මා ළඟටම ඔබ ළං වෙලා… හිඳින්න නිහඬව නුවන් පියා

මේ භාවාත්මක හඬ ස්වරයේ අයිතිකරු ඩබ්. ඞී. ආරියසිංහයන්ය. ඔහු මේ තාක් මෙරට සුවහසක් සංගීතලෝලීන් එම භාවාත්මක ස්වරයෙන් පිනවූවේය. ආරියසිංහයන් දැන් ඒ හඬ පමණක් ඉතිරි කර ඉකුත් බදාදා අත්තිඩිය සුුසානයේදී අප අතරින් සදහටම නික්මිණ.

ආරියසිංයන් ස්වකීය සංගීත චාරිකාව අරඹා ඇත්තේ අසූව දශකය මුල් කාලයේ ගුවන්විදුලි ගායන ශිල්පියෙකු වශයෙනි. එතෙක් මෙතෙක් ඔහුගේ එම දීර්ඝකාලීන සංගීත චාරිකාව තුළ ඔහු තබා ඇති අමරණීය මතක කිහිපයකි. එහි ආරම්භය සිදුවන්නේ අනූව දශකය අවසන් කාලයේය.

ඒ මෙරට පේ‍්‍රක්ෂක සමූහයා ඇද බැඳ ගැනීමට සමත් වූ හෙළයේ මහා ගාන්ධර්වයන් වන අමරදේවයන්ගේ ගීත කිහිපයක් ඔහුගේ හඬින් ගයා එළිදැක්වූ පේ‍්‍රම සැඳෑවෝ කැසට් පටය නිසාය. එවකට එය ආන්දෝලනාත්මක ගීත එළිදැක්වීමක් ද විය. ඔහුගේ එම ඇතැමෙක් අනුකරණය විවේචනය කළ ද ආරියසිංහයන් සතු භාවාත්මක කටහඬ හරියටම ජනගත වූයේ පේ‍්‍රම සැඳෑවෝ ගීත එකතුව නිසාය. එම ජනප‍්‍රියත්වයෙන් නියම මාර්ගයට පිවිසි ආරියසිංහයන් පසුව ස්වතන්ත‍්‍ර ගී තුළින් තමන් සතු හැකියාව ප‍්‍රදර්ශනය කළේ රසික ජන මනස තුළ සදාතනික මතකයන් රඳවමිනි. වළාකුළු පෙළින් බසින්න, මා ළඟටම තව ළං වෙලා, කන්ද උඩින් රෑන  ගිරා වැනි එහිදී ඔහු ගැයූ ගීත රසික සමූහයා ආදරෙන් වැළඳ ගත්තේය.

1956 වසරේදී උපත ලබා ඇති ඩබ්. ඞී. ආරියසිංයන් මියයන විට වයස අවුරුදු 64 ක් ජීවන චාරිකාවේ පැමිණ තිබිණ. ඒ අතරේදී ඔහුගේ අසලින් සැමදා සිටියේ දර්ශනී චන්ද්‍රසේන වන ඔහුගේ ප‍්‍රිය බිරිඳය. ඔවුන් දෙදෙනාගේ පුත් හර්ශදේව ආරියසිංහ ද පියා මෙන්ම දැන් ගායන කේෂත‍්‍රයට පිවිස සිටින්නේය. රටම කොවිඞ් වසංගත නමැති උවදුරින් නිද්‍රාවට පත්ව ඇති මේ සමයේ නිහඬව අපෙන් නික්ම ගිය මේ අපූරු ගායන ශිල්පියාට නිවන් සුව පතමු.

තිස්ස

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top