කොරෝනා සහ දුම්වැටිය

මිනිසාට  එතරම්ම වැදගත් වන ශ්වසන  පද්ධතිය දුම්වැටියේ විස දුම නිසා වැනසේ. ශ්වසන පද්ධතියෙන් ලබා ගන්නා ඔක්සිජන් ඉතා පරිස්සමෙන් සිරුරේ සෑම  සෛලයකටම බෙදා හැරේ. ඒ  සද්කාර්යයම දුම්වැටි නිසා නරක අතට හැරේ. ඒ  ඔක්සිජන් බෙදා හැරෙන අන්දමින්ම විස වර්ග 4000කින් පමණ සැදුණු දුම්කොළවල විෂ  දුම මඟින් මුළු සිරුර පුරාම  පැතිරෙන  බැවිනි.

දුම්වැටිය සමඟ කොවිඩ් – 19 වයිරසයෙහි ඉතා කිට්ටු සම්බන්ධකම් පවතී. ශ්වසන රෝගයක් වන මෙම වයිරසයට දුම් බොන්නන් ගොදුරු වීමේ ප්‍රවණතාව දුම් නොබොන්නන්ට වඩා 14 ගුණයකින් වැඩි බව පර්යේෂණාත්මකව සනාථ වී තිබේ. ඒ, චීනයේ වූහාන් ප්‍රාන්තයේ පුද්ගලයන් 1099ක් යොදා ගනිමින් කළ පරීක්ෂණයකදී ය.

එපමණක් නොවේ, දුම්බොන අයකු කොවිඩ් – 19 හේතුවෙන් රෝහල්ගත කළ විට එම තැනැත්තාට බොහෝ විට දැඩි සත්කාර ඒකකයකදී ප්‍රතිකාර කළ යුතු වීම රට රටවල් මුහුණ දෙන තවත් බරපතළ තත්ත්වයකි. එය ද දුම්වැටි පාවිච්චි නොකරන්නකුට වඩා සිව් ගුණයකින් වැඩි අවදානමකි. එය ඉන් නොනවතියි. කොවිඩ් හේතුවෙන් මරණයට පත් වීමේ වැඩි ඉඩකඩක් තවදුරටත් දුම්වැටි භාවිත කරන්නන්ට පවතී. එය ද සාමාන්‍ය නිරෝගි අයකුට වඩා දෙගුණයකින් වැඩි බව ද තහවුරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ තවත් ඇත. කොවිඩ් – 19 වයිරසය නිසා දැඩි පීඩා ඉතාලියට එල්ල විය. එහිදී සිදු කළ පරික්ෂණයකින් හඳුනාගෙන තිබුණේ පිරිමින් වැඩිපුර ඒ වයිරසයට ගොදුරු විය හැකි බවය. ඔවුන් වැඩි පුර දුම්බීමට හුරු වී සිටීම ඊට හේතුවය. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් කෙරෙන් දුම් බීමේ පුරුද්ද එහිදී අඩුවෙන් දක්නට ලැබී තිබේ.

එසේම, සැන්ප්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මඟින් කොවිඩ් – 19 රෝගීන් 11,590ක් යොදාගෙන මෑතකදී කළ පර්යේෂණයකදී එම පිරිසෙන් 16.9%ක් දුම්පානය කරන්නන් බව හඳුනාගෙන ඇත. එමෙන්ම, ඉන් තවත් 5.2%ක් කලින් දුම් බිව් අය බව ද හෙළිවී තිබේ. දුම් බොන්නන්ට කොවිඩ් – 19 අවදානම වැඩි බවත් එමඟින් සෛල මතුපිට ඇති ACE 2 ප්‍රතිග්‍රාහකවලට සම්බන්ධ වී එහි ජානමය ද්‍රව්‍ය සෛල තුළට තව තවත් ඇතුළු කෙරෙමින් පැතිරෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී හෙළිකර ගන්නා ලද්දකි. පෙණහලු තුළට අසාමාන්‍ය ලෙස ACE 2 ප්‍රතිග්‍රාහක එක්වීමෙන් එම ඉන්ද්‍රියට හානි විය හැකි බවත් එමඟින් පෙන්වා දෙයි.

 

දුම්කොළ පිළිකා වර්ග 18කට මඟ පාදයි

මේ අනුව දුම්වැටි සමාජයෙන් මුළුමනින්ම පිටුදැකිය යුත්තක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කරයි. දුම්කොළ භාවිතයෙන් අත් වන විපාක රැසකි. පිළිකා වර්ග 18කට පමණ එය හේතුවකි. එබැවින් මෙම කොවිඩ් – 19 වසංගත කාලය දුම්වැටියෙන් සහ දුම්කොළ සැපීමෙන් අත්මිදීමට එළැඹි ස්වර්ණමය යුගය බවට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. දිනකට ශ්‍රී ලාංකිකයන් 60 දෙනකු දුම්වැටි භාවිතය හේතුවෙන් වැලඳෙන බරපතළ රෝගාබාධ හේතුවෙන් දිවි අහිමි වේ. ඒ හේතුවෙන් අවුරුද්දකදී මිනිසුන් ලක්ෂ 80ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. කෙළින්ම දුම් උරණ අයට පමණක් නොව, එම විස දුමට නිරාවරණය වන අයට ද දුම්වැටිය මරණය උරුම කරවයි. අක්‍රිය දුම්පානය වශයෙන් එය හැදින්වේ. ඒ හේතුවෙන් දිනකට ලෝකයේ මිනිසුන් ලක්ෂ 80ක් මිය යෑමෙන් එහි බරපතළකම පෙනේ. ඒ ද්විතීයික වශයෙනි. තවදුරටත් තුන්වනුව ද දුම්වැටි මිනිසාට බලපෑම් කරයි. ඒ දුම්බීමට ඇබ්බැහිවූවන්ගේ දරුවන්ට උපතින්ම බරපතළ රෝගාබාධ ඇති කරමිනි.

තවදුරටත් දුම්බීම මාරාන්තික බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත. එසේම, ඔක්සිජන් වායුව හරහා ජීවය සදනා ශ්වසන පද්ධතිය හරහාම විස දුම්වැටි ආඝ්‍රාණය කර ගැනීම උසස් බුද්ධිමත් මනසක් සහිත මිනිසා පිළිබඳ දෙතුන් වරක් නැවත සිතා බලන්නට කැසකවන්නකි.

මිනිසාට එතරම්ම වැදගත් වන ශ්වසන පද්ධතිය දුම්වැටියේ විස දුම නිසා වැනසේ. ශ්වසන පද්ධතියෙන් ලබා ගන්නා ඔක්සිජන් ඉතා පරිස්සමෙන් සිරුරේ සෑම සෛලයකටම බෙදා හැරේ. ඒ සද්කාර්යයම දුම්වැටි නිසා නරක අතට හැරේ. ඒ ඔක්සිජන් බෙදා හැරෙන අන්දමින්ම විස වර්ග 4000කින් පමණ සැදුණු දුම්කොළවල විෂ දුම මඟින් මුළු සිරුර පුරාම පැතිරෙන බැවිනි. ශ්වසන නාල, පෙණහලු බිත්ති, රුධිර නාල සහ හෘදය වස්තුව ඉන් කිහිපයක් පමණි. දුම්වැටි දැවෙන කාබනික ද්‍රව්‍ය වේ. ඒවා දැල් වූ විට නිරායාසයෙන්ම කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ්, තාර වැනි දෑ වායුගෝලයට ගලා යයි. ශ්වසනය හරහා දුම්බොන්නන් අවට සිටින මිනිසුන්ගේ සහ සතුන්ගේ ශරීරවලට ද ඇතුළු වෙයි. පිරිසුදු හුස්මක් සැමගේ මූලික අයිතියකි. එය අවහිර කිරීමට කිසිවකුට අයිතියක් නැති බව මානව හිතවාදීන්ගේ පෙන්වා දීමය.

 

දුම් උරන්නන්ගේ ශ්වසන පද්ධතිය අඩපණ වෙයි

සැබැවින්ම, ආශ්වාස වාතය සමඟ ශ්වසන පද්ධතිය තුළට ඇතුළු වන විසබීජ ආදිය පිටුදකින අපූරු සැලැස්මක් මිනිස් සිරුරේ වෙයි. ශ්ලේෂ්මල තරලය එහිදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. ඒ විසබීජ ආදියට බාධකයක් වෙමිනි. එහි දැකිය හැකි කෙඳි ස්වභාවයේ කොටස්වලින් විසබීජ ඉහළට තල්ලු කෙරේ. එවිට කැස්ස ඇති වීමත් ඒ සමඟ ඒවා සිරුරින් පිටතට යෑමත් සාමාන්‍ය නිරෝගි අයකු කෙරෙන් දකින්නට ලැබෙන්නකි.

යම් හෙයකින් එසේ නොවී ශරීරගත වන විසබීජ සමඟ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සටනට පැමිණේ. එමඟින් විෂබීජ ආදිය වනසා දැමේ. එවිට ඉන් අහිතකර බලපෑමක් ඇති නොවේ. එහෙත් දුම්බොන්නකුගේ එය එසේ නොවේ. ඒ, දිගු කලක් තිස්සේ ශ්වසන පද්ධතිය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රිය දුම්වැටිවල ඇතුළත් විස තැවරී රෝගි වී ඇති බැවිනි. ඉහත අන්දමේ ආරක්ෂණ ක්‍රම දුම්බොන්නන්ගේ අඩපණව ඇත. සැබැවින්ම සිගරට් දුමේ ඇති විස සිරුරේ ආරක්ෂණ පද්ධතියට පහරදී විනාශ කරනු ලැබේ.

එවිට ඉතා දුර්වල වන ශ්වසන මාර්ගය හරහා ප්‍රබල වයිරසයක් වන කොවිඩ් – 19 සිරුරට ඇතුළු වීමේ අරුමයක් නැත. තවමත් ලෝකයේ සිගරට් සිල්ලරට අලෙවි කරන රටවල් කිහිපය අතරට මෙරට ද එක්ව තිබේ. එහෙත් මේ වන විටත් ලෝකයේ රටවල් මේ විපාක සාක්ෂරතාවෙන් සහ උගත්, බුද්ධිමත් බවෙන් ඉහළ ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබේ.

 

ශ්‍රී ලංකාවටත් රතු එළි

මෙරට දිනකට පුද්ගලයන් 1,660,900ක් පමණ දුම් උරති. එසේම ඉන් 20,000ක් පමණ දුම්බීම හරහා වැලඳෙන බරපතළ රෝගාබාධ නිසාම ලෙඩ වී අනේක දුක් විඳ මිය යති. දුම්බීමෙන් මෙරට දිනකදී මිය යන මිනිසුන් ගණන 60ක් පමණ වේ. එසේම, වයස අවුරුදු 15ට වැඩි පිරිමින්ගෙන් 30%ක් පමණ දුම්බීමට පුරුදුව සිටීම මෙරට ජනතාවගේ සෞඛ්‍යය හා බැඳී පවතින තවත් රතු එළියකි. සැබැවින්ම මෙරට වැඩිම මරණ ගණනකට හේතුව අන් කවරක්වත් නොව දුම්වැටියම බව සමීක්ෂණ මඟින් තහවුරු කර ගෙන තිබේ.

ඉන් නිම නොවෙන මේ ඛේදවාචකය ආර්ථික වශයෙන් ද තදින් රටට බලපායි. ඒ සිගරට් කර්මාන්තකරුවන් රටේ ජාතික ධනය රුපියල් බිලියන ගණනක් වාර්ෂිකව පිටරටට ගෙන යෑමෙනි. එය එසේ වන විට දුම්බීම හේතුවෙන් මාරාන්තික ලෙඩ රෝගවලට ගොදුරු වන රටවැසියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට අති විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත. ඒවා රටේ දියුණුව පිණිස යෙදවීමට තිබෙන සම්පත්ය. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම tobaccounmasked වෙබ් අඩවිය හරහා විද්වතුන් විසින් ජනතාව දැනුවත් කෙරේ.

කායික රෝග පමණක් නොවේ. මානසික රෝග ද මේ නිසා ඇති වේ. සිය ගණනක් වන ඒවාට ගොදුරු වී අකාලයේ ජීවිත වනසා ගත් වැඩිමනක් දෙනා රටේ ශ්‍රම බළකායට අයත් තරුණයන් වීම දැඩි සැලකිල්ලට ගත යුත්තකි.

එහෙත් තවමත් දුම්වැටි කර්මාන්තයේ ප්‍රධානම ඉලක්කය තරුණ තරුණියන්ය. බොහෝ විට වයස අවුරුදු 20 – 21 වයස් සීමා කෙරෙහි ඔවුහු උකුසු ඇස් යොමා සිටිති. එම පිරිස් වැඩිපුර සමීප වන සිනමාව, ක්‍රීඩා වැනි අංශවලට දිරි දෙන මුවාවෙන් තම තමන්ගේ ව්‍යාපාර ප්‍රචාරය කිරීම මොවුන්ගේ කූට අරමුණ වන බව මෙරට මෙන්ම විදෙස්ගත විද්වතුන් රැසකගේ පෙන්වා දීමය. දුම් කොළ මෙන්ම මත්වතුර සහ පුවක් සියලුම ලෙඩ රෝගවලට බලපාන බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.

 

මත්වතුර සහ පුවක් පිළිකාකාරක

ඒ අනුව මත්වතුර සහ පුවක් ද දුම්කොළ සේම මිනිස් සිරුරට හානිකරය. කායික හා මානසික රෝග රැසකටම මත් වතුර ප්‍රබල හේතුවකි. මත් වතුර පිළිකාකාරක වන බව ලෝකයේ නවතම පර්යේෂණවලින් හෙළිවී ඇතැයි ආචාර්ය, වෛද්‍ය, සමාධි රාජපක්ෂ මහතාගේ අවධාරණය කිරීමකි. පුවක් සැපීමෙන් සිදු වන හානිය ද සුළුපටු නැත. ශ්‍රී ලංකාවේ පිරිමි අතර දක්නට ලැබෙන අංක 1 පිළිකා වර්ගය වන්නේ මුඛ පිළිකාවය. දිනකට මෙරට 4 දෙනකු ඒ හේතුවෙන් මරු දකී.

ඉතින් මේ කොයියම් අන්දමින් සලකා බැලූව ද දුම්කොළ විනාශයම අත්කර දෙයි. එවැනි දුර්දාන්තයකට යෞවනයවත් රටේ අනාගතයවත් බිලි නොවන්නට වග බලා ගැනීම කාගේත් වගකීමක් වනු ඇත.

නුවන් මහේෂ්

ජයවික්‍රම – දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top