මවුපියන් ගිය මඟ සීරුවට යන රයිනි සහ වින්ඩි….රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ දියණියන්

මම බැණුම් අහනවා; නංගි ලකුණු දාගන්නවා – රයිනි

අක්කි හොඳ කොමඩියන් කෙනෙක් – වින්ඩි

ප්‍රවීණ ගායන යුවළක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ දියණියන් වන රයිනි චාරුකා සහ වින්ඩි මෙරට ගීත ලෝලී රසිකයන්ට ආගන්තුක නැහැ. නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන රයිනි සහ ඇගේ නැඟණිය ගැනයි අද මේ කතාබහ. හැබැයි ඔවුන්ගේ කලා කටයුතු ගැන විමසීමක් නම් නොවෙයි. මේ, කතාබහ ඔවුන් දෙදෙනාගේ බාල වියේ සුන්දර මතක සැමරුම් ගැනයි.

 

“නංගියි මමයි අතර වයස් පරතරය අවුරුදු හයක්. අපේ ළමා කාලය ගොඩක්ම ගෙවුණේ අමෙරිකාවේ හරිම සාමාන්‍ය විදිහට. නංගිට අපි ආදරේට කිව්වේ poopa කියලා. ඒකට තේරුමක් නැහැ. තාත්‍ති දාපු නමක්. අමෙරිකාවෙ ඉන්නකොට අපි හතරදෙනා එකටමයි හිටියෙ. ඒත් මෙහේ ආවාහම අම්මියි තාත්තියි ගොඩක් බිසී නිසා ඒ වෙලාවට කවලා පොවලා නංගිව බලාගත්තේ මමයි. වින්ඩි කියන්නෙ ටිකක් වස චරිතයක්. ඒ වගේම නිශ්ශබ්දයි. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තමයි එයා ගොඩක්ම කැමැති. මම ඩිග්‍රි එකට ඉගෙන ගන්න කාලේ යාළුවෝ මට කෝල් කරනවා එහෙ මෙහේ යන්න. වින්ඩි ඒවා හොරෙන් අහගෙන ඉඳලා අම්මිට කේලම් කියලා මට බැණුම් අස්සනවා. ඒ නිසා මට ඒ කාලේ මෙයාව ඉස්කෝලේ යවා ගන්න පුදුම වුවමනාවක් තිබුණේ. ඒ කාලේ මම අම්මිගෙන් බැණුම් අහනවා, නංගි ලකුණු දාගන්න වැඩ තමයි ගොඩක්ම වුණේ. ” ඒ විදිහට මුලින්ම අපේ කතාබහට එක්වුණේ රයිනි. වින්ඩි අක්කා ගැන කිව්වේ මෙහෙමයි.

” අක්කා කෑ ගහලා, විහිළු කරලා කොයිවෙලෙත් විනෝදෙන් ඉන්න චරිතයක්. අක්කිට අපි ආදරේට කියන්නේ TUINA කියලා. පොඩි කාලේ එයා ආසාවෙන් හිටියේ පයිලට් කෙනෙක් වෙන්න. ඒ වෙනුවෙන් එයා ඉගෙන ගත්තත් අන්තිමට සංගීතය තෝරාගත්ත එක ගැන සතුටුයි. අක්කිට ගොඩක් දක්ෂතා තියෙනවා. රඟපාන්න පුළුවන්. ලස්සනට අඳින්න පුළුවන්. එයාගේ තේරීම් හරිම ලස්සනයි. ඒ වගේම එයාට හොඳට විහිළු කරන්නත් පුළුවන්. එයා හොඳ කොමඩියන් කෙනෙක්. වැඩිපුර කරන්නෙත් දඟ වැඩ. පොඩි කාලේ එයා දඟ වැඩක් කරපු ගමන් මම ගිහින් අම්මිට කියන හින්දා මම ඉන්න තැන අක්කි දඟ කරන්නේ නැහැ. අක්කි දැන් එයා විවාහ වෙලා වෙනම ජීවත් වුණත් නිතරම මාව බලන්න එනවා. අපි ෆිල්ම් බලනවා. පොඩි කාලේ දේවල් කතා කරනවා. ඉස්සරහට කරන දේවල් ගැන සාකච්ඡා කරනවා. ඒ විදිහේ හොඳ බැඳීමක් අපි අතර තියෙනවා” වින්ඩි එහෙම කියද්දි නංගිගේ දක්ෂතා ගැන රයිනි මතක් කළේ ගොඩක් ආදරණීය විදිහටයි.

” පොඩි කාලේ අපිට අදහසක් තිබුණේ ගායිකාවෝ වෙන්න. නමුත් දෙන්නම ගායිකාවෝ වේවී කියලා අපි දැනගෙන හිටියා. නංගි මේ අවුරුද්දේ සින්දුවක් එළි දැක්වුවා. ලොකු බලාපොරොත්තුවකින් නොකළත් ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි ජනප්‍රිය වෙන්න ඕනි කියලා අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. හරිම හෙමින් අපි මේ ගමන යන්නෙ. වින්ඩි ගායනයට ගොඩක් දක්ෂයි. එයා තෝරගෙන තියෙන්නේ හරි පාර. මම හිතන්නේ ඉදිරියේදී සංගීතය පැත්තෙන් මම එයාට උදවු කරනවාට වඩා මට එයාගෙන් ලොකු සහයෝගයක් ගන්න පුළුවන් වෙයි. ”

නංගිගේ දක්ෂතා ගැන ඒ විදිහට සතුටු වෙන අතර ඔවුන්ගේ සොඳුරු මතක අතර තිබුණු සංවේදී මතකයක් ගැනත් රයිනි අපිට කිව්වා.

“ටිකක් වස වුණාට නංගි ගොඩක් සංවේදියි. මමත් එහෙමයි. ඒක එන්න ඇත්තේ අපේ තාත්තිගෙන්. අම්මිගේ පළමු විවාහයේ අක්කිවයි අයියවයි සම්බන්ධ කරලා මිනිස්සු ඉස්සර ගොඩක් දේවල් කිව්වා. මම නම් ඒවා ගණන් ගන්නේ නැහැ. ඒත් නංගි චූටි නිසා ඉස්සර ඒවා ඇහෙද්දි එයා ගොඩක් අඬනවා. ඉතින් මමයි අම්මියි තමයි නංගිව සනසන්නේ. මම විවාහ වෙලා හස්බන්ඩ්ගේ ගෙදර යද්දි මට හොඳටම ඇඬුණා මම ගියාම නංගි තනි වේවි නේද හිතිලා. එදා මට නංගි ගැන පුදුම දුකක් දැනුණේ. ”

රයිනිගේ සුන්දර නෙත්වලට පුංචි කඳුළකුත් මෝදු වුණේ ඒ බැඳීම නිසාම වෙන්නැති. වින්ඩිටත් අක්කා ගැන කියන්න ඒ වගේම හැඟීම්බර කතාවක් තිබුණා.

“අක්කි යුනිවර්සිටි ගිය පළවෙනි දවසේ මටත් පුදුමාකාර පාළුවක් දැනුණා. අක්කි ගෙදර ඉන්නකොට මම ආස කෑම හදලා දෙනවා. එයා හදන චිකන් කරියට තමයි වැඩිපුරම කැමැති. පහුගිය දවසක පළවෙනි වතාවට මම අක්කි එක්ක ස්ටේජ් එකක සින්දුවක් කිව්වා. එදා එයා මට ලොකු හයියක් වුණා. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ”

සටහන..සචිනි ඉමල්ෂා
ඡායාරූප…ධනුෂ්ක සේනාධීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top