මස්ඉඹුලගෙයි මගෙයි සුසංයෝගය ඉතා වැදගත් මාණික්කාවත ටෙලි නිර්මාණයේ අධ්‍යක්ෂ සුදත් රෝහණ

මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත සාහිත්‍ය කෘතිය ඇසුරින් සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණයන්ගේ නවතම නිර්මාණය වන මාණික්කාවත ටෙලි වෘතාන්තය 18 වැනි සෙනසුරාදා සිට සෑම ඉරිදා දිනකම රාත‍්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීම ආරම්භ වුණා. මාණික්කාවත නිෂ්පාදනය කර තිබෙන්නේ ෆාහිම් මවුජුඩ් විසින්. මේ කතාබහ මාණික්කාවත ගැන සුදත් රෝහණයන් සමඟ.

 

මාණික්කාවත පුංචි තිරයට ගෙන්න හිතුවේ ඇයි?

මේ කෘතියේ රූපවාහිනී නිර්මාණයක් කරන්නට සුදුසු කරුණු කාරණා රැසක් තියෙනවා. ඒ එක්කම මේ කතාවට පසුබිම් වන අවදිය, මේ කාල පරාසය ඇතුළත ආර්ථික සංස්කෘතික දේශපාලන විකාශයක් ඉතා හොඳින් වෙනවා. අනිත් කාරණාව මෙය හුදු ටෙලි වෘතාන්තයක් ලෙසින් රස විඳිමම පමණක් නෙවෙයි; මේ යුගයන් පිළිබඳ අධ්‍යයන කරන අයට එක්තරා විදියට මේක අත්පොතක්. එහෙම නැත්නම් ඒ යුගය පිළිබඳ කැඩපතක්. ඒනිසා අධ්‍යාපනික වශයෙනුත් ඉතා වැදගත් පරිශීලනයක් වනවා අපේ අතීත උරුමයන් ඇවතුම් පැවතුම් සහ ආචාර ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉතිහාසයක් නැත්නම් අපිට වර්තමානයක් හෝ අනාගතයක් නැහැනේ.

මේ ඉතිහාසය වර්තමානයේ ප්‍රතිනිර්මාණය කිරීම අභියෝගයක් වුණේ නැද්ද?

ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. ශ්‍රී ලාංකීය සමාජයේ එහෙම නැත්නම් පරිසරයේ සංස්කෘතික පද්ධතියේ වෙනස විග්‍රහ කරනවා කියන එක පහසු කාරණාවක් නොවෙයි. ඒක ඇත්තට ම අභියෝගාත්මක කාරණාවක්. ඉතින් ඒ අභියෝගය යහපත් ආකාරයට හා නිවැරදි ආකාරයට පාඨක ප්‍රේක්ෂක පිරිස් වෙත විශ්වාසය ඇතිවන ආකාරයට නිර්මාණය කරන්න ලැබුණා කියලා හිතනවා.

 

 

සාහිත්‍ය කෘතියක් රූපවාහිනීයට ගෙනහැර පෑමේදී තියෙන අභියෝග මොනවද?

විශිෂ්ට සාහිත්‍ය කෘති රූපවාහිනියට ගෙන හැරපෑම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි නවකතාවක් හෝ කෙටිකතාවක් නැතුව ස්වතන්ත්‍ර නිර්මාණයක් කළා නම් එතරම් ගැටලුකාරී නැහැ. මොකද විශිෂ්ට සාහිත්‍ය කෘතියක් පරිශීලනය කරපු පාඨකයාට අසාධාරණයක් වෙන්න බෑ. අනිත් කාරණාව නවකතාවක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට ගෙන එනකොට මුල මැද අග වෙනස් වෙනවා. සමහර චරිත ඉවත් වෙනවා, සමහර චරිත ගේනවා වගේ යම් යම් සංශෝධන කරනවා. හැබැයි මොන සංශෝධනවලට ලක් කළත් කතුවරයා විසින් සමාජය හරහා ගෙන හැරපාන්න උත්සහ කරන මුඛ්‍ය කතා ධාරාවට හානියක් වෙන්න බෑ. ප්‍රධානම කාරණාව තමා පොතක් රූප මාධ්‍යයට ගැනීමේදී පොත කියවූ පාඨකයාගේ මනස් තුළ විචිත්‍ර වූ ඒ රූපකයන් නිර්මාණකරුවා විදියට හැමකෙනෙක්ටම සාධාරණයක් වෙන විදියට කරන්නේ කොහොමද කියන කාරණය. ඒක තමා තියෙන ලොකු ම අභියෝගය. හැබැයි ඒක සාර්ථකව කළේ නැත්නම් ඒ කෘතිය අසාර්ථක වෙනවා. ඒක මම මෙතෙක් කරපු නිර්මාණ වල ලැබුණු ප්‍රේක්ෂක සහ පාඨක ප්‍රතිචාර එක්ක සාර්ථකව කරන්න ලැබුණා කියලා මම හිතනවා. හරි ප්‍රවේශමෙන් කළ යුතු වෙහෙසකර අධ්‍යයනය කළ යුතු විශාල කාලයක් වැය කරන්න ඕනේ කාරණාවක්. මෙවරත් මාණික්කාවත

යහපත් ආකාරයට කරන්න ලැබුණා කියන විශ්වාසය මා තුළ තියෙනවා

මාණික්කාවත තිර පිටපත ලියන්නෙත් පොතේ කතුවරයාමයි, ඒ ගැනත් මතක් කළොත්

මගේ නිර්මාණවල කවුරු තිරපිටපත ලිව්වත් මම ඒකත් එක්ක සියයට සීයක් සම්බන්ධ වෙනවා. මාණික්කාවත තිර පිටපත ලියන්න අපිට අවුරුදු එකහාමාරක් දෙකක් වගේ කාලයක් ගියා. හැබැයි ඒ කාල සීමාවම මමත් මහින්දත් සාකච්ඡා කරලා තමා මේ පිටපත මහින්ද ලිව්වේ. මේ පිටපත අපි 12වතාවක් සංශෝධනය කළා. නිර්මාණකරුවා විදියට මගේ තියෙන සිතැඟිත් එක්ක තමයි මේ තිරනාටක රචනය තියෙන්නේ. සමහර සිද්ධි අපි වෙනස් කළා.

චරිත ඉවත් කළා; අලුත් චරිත ගෙනාවා. තියෙන චරිත වර්ධනය කළා. මහින්ද මෙහි තිරනාටක කතාව ලිව්වා තමයි හැබැයි නිර්මාණකරුවා විදියට මමත් සියයට සීයක් එයට දායක වුණා. මම විශ්වාස කරනවා ඒ සුසංයෝගය හරි වැදගත්.

 

 

අපි චරිත ගැනත් කතා කළොත්,

මේ නවකතාව කියවද්දිම ඒ චරිත වල ගති ලක්ෂණ තියෙන මනුස්ස ස්වරූපයන් නිර්මාණකරුවාගේ සිතේ මැවෙනවා. ඒක සාමාන්‍ය කාරණාවක්. මේ චරිත කියවද්දිම මට මැවුණු රූපක කෙටිහාමි විදියට ජගත් චමිල, ඊට පස්සේ ගුණාදරි විදියට වොල්ගා කල්පනී. හැබැයි පිච්චි කියන රූපකයට ආදේශ කරන්න සුදුසු කිහිපදෙනෙකුටම කතා කළා.

නමුත් අවසානයේ වේදිකාවේ තියෙන අත්දැකීම් එක්ක උමා අසේනිව තෝරා ගත්තා. මම විශ්වාස කරන එක් කාරණාවක් තමයි රංගනය සාර්ථක වෙන්න ප්‍රතිභාව අවශ්‍යයි, නමුත් සියට සීයක් ප්‍රතිභාව තිබ්බත් වැඩක් නැහැ මේ නිර්මාණය වෙනුවෙන් කැපවීමක් කරන්න බැරි නම්. ජගත් චමිල, නිරෝෂන් විජේසිංහ, වෝල්ගා කල්පනී, සරත් කොතලාවල, උමා අසේනි, ගුණාදරිගේ පොඩි කාලෙට හිටිය දරුවා ඇතුළු අපි එක්ක වැඩ කළ හැමකෙනෙක්ගෙන්ම ඒ කැපවීම දායකත්වය මැනවින් ලැබුණා. ඒ නිසා චරිත තෝරා ගනිද්දී ප්‍රතිභාව පමණක්ම මම බලන්නේ නැහැ. අපි නම් දරාපු අයම ගත්තොත් අලුත් පරම්පරාවක් බිහිවෙන්නෙත් නැහැනේ.

මේ සියලු කාරණා එක්ක තමා මම චරිත වලට තෝරා බේරා ගැනීම් කළේ.

 

අද සිට මාණික්කාවත පුංචි තිරයෙන් බලන්න වගේම ලක්හඬෙන් අහන්නත් ලැබෙනවනේ, මෙයත් මෙතෙක් නොවූ දෙයක්, ඒ ගැන කිව්වොත්

ලංකාවේ දෘශ්‍ය­ාබාධිත අය ඉන්නවා ලක්ෂ ගණනක්. ඔවුන්ට මෙය ඉතා හොඳින් රසවිඳින්න හැකියාව තියෙනවා ලක්හඬෙන්.

ස්වාධීන රූපවාහිනීයෙන් රාත්‍රී 8.30-9.00 විකාශය වන නාට්‍යය ම එදිනම රාත්‍රී 9.00-9.30 කාලයේදී ලක්හඬ ගුවන් විදුලියෙන් අහන්න අවස්ථාව ලැබෙනවා. මේ කතාවේ සිටින ගුණාදරි කියන්නෙත් දෘශ්‍යාබාධිත තරුණියක්.

ඒ නිසා මේ නිර්මාණය පාඨක, ප්‍රේක්ෂක වගේම ශ්‍රාවක සැමට හොඳ අත්දැකීමක් වේවි. මාණික්කාවත කියවපු පාඨකයන්ට වගේම සුබාවිත ටෙලි නාට්‍යය කලාවක් හොයාගෙන යන අපේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂකයන්ට වගේම ගුවන් විදුලිය හරහා අපිව රසවිඳින ශ්‍රාවකයන්, මේ තුන්ගොල්ලන්ටම මම ආරාධනා කරනවා මාණික්කාවත සමඟ එකතු වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top