හැමෝම එක්ක හොඳින් ඉන්න එක මට වාසි­යක් – දමිතා අබේ­රත්න

දමිතා අබේරත්න යනු රංගන ක්ෂේත්‍රයේ විවිධ චරිත නිරූපණ ඔස්සේ සමාජානුයෝජනය වෙමින් අඛණ්ඩව ඉදිරියට පැමිණි ජනප්‍රිය, දක්ෂ, සම්මානනීය රංගන ශිල්පිනියකි. ප්‍රවීණයන් මෙන්ම නව පරපුර සමඟද ඉතා ළෙන්ගතුව සහයෝගයෙන් කටයුතු කරන ඇය කා අතරත් හොඳ හිත දිනූ ශිල්පිනියකි. මේ කතාබහ ඇය සමඟිනි.

 

ප්‍රවීණයන් සහ නවකයන් අතර ඔබ මේ අතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද?

“මම ඉතාම අඩු වයසකදී ක්ෂේත්‍රයට ආව කෙනෙක්. මට මුල ඉඳලම ප්‍රවීණයන්ගේ සහ සමකාලීන පරපුරේ උදවු ලැබුණා. සාමූහිකව සාර්ථකත්වය ළඟා කරගත යුතු කාර්යයක් හැටියට ප්‍රවීණ, නවක භේදයක් කලා නිර්මාණයක තිබෙන්නට බැහැ. එක්කෙනෙක් හරි අසාර්ථක වුණොත් සමස්ත නිර්මාණයම අසාර්ථක වෙනවා. කොහොමටත් මම හැමෝම එක්ක හිනාවෙලා, සහයෝගයෙන්, සතුටින් වැඩ කරන කෙනෙක්. ඒකෙන් මට වාසියක් මිස අවාසියක් වෙලා නැහැ.”

“වලවෙට්ටුවා” සහ “පෝක් ස්ට්‍රීට්” ටෙලිනාට්‍ය චරිත නිසා ඔබ දැන් වඩාත් ජනප්‍රියයි?

” මේ චරිත දෙකටම මම ගොඩක් කැමතියි. පෞද්ගලිකව තමන් විඳපු දුක්, වේදනා, කම්කටොලු බාහිර සමාජයටත් දරුවන්ටත් නොපෙන්වා, සැමියාගෙන් කිසිදු පිළිසරණක් නොමැතිව ජීවන අරගලයක යෙදෙන ගැහැනියකගේ චරිතයක් “වලවේට්ටුවා” නාට්‍යයේ මම නිරූපණය කරන්නෙ. දරුවන් විසින් මහමඟට ඇද දැමුවත් සැමියා සමඟ සතුටින් ජීවිතය ගෙනයන වීදි වෙළෙඳ කාන්තාවක් හැටියට “පෝක් ස්ට්‍රීට්” නිර්මාණයේ මම රඟපානවා. තරුණ, නවක, ප්‍රවීණ හැම කෙනෙක් ම එක්ක සතුටින්, සහයෝගයෙන් මේ නිර්මාණවල වැඩ කරගෙන යනවා. නිදහස් මනසකින් රංගන කටයුතු කරන්න මට මගේ අම්මාත් සැමියාත් විශාල සහයෝගයක් ලබා දෙනවා.”

 

ඔබේ රංගන දිවියේ දැවැන්ත සංධිස්ථාන වූ නිර්මාණ ගැන සිහි කරනවා නම්?

“රංගනය කියන්නේ පුළුල් විෂයයක් කියලා මම ඉගෙන ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි අය්යාගෙන්. ඒ වෙද්දිත් මම නිර්මාණ 16කට රංගනයෙන් දායක වෙලා හිටියා. නමුත් ඔහුගේ ‘දඬුබස්නාමානය’ ටෙලි නාට්‍යෙය් රඟපාද්දි මට දැනුණේ මම හෝඩියේ ඉඳලා ගමන පටන් ගත්තා කියලයි. අංග රචනය, කතා කරන විදිහ, අඬන විදිහ වගේම චරිතය ඇතුළට කිඳා බහින්නේ කොහොමද කියලා මම ඒ වෙනකන් දැනගෙන හිටියේ නැහැ. මම තමයි ඒ නිර්මාණයට සම්බන්ධ වුණු බාලම කෙනා. අනිත් හැමෝම ප්‍රවීණ ශිල්පීන්. ඒ හැමෝගෙන්ම ලැබුණු සහයෝගයට අදටත් මම කෘතවේදීයි. ඒ ආරම්භය තමයි අද මාව මේ දක්වා ඔසවා තැබුවේ.

ඒ වගේම ඉනෝකා සත්‍යාංගනීගේ ‘සුළං කිරිල්ලී’ වගේ අත දිගෑරලා චිත්‍රපට කරන්න රටේ තියෙන තත්ත්වය නිසා අද නිර්මාණකරුවෝ බයයි. එදා ඒ චරිතය මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. ඒ චරිතය වෙනුවෙන් මට ජාත්‍යන්තර සම්මානත් ලැබුණා. මම ආස කරන, මගේ රංගන කුසලතා ඉස්මතු කෙරෙන චරිත බොහෝමයක් මට ලැබිලා තියෙනවා. මේ දවස්වල මම රංගනයෙන් දායක වූ කබඩි, හිතුමතේ ජීවිතේ සහ තට්ටු දෙකේ ඉස්කෝලේ කියන චිත්‍රපට තුන ඔස්ට්‍රේලියාවේ තිරගත කෙරෙනවා. ඒ සඳහා සෑහෙන්න ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.”

 

සමාජ මාධ්‍ය ඔස්සේ දායක වූ රංගනයක් නිසා ඔබට පසුගිය දිනවල දැඩි විවේචන එල්ල වුණා නේද?

“විවේචන ආවත් එයින් මම හදාගෙන තිබුණු නමට හානියක් වුණේ නැහැ. පාට පක්ෂ භේදයකින් තොරව එහිදී හැමෝටම පහර ගැහුවා. ඒ ගැන කිවයුතු විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඉන්දියාවේ නළු නිළියන්ට වගේ ගරුත්වයක්, සැලකිල්ලක් ඒ කාර්යය නිම වනතුරු අඛණ්ඩවම මට ලැබුණා.

 

පවතින වසංගත තත්ත්වය හමුවේ කලාකරුවන්ට යම් සහනයක් ලබා ගැනීම සඳහාත් ඔබ මැදිහත් වුණා?

“කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා කලාකරුවන් ඇතුළු මේ රටේ සමස්ත ජනතාවම විපතට පත්වී සිටින ඛේදනීය කාලයක් තමයි මේ අපි ගෙවමින් ඉන්නේ. කලාකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් කියන්න තියෙන්නේ අපි හැමෝම බෙල්ලටම හිරවෙලයි ඉන්නේ. ණය සහන ඉල්ලගෙන නොගිය තැනක් නෑ. අන්තිමට ණය ලැබුණා. ඒත් ඒක දැන් කපාගනිද්දී බෙල්ල කපනවා වගේ දැනෙනවා. පහුගිය කාලේ වැඩ කරන්න බැරි වුණ නිසා අාදායමක් නෑ. කලාවෙන්ම ජීවත් වෙන පිරිස අන්තිම අමාරු තත්ත්වයකට තමයි වැටුණේ. අද සහනයක් ලැබෙයි හෙට සහනයක් ලැබෙයි කියලා අපි බලාගෙන ඉන්නවා.

ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කරනවා නම්?

“මගේ අයියාගේ, නංගීගේ දරුවන්ට මම නැන්දා, එහෙමත් නැත්නම් ලොකු අම්මා. පුංචි කාලේ වඩාගෙන හිටපු දරුවෝ දැන් මටත් වඩා ලොකුයි.

මං දරුවන්ට ගොඩාක් ආදරෙයි. දැන් ඉතින් ආසයි පුංචි පැටියෙක්ගේ සුරතල් දකින්න. ඒ දේවල් කොහොම වෙයිද කියන්න නම් දන්නේ නෑ. පවතින වසංගතය නිසා ලොකු බයකුත් තියෙනවා. රංගනය පැත්තෙන් කියනවා නම් මට පොඩි ආසාවක් තියෙනවා දෑස් නොපෙනෙන, දෙසවන් නෑසෙන, කතා කළ නොහැකි කෙනෙකුගේ චරිතයක් රඟපාන්න.

 

තුෂාරි කළුබෝවිල
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top