අලුත් පරම්පරාව එක්ක වැඩ කරන්න මම කැමතියි – සුජානි මේනකා

සතෙන් සතේ කිව්වම කවුද නොදන්නේ. දශක තුනකට එහා වෙළෙඳ දැන්වීමක් වුණත් අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි. මෙහි ඉන්න කුඩා ළමයා අද වෙද්දී කලාවේ ඉන්න දක්ෂ ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පිනියක්. සුජානි මේනකා නිහැඬියාවකින් පස්සේ පුංචි තිරයට ආයෙත් ඇවිත්. ඒ ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වන පෝක් වීදියේ නුවංගි ලෙසින්. අද මේ සොඳුරු කතා බහ සුජානි මේනකා සමඟ

 

පෝක් වීදියේ නුවංගිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මමත් ආසාවෙන් කාලෙකට පස්සේ බාරගත්ත නාට්‍යයක්. ගොඩක් වෙලාවට මට ඇමතුම් දීලා අහන අය ඉන්නවා පෝක් එක්ක පොල්රොටි නැද්ද කියලා. මට එහෙම අහද්දී හිනත් යනවා. මොකද මම පෝක් හදන්න දන්න කෙනෙක් නෙවෙයි. අපි රූගත කිරීම් කළේ ජනාකීර්ණ ප්‍රදේශයක පාර අයිනේ. ගොඩක් වෙලාවට සමහර වාහන ඇවිත් ඇත්තටම නවත්තනවා ඔය දෙන්න කඩයක් දා ගත්ත ද කියලා.

 

නිහැඬියාවකින් පස්සේ මේ නිර්මාණයම තෝරා ගත්තේ ඇයි?

මට ඇත්තටම ඕනේ වුණේ අවුරුද්දක වගේ කාලයක් නිදහසේ ඉන්න. ඒ අවුරුද්දේ ආව නිර්මාණ එකක්වත් මම මොකක් ද කියලවත් බැලුවේ නැහැ. ඊට පස්සේ මම වැඩ කරනවා කියලා හිතාගෙන ඒ කාලයේ ආව චිත්‍රපටි සහ ටෙලි නාට්‍යය පිටපත් කියවලා බාරගෙන මුහුරත් වලට පවා ගියා. ඒ එක්කම තමා මේ කොරෝනා වසංගතය ඇවිත් රට වහන්න සිද්ධ වුණේ. ඒ නිසා බාර ගත්ත නිර්මාණ කල් ගියා. ඔය අතරේ මට ලැබුණු තවත් එක් නිර්මාණයක් තමා පෝක් වීදිය. විශේෂම දේ මෙහි පිටපතට මම බොහොම ආස කළා. මම වඩාත් ප්‍රිය කරන පිටපත් රචකයෙක් අසංක සායක්කාර කියන්නේ. ඔහුගේ තිරපිටපත් පහක විතර මම රඟපාලා තියෙනවා. ඔහු දන්නවා රංගන ශිල්පින්ට අභියෝගයක් වෙන ඒ වගේම දක්ෂතා පෙන්නුම් කරන්නට හැකි චරිත ලියන්න. මම කොහොමත් ආසයි එකිනෙකට වෙනස් තමන්ට තමන් අභියෝගයක් වන චරිත කරන්න. ඒ නිසා මම කැමතියි සායක්කාරගේ චරිත වලට. මෙහි අධ්‍යක්ෂක සාලින්ද රත්නායකව නම් මම මුලින්ම දැනගෙන හිටියේ නැහැ. ඔහු කාලයක් සහය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා අත්දැකීම් ඇති කෙනෙක්. ඒ නිසා ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වුණාට නළු නිළියන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒ ගැන ඇතිවුණු පැහැදීම සහ මෙහි ඉන්න නළු නිළි පිරිස. මේ සියලු කාරණා නිසා තමා චරිතය බාර ගත්තේ.

 

නවක අය බොහොමයක් මෙහි ඉන්නවා, ඒ අය ගැන මොකක් ද කියන්න තියෙන්නේ

මම නම් හැමදාම දකින්නේ අලුතින් එන පරම්පරාව තුළ ඉන්නවා ඉතාම දක්ෂ අය. නමුත් අවාසනාවකට වගේ අද ගුණාත්මක බවින් ඉහළ නිර්මාණ බිහිවීමේ අඩුවක් තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට එන්නේ කුඩා කාලයේ සිට. ඒ කාලේ මම දැක්ක දේ තමා එකිනෙකට වෙනස් හොඳ නිර්මාණ බිහිවීම. දැන් පරම්පරාව සිමා වලට යටත් වෙන්න වෙලා. උදාහරණයක් විදියට මාධ්‍ය ආයතන වලින් කරන නිර්මාණ වලට සීමා වෙලා නිසා වෙන වැඩකට දින දෙන්න බැරි ප්‍රශ්න පවා තියෙනවා. ඒ නිසා මට හිතෙනවා ඔවුන්ගේ හැකියාවන් පවා සිමා වෙලා කියලා. මම හැමදාම කැමතියි අලුත් පරම්පරාව එක්ක වැඩ කරන්න. ඔවුන් හිතන විදිය හරි වෙනස්. හොඳ පුහුණුවක් ලබා ගන්න ඔවුන්ට අවස්ථාවක් තියෙනවා නම් බොහෝ දුරක් යන්න පුළුවන් නව පරපුරක් ඉන්නවා. එහෙම එළියක් පත්තුවෙන දවසක් නම් පේන තෙක් මානයක නැහැ.

හැමදාම දැක්කේ තෝරා බේරා ගත්ත චරිත එක්ක, චරිතයක් බාර ගන්න මුලික දේ මොකක් ද?

පළවෙනිම කාරණය පිටපත. දැන් දුරකතනයෙන් චරිත විස්තර කරලා කරමුද අහන මට්ටමක් නේ තියෙන්නේ. මට නම් එහෙම බැහැ. මොකද අපි පුරුදු වුණු විදියක් තියෙනවනේ. ඒ නිසා මම නම් පිටපත ඉල්ලනවා. සමහර වෙලාවට කොටස් 100ක වගේ වැඩකදී නම් මුළු පිටපතම ලැබෙන්නේ නැහැ. නමුත් පිටපත ලියලා තියෙන විදිය සහ අවසානය මේකයි කියලා කෙටියෙන් හරි ලියලා තියෙන පිටපතක් අපිට ලැබෙනවා. එහෙමත් නැති නිර්මාණවලට මම සහභාගී වෙලාම නැති තරම්. දෙවැනි කාරණය අධ්‍යක්ෂවරයා. මම පෞද්ගලිකව කැමතියි විවිධ අධ්‍යක්ෂවරු සමඟ වැඩ කරන්න. මම ආව කාලය එක්ක දිහා බැලුවම බොහොම අඩුයි විවිධ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න ලැබුණු අවස්ථා. දැන් තරුණ පරම්පරාවේ හොඳ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ අය එක්ක වැඩ කරන්නත් බොහොම කැමතියි.

 

ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?

ඇත්තම කියනවා නම් විවාහයෙන් පස්සේ මම ටිකක් කම්මැළිත් වෙලා. පාසල් ජීවිතෙන් පස්සේ මම කෙළින්ම එන්නේ මේ කලා ක්ෂේත්‍රයට. එදා පටන් විවාහ වෙනකම්ම මම ගත කළේ අතිශය කාර්යබහුල ජිවිතයක්. විවාහයෙන් පස්සේ මම ආස කළේ ගෘහණියකගේ ජීවිතයට. දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා දෙන්නම කාර්යබහුල වෙනවටත් මම අකැමතියි. එහෙම හිතෙන කාලවලදී තමා මම නිර්මාණ වලින් ඈත් වෙලා ඉන්නේ. ඒක මනසටත් හොඳයි. අපි මොන දේ කළත් ඉස්සෙල්ලා අපේ මනස හදාගෙන ඉන්න ඕනේනේ. නැවත වැඩ පටන් ගැනීමත් එක්ක හොඳ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතර චිත්‍රපට හතරක් සහ ටෙලි නිර්මාණ හතරක් පහක් තියෙනවා. මේ කාලයේ ඒ දේවල් වල රිහසල් ඔන්ලයින් තියෙනවා. ඉදිරියේ දී ඒවායේ වැඩ කටයුතු තියෙනවා.

සුජානිට වඩා අදටත් ජනප්‍රිය සතෙන් සතේ කියලා නේද?

සතෙන් සතේ වෙළෙඳ දැන්වීම කියන්නේ මගේ ජිවිතේ විශේෂ සන්දිස්ථානයක්. මට තවත් පුදුම දේ තමා අපි වයසට යද්දී ත් අපිට වඩා වයසින් බාල පසු පරම්පරාව පවා ආන්ටි නේද සතෙන් සතේ ඉන්නේ කියලා අහද්දී. මම ඉතින් පුතා කොහොමද දන්නේ ඇහුවම අම්මා තාත්තා යූ ටියුබ් එකෙන් පෙන්නුවා කියනවා. එහෙම පෙන්වන්න තරම් ඒ වෙළෙඳ දැන්වීම හැමෝගෙම හිත් තුළ තියෙනවා. මට ඒ කාලයේ නම් එහි විශේෂත්වයක් තේරුණේ නැහැ. ඒ කාලයේ කුඩා ළමයි වැඩිය වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියේ නැහැ. මම ළමා නිළියක් විදියටත් හිටිය නිසා ඒකත් මතකයේ රැඳෙන්න එක හේතුවක් වෙන්න ඇති. අදටත් සමාජ මාධ්‍ය තුළ තියෙන ප්‍රතිචාරවලත් මගේ නමට වඩා තියෙන්නේ සතෙන් සතේ කියලා. මගේ පාසලේ ගුරුවරු පවා හිටියා මට සතේ කියලා කතා කරපු. අදටත් ඒ ගුරුවරු මට කියන්නේ සතේ කියලා. ඒක මම දකින්නේ ගෞරවනීය හැඳින්වීමක් විදියට. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සන්නාම තානාපතිය විදියටත් මම වැඩ කරලා තියෙනවා. තව වෙළෙඳ දැන්වීම්වලටත් ආරාධනා බොහොමයක් ලැබුණත් එතන දී මම බාර ගන්නේ පෞද්ගලිකව පාවිච්චි කරන හොඳ නිෂ්පාදන විතරයි. සල්ලි නිසා මම වෙළෙඳ දැන්වීම් වලට පෙනී සිටින්නේ නැහැ.

 

බිමල් අයියා ගැන කතා නොකළොත් අඩුවක් වෙනවා, ඔහු අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ

ඔහුගේ දෙවැනි නිර්මාණය වන රම්‍ය සුරම්‍ය රඟපාන කාලේ අපි යාළු වුණේ. ඒ වෙද්දී රඟපාන්න බැහැ කියලම හිටපු කෙනෙක්. නමුත් ලැබෙන චරිත එක්ක ලොකු කැපවීම් කරලා ඔහු ඔහුගේ ගමන හදා ගත්තා. ඒ සියල්ල දැකපු කෙනෙක් විදියට ඔහු අද ඉන්න තැන ගැන මටත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

අනුෂා රණසිංහ
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top