( Sydney ) ඔලිම්පික් ඔළෙලේදී ඔහුව නොසලකා හැරීමට තරම් මෙම විරෝධතාවය ඔහුගේ ක්‍රීඩා ජීවිතයට දැඩිව බලපෑම් එල්ල කර තිබිණි.
වර්ණභේදවාදයට එරෙහිව තම විරෝධතාවය Black Power Salute ලෙස නොව Human Rights Salute යනුවෙන් පසු කාලීනව Tommie Smith ඔහුගේ චරිතාපදානය තුල සටහන් කල අතර, 2006 වසරේදී දිවි සැරිය නිමා කල, ක්‍රීඩා භූමියේ සටන් සගයා Peter Norman වෙනුවෙන් ඔහුගේ අවමංගල උත්සවයට සහභාගී වෙමින් Smith සහ Carlos ඔහුගේ දෙණ කර තබාගෙන යමින් ගෞරවය දක්වන්නට එක් වූහ.
2000 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුල හිස ඔසවමින් පැවති දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා, කාන්තා හිංසන වලට විරෝධය දැක්වීම වෙනුවෙන්, Sydney ඔලිම්පික් උළෙලට සහභාගී වූ කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මූලික වටයේ සිට අවසන් පූර්ව වටය දක්වාම කහ පැහැති පටියක් තම අතෙහි පැලඳ තරඟ වැදුණු අතර, අවසන් තරඟය වන විට බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ඇය එම කහ පැහැති රිබන් පටිය අතෙහි නොපැලඳ, නමුත් ඉන් තම හිසකෙස් ගැට ගසාගෙන ධාවනයේ යෙදෙමින් මීටර 200 කාන්තා ධාවන තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලකදී එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් දෙවෙනි රිදී පදක්කම, ක්‍රීඩිකාවක් මෙරට වෙනුවෙන් ලබා දුන් පලමු ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
මානව හිමිකම් කඩවීම, අසාධාරණය ට එරෙහිව Smith සහ Carlos සමඟින් Norman 1968 වසරේදී Mexico ඔලිම්පික් උළෙල තුල තැබූ සටහන, දයාව, මනුෂ්‍යත්වය හඳුනන මානව හිතවාදී මිනිසුන්ගේ හදවත්හි ගැඹුරට ආමන්ත්‍රණය කරන බවනම් අවිවාදිතය.
තුසිත වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top