ප්‍රදීප් කුමාර බාලසූරිය
ලේඛකයන් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යය හා අවිය ලේඛනයයි. මා නිහඬ, මට අයිති කාර්යය ලේඛනය නිසයි. එහිදී මා නිහඬ නෑ. ඒ වගෙම, ලේඛකයන් ලිවිය යුත්තේ පාඨකයන් වෙනුවෙන් මිසක සම්මාන බලාගෙන නෙවෙයි. ඒ දෙක දෙකක්. ලේඛකයකු ලියූ දේ ඇගැයීමයි සම්මානයකින් කෙරෙන්නේ.
සාහිත්‍යවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය මෙරට යොවුන් පුවත්පත් කලාවේ පතාකයෙකි. ඔහු නවකතා, පරිවර්තන නව කතා, ධනාත්මක චින්තනය, චරිතකතා ගණනාවක් ද ලියා පළ කර ඇත. ‘හර්ද සාක්ෂී’ යනු ප්‍රදීප් කුමාර බාලසූරියගේ නවතම ස්වීය නවකතාවය.
‘හර්ද සාක්ෂී’ ඔබේ විසි දෙවැනි නවකතාව. මේ සඳහා ඔබ අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගත්තේ කොහොම ද?
මගේ හැම නවකතාවකම, මේ රටේ ජීවත් වන සැබෑ චරිතයක් ඉන්නවා. සුවිශේෂී චරිතයක් හමු වුණාම මං, යම් තරමක් ඒ චරිතය පස්සේ පන්නනවා. චරිතයක අභ්‍යන්තරය හා හැඟීම් හරිම වැදගත්. සැබෑ හැඟීම් නවකතාවකට එක්වුණාම, ඒ චරිතය හරිම ජීවමානයි. ඒවාට තෝරා ගත්තේ එකිනෙකට වෙනස් වස්තු බීජ වීම, වසර 33කට වැඩි කාලයක් පුරා මගේ නවකතා එකසේ ජනප්‍රිය වීමේ රහසයි. මා වඩාත් උත්සාහ කළේ, මෙතෙක් නොලියැවුණු වස්තු බීජ තෝරා ගන්නයි.
නවකතාවක් ලියන විට මා තෝරා ගන්නේ, මටම ආවේණික ‘පිටි හා කැවුම්’ න්‍යාය. ඒ කියන්නේ රසවත් කැවුම් සෑදෙන්නේ රසය ඉස්මතු නොවුණු පිටිවලින්. ඒ නිසා, පිටිවල සැබෑ රසය ඉස්මතු වන්නේ, එයට විවිධ රසකාරක එක් වීමෙන්. ඒ වගේම, නවකතාවකට තෝරා ගන්නා වස්තු බීජය, චරිතය හා එහි වටපිටාවට, බාහිර හැඟීම් හා අලංකරණ බොහොමයක් මා එක් කරන්නේ, චරිතය සැපැයූ පුද්ගලයාගේ පෞද්ගලික පාපොච්ඡාරණයක් නොවී, පොදුවේ රස විඳිය හැක්කක් ලෙසිනුයි.
වසර 33ක් පුරා ලියූ මගේ නවකතා පැහැදිලිවම දෙකොටසකට වෙන් කරන්න පුළුවන්. ඒ, මුල් කාලයේ දී, කවුරුත් සංවේ දී යොවුන් ප්‍රේම කතා ලියන්නෙක් විදියට. මුල් නවකතා සියල්ලම පාහේ අයත් වෙන්නේ ඒ අංශයට. ඒත්, මගේ දෙවැනි නවකතා පෙළගැස්ම එයට වඩා වෙනස්. ඒ කියන්නේ, යොවුන් ප්‍රේමයෙන් තොර, සමාජ, ආර්ථික හා දේශපාලනමය පසුබිමක් සහිත පවුලේ නවකතා පෙළක් තමයි මෑත කාලයේදී ලියැවුණේ. වර්තමානයේ ලියැවෙන සියලු නවකතා යම් දේශපාලනික පසුබිමක් සහිතයි. ඒ වගේම, පවතින දේශපාලන ක්‍රමය නවකතාකරුවකුගේ කෝණයෙන් හාස්‍යයට ලක් කිරීමට මා ප්‍රියයි. මගේ හැම නවකතාවකම චරිත, ඒ පුද්ගලයාට සාපේක්ෂව සාධාරණයි වගේම අහිංසකයි.
මෙහි ‘තේමා’ කියන ප්‍රධාන කාන්තා චරිතය ඔබ ගොඩනංවන්නේ ගැමි සංස්කෘතියක හැදිලා, වෙළෙඳ දැන්වීම් සංස්කෘතිය ඇතුළේ ජීවත්වන ගැහැනියක් විදිහට නේද?
වසර 30ක පමණවූ පත්තර කලා ජීවිතයෙන් පසු මා නැවතුණේ, ප්‍රචාරණ කලාව සමඟයි. එය පත්තර ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් හා චමත්කාර ලෝකයක්. බොහෝ නිර්මාණශීලී හා සැහැල්ලූ ජීවිත සමූහයක් තමයි ඒක ඇතුළේ ඉන්නේ. ඇතැම් අය අපේ සංස්කාතිය හා සම්ප්‍රදායානූකූල දෙයට ආගන්තුකයි. ඒත්, පැත්තක ඉඳන් එය විඳින්න එයාලා උත්සාහ කරනවා.
‘හර්ද සාක්ෂී’ නවකතාවේ ප්‍රධාන චරිතය වන තේමා, ප්‍රචාරණ ලෝකයට අයිති වූ කෙනෙක් නෙවේ. ඇය දැඩි සම්ප්‍රදායික චරිතයක්. ඒත්, දේශපාලනික බලපුළුවන්කාරකම හිතට ගත් හා එම සබඳතා මඟින් ව්‍යාපාර දියුණු කිරීමට සිතන සැමියාගේ හැරයෑමෙන් පසු ජීවත් වීමේ අරගලයට විසැඳුමක් ලෙසින් ඇය ප්‍රචාරණ ලෝකයට ඇඳී යනවා. ‘දේශපාලන උණ’ සහිත ඇගේ සැමියා වන තුරුණුලා අපට වර්තමාන සමාජයේ හමු වෙනවා. එම චරිතය ගොඩනැඟුණේ මා දන්නා චරිතයක් සහමුලින්ම පදනම් කරගෙනයි. දේශපාලනික බලපුළුවන්කාරකමෙන් කරන්නට බැරි දෙයක් නැතැයි සිතන පුද්ගලයන්, යම් දවසක එය තුළින්ම විනාශ විය හැකියි.
දේශපාලන ලෝකයේ සැරිසරණ ගැහැනියක නිසා තුරුණු, තම බිරිය තේමා හැර යන්නේ ඇයට දරුවකු ලැබෙන්න සිටියදීයි. දරුවාගේ පියා ලෙසින් නම් කරන්නකු ඇයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඉදිරිපත් වන උද්‍යානට ඇය මුළු හදවතින් ම ආදරය කරන්නා වගේම, ගරු කරනවා. ඒ සියල්ල වෙනස් වෙන්නේ, හැරගිය සියල්ල විනාශ කරගත් සැමියා දේශපාලන බලයත් සමඟ නැවත පැමිණීමෙනුයි.
පවුල් ජීවිතයකට සහ තම පුතාට බෙහෙවින් ආදරය කරන තේමා, ඔබ අවසානයේ මරා දමනවා?
ඔව්. නවකතාවක් නොසිතන ආකාරයෙන් අවසන් වීම වැදගත්. තේමාගේ මරණය මුල දී අපේක්ෂා නොකළත්, එසේ අවසන් කරන්න ට මට සිදුවූවා. එය ට හේතු වුණේ හැම ගැහැනියක්ම තම පළමු ආදරය හමුවේ ඕනෑම සසල වන බව පැවසීම මට වුවමනා වුණා. එසේ පළමු වරට ආදරය කළ තැනැත්තා නැවත පැමිණීමෙන්, තමා වෙනුවෙන් බොහෝ කැපවීම් කළ උද්‍යානට සියුම් අසාධාරණයක් ඇය වෙතින් සිදු වෙනවා. එය නිවැරැදි කර ගැනීමට ඇය උත්සාහ කළත්, එම උත්සාහා අසාර්ථක වෙනවා. සැමියා විසින් ඇය එම තත්ත්වයට පත් කරනවා. ඒ නිසා ඇයට නැවත බොහෝ සෙයින් තමා වෙනුවෙන් කැපවූ උද්‍යාන වෙත යෑම හෝ පළමු සැමියා කෙරෙහිවූ අප්‍රියත්වය මත නැවත ඔහු ළඟ රැඳීමේ කැමැත්තක් නැති වෙනවා. එවැනි පසුබිමක එවැනි ගැහැනියකට මරණය හැර අන් විකල්පයක් නැති විය හැකියි.
ඔබ නවකතා, පරිවර්තන සහ වෙනත් කෘති රචකයෙක් විදිහට, ඔබේ ලිවීම ඇතුළේ ඔබට මඟ පෙන්වන මෙරට හෝ විදේශීය රටක රචකයෙක් සිටිනවා ද?
දේශීය වශයෙන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ගේ ‘මළවුන්ගේ අවුරුදුදා’ හා මෑතකදී අප අතරින් වෙන්වූ තොම්ප්සන් ඒ වැන්දබෝනාගේ ‘සැමදා සමරමි සුදු’ යන නවකතා මගේ නවකතාකරණයට දැඩි බලපෑම් එල්ල කළ නිර්මාණ. අලුත් නවකතාවක් ලියන්න පෙර ඒවා නැවත කියවීම පවා මා සිදු කරනවා. ඒ වගේ ම විදේශීය නවකතාකරුවන් අතරින් එරිච් සීගල් ගේ නිර්මාණ මගේ සිතට දැඩි බලපෑම් සිදු කළා. ඔහුගේ Love Story හා tan Woman and child නවකතාවලට අදටත් මං ආදරෙයි. Love Story ග්‍රන්ථය මා විසින් පරිවර්තනය කළා.
ධනාත්මක චින්තන ග්‍රන්ථ සඳහා නම් මා තෝරාගන්නේ ලේඛකයා නෙවෙයි, පැවසෙන පණිවිඩයේ වටිනාකමයි. එවැනි පර්වර්තනවල දී මගේ අරමුණ වෙන්නේ, ඉංග්‍රීසියෙන් කියවාගත නොහැකි සිංහල පාඨකයන්ට, වරප්‍රසාද හිමි සමාජයට අභියෝග කරලා, ලෝකය ජයගත හැකි පන්නරයක් ලබා දෙන්නයි.
ඔබ නිහඬ රචකයෙක්. මෙරට සාහිත්‍ය සම්මාන සඳහා ඉදිරිපත් නොවන්නෙක්. සාහිත්‍ය සම්මාන ගැන ඔබ දරන මතය?
ලේඛකයන් නිහඬ පිරිසක් විය යුතුයි. ඔවුන් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යය හා අවිය ලේඛනයයි. මා නිහඬ, මට අයිති කාර්යය ලේඛනය නිසයි. එහිදී මා නිහඬ නෑ. ඒ වගෙම, ලේඛකයන් ලිවිය යුත්තේ පාඨකයන් වෙනුවෙන් මිසක සම්මාන බලාගෙන නෙවෙයි. ඒ දෙක දෙකක්. ලේඛකයකු ලියූ දේ ඇගැයීමයි සම්මානයකින් කෙරෙන්නේ. සම්මාන බලාගෙන ලියනවා කියන්නේ “ඕං අපි ලිව්වා සම්මාන දියල්ලා” යැයි කීමක්.
නවකතා රසවිඳීම එකිනෙකාට සාපේක්ෂබව මා පිළිගන්නවා. ඒත්, වසරක් තුළ ප්‍රකාශිත නවකතා හා එම වසරේ සම්මාන ලබන ග්‍රන්ථය දිහා බලද්දි, සම්මානය ලැබිය යුත්තේ එයට ද? නැත් නම් වෙනත් කෘතියකට ද? යන්නේ ගැටලුවක් මට පෞද්ගලිකව ඇති වී තිබෙනවා. පාඨකයන් පවා ඒ ගැන ප්‍රශ්න කරන බව, මා සමාජ මාධ්‍යවල දැක තියෙනවා. එය සම්මානවල අනාගත විශ්වාසය පිළිබඳ ගැටලුවක් විදිහට මා දකිනවා.
සම්මානවලට ඉදිරිපත් වීම කෙසේ වෙතත්, ලබන වසරට මා පුවත්පතක පළ නොවූ නවකතා එක, දෙකක් ලියන්නට අදහස් කරගෙන ඉන්නවා.
අනුසාර මාහිංගොඩ