ජීවත් වෙලා ඉන්නකොටම මාව මරපු නිසා දැන් මම දන්නවා මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා…
ඔය කියන ප්‍රවෘත්තිය පළ වූ දා ඉඳන් මට දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීලා නිවනක් නැහැ…
සමාජ මාධ්‍ය යනු දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස හැඳින්වීම වරදක් නොවන්නේ එයින් සිදුවන යහපත මෙන්ම අයහපතින්ද අඩුවක් නොවන නිසාය. විටෙන් විට සමාජ මාධ්‍ය අවභාවිත කිරීම් ගැන ඕනෑ තරම් පුවත් අසන්නට ලැබේ. ඉකුත් සතියේ ද එවැනි අවභාවිත කිරීමකට ලක් වූයේ මෙරට ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. ඔහු අප කවුරුත් දන්නා හඳුනන විජේරත්න වරකාගොඩයන් ය. ඔහු මියගියා යැයි පෝස්ටුවක් මුහුණු පොත තුළ සංසරණය වීමෙන් විජේරත්න වරකාගොඩ කලාකරුවාට ආදරය කරන සුවහසක් රසිකයන් දැඩි කම්පාවට පත් විය.
“ඒ ප්‍රවෘත්තියෙන් මමත් පවුලේ අයත් ගොඩක් කම්පාවට පත්වුණා. අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන එක වැරැදියි. අන්තර්ජාලයේ ඒ වගේ දේවල් පළ වුණාම බලන්නේ සීමිත පිරිසක් නෙවෙයි. ලෝකයටම යනවා. ඔය කියන ප්‍රවෘත්තිය පළ වුණ දා ඉඳන් මට දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීලා නිවනක් තිබුණේ නැහැ.”ආ වරක් අයියා මළාද?”කියලා ගොඩක් අය ඇහුවා. එහෙම අහද්දී මට ලොකු හිනාවකුත් යනවා. මැරුණට පස්සේ කවුරු කොහොම සලකනවද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. හැබැයි ජීවත් වෙලා ඉන්නකොටම මාව මරලා නිසා මම දන්නවා මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා”
විජේරත්න වරකාගොඩයන් එසේ පැවසුවේ සුපුරුදු නිරහංකාර සිනහවෙනි. පසුගිය 21 වැනි දා හෙතෙම සිය 87 වැනි උන්දිනය සැමරුවේය. නිදුක් නිරෝගී සුවයෙන් යුතුව සක්‍රීයව රංගන කටයුතුවල නිරත වී සිටින විජේරත්න වරකාගොඩයන් මෙරට කලාකාමී රසිකයන් අතර වඩාත් ප්‍රසිද්ධ වූයේ ‘මනමේ‘ වේදිකා නාට්‍යයේ වැදි රජා ලෙසය. නැතහොත් ‘මුවන්පැලැස්සේ‘ කෝරලේ මහත්තයා ලෙසය. සමකාලීන කලාකරුවන් අතර ‘වරක්ස්’ යන ළෙන්ගතු නාමයෙන් ප්‍රකට වී සිටින විජේරත්නයන් 1960 වසරේදී ගුවන්විදුලි සේවයේ පැවති සරල ගී පරීක්ෂණයට පෙනී සිටියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙසටය. කෝරලේ මහත්තයාගේ චරිතයෙන් රටම හඳුනාගත් විජේරත්න වරකාගොඩයන් වේදිකාව තුළද අංක එකේ රංගන ශිල්පියකු විය. වේදිකාව පමණක් නොව පුංචි තිරය සහ රිදී තිරයද වරකාගොඩයන් විසින් සිය ආකර්ෂණයට නතුකර ගත්තා පමණක් නොව කිහිපවරක් සම්මාන කිහිපයකින්ද පිදුම් ලැබුවේය. ඒ අනුව ඔහු ජනාධිපති සම්මාන, සරසවි සම්මාන සහ OICC සම්මානද දිනාගනු ලැබිණ. මේ, ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩයන්ගේ රංගන දිවි සැරියෙන් බිඳක් පමණි.
විජේරත්න වරකාගොඩයන්ට සිය ආදරිය චිත්‍රා වරකාගොඩ හමුවන්නේද වේදිකාවේදිය. ඔහු ඒ මතක අවදි කළේ සිනාසෙමිනි.
“අපි හමුවුණේ 1963දී හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යය කරද්දි. එයා කළේ දිසාලගේ චරිතය. මම තමයි පොතේ ගුරා. අපි අවුරුදු හතක් විතර ආදරේ කරලා 1970දි විවාහ වුණා. අපි දෙන්නා වගේම අපේ දරු දෙන්නා වින්ද්‍යා සහ ජනනාත් ජීවිතෙන් වැඩි කාලයක් කලාව වෙනුවෙන්මයි ගත කරලා තියෙන්නේ. ඒ ගැන සතුටුයි”
එදා මෙදාතුර කලා ක්ෂේත්‍රයේ වෙනස්කම් පිළිබඳ ඔහු කීවේ මෙවැන්නකි. “අපි කලාවට අවතීර්ණ වූ කාලයට වඩා දැන් ක්ෂේත්‍රය ගොඩක් දියුණුයි. තාක්ෂණික උපකරණ රැසක් භාවිතයට ඇවිත්. එය දියුණුවේ සංකේතයක්. නමුත් සමහර වෙලාවට අපි දකිනවා නළු නිළියන්ට වඩා කැමරාවයි රඟපාන්නේ. අද තාක්ෂණයට බොහෝ දේවල් කළ හැකියි. එයත් ක්ෂේත්‍රයේ දියුණුවට ලොකු පිටිවහලක්. ඒ වගේම අලුත් පරපුරේ දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් සහ අධ්‍යක්ෂවරු රාශියක් සිටිනවා. ඒ තුළ අපේ සිනමාවේ හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමක් මම දකින්නේ නැහැ.”
සිය විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් වේදිකාව, සිනමාව, පුංචි තිරය ජයගත් ඔහු මේ දක්වා නිරූපණය කළ චරිත අතර වැඩි කැමැත්ත හිමි චරිතය කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට විජේරත්න වරකාගොඩයන් පිළිතුරු දුන්නේ මෙසේය.
“එහෙම එක චරිතයක් නම් කරන්න බැහැ. මම චරිත තෝරබේරගෙන රඟපාන්නෙ නැහැ. දෙන ඕනම චරිතයක් පුළුවන් උපරිමයෙන් කරනවා. ” ඔහු පවසන්නේ උද්යෝගී හඬිනි.
පවතින වසංගත තත්ත්වය හමුවේද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ටෙලිනාට්‍ය රූගත කිරීම් සඳහා සහභාගි වන බවද මේ ජ්‍යෙෂ්ඨ රංගවේදියා පැවසීය. අවසාන වශයෙන් ජීවන ගමනේ සැතපුම් 87ක් පසුකර පැමිණි ගමන් මඟ ආවර්ජණය කිරීමේදී සිතට දැනෙන්නේ කුමනාකාර හැඟීමක් දැයි යන පැනය ඔහු හමුවේ තැබුවෙමු.
” ජීවිතය ගැන මට කිසිම කනගාටුවක් නැහැ. මට ඕන හැමදේම ලැබුණා. ඒ නිසාම ජීවිතය බොහොම සුන්දර විදිහට ගෙවුණා වගේම ඉදිරියටත් ගෙවෙන බව විශ්වාසයි. ඉඳහිට ෆේස්බුක් එකෙන් මාව මරලා දැම්මට ජීවිතේ තාම සුන්දරයි. ඒ නිසාම ජීවිතය බොහෝම සතුටින් සැහැල්ලුවෙන් ගතකරනවා. මේ වෙලාවේ මගේ ආදරණීය රසිකයන්ට කියන්න තියෙන්නේ මෙච්චර කාලයක් මගේ නිර්මාණවලට ආදරය කළා වගේ ඉදිරි කාලයේදිත් මගේ නිර්මාණ රස විඳින්න, සතුටු වෙන්න කියලයි”
ඔහු කීවේ අව්‍යාජ හදවතිනි. එවැනි සොඳුරු කලාකාමී හදවත් පවතින තාක් කල් ජීවිත රඟහල හෝ කලා කෙත අඳුරු නොවනු ඇත.
සුරේඛා නිල්මිණි ඉලංගකෝන්
ඡායාරූප…තිලක් පෙරේරා
සිළුමිණ