සර් ජෝන්ගේ ලියුමට රේඩියෝ සිලෝන් ගිය ෆ්‍රෙඩී සිල්වා

මොරටුව කලාකරුවන්, විශේෂයෙන් ගායකයන්, සංගීතඥයන් බිහිකළ පුරෝගාමී නගරය බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ අතර පාසල් යන කාලයේ සිට පික්චර් පිස්සන් දෙදෙනෙක් ද මොරටුවේ වූහ. දෙදෙනාම ගායනයට, රඟපෑමට ගජ හපනුන්ය. සිනමාශාලාවලට එන හැම දෙමළ, හින්දි චිත්‍රපට නැරඹූ මේ දෙදෙනාගේම ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ එවකට විකට රජා වූ එඩී ජයමාන්නය. ඉංග්‍රීසි නළුවන් වූයේ ජෙරී ලූවිස්, බොබ් හෝප්, පීටර් සෙලර්ස්, නෝමන් විස්ඩම් ආදීන්ය.

මචං මම කවද හරි එඩී ජයමාන්න වගේ සින්දු කියලා ඇක්ට් කරනවා.

මම නං කැමති රඟපාලා, නළුවෙක් වෙලා, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න.

ගායක නළුවකු වීමට හිතුවේ මොරිස්ය.

නළුවකු වී ඩිරෙක්ටර් කෙනකු වීමට සිතුවේ රෝයිය. දෙදෙනාම තම ආශාවන් ඉටුකර ගත්හ.

ඒ කාලයේ අපට චිත්‍රපට බලන්න සල්ලි තිබුණේ නැහැ. මමයි රෝයි මේකට හොඳ විසඳුමක් සෙව්වා. ඒ කාලේ මට පුදුම ගායක් තිබුණේ. ඕනෑ කෙනෙක් අනුකරණය කරන්න පුළුවන්. අපි කොරවක් පැටව් ටිකක් අල්ලාගෙන කාඩ්බෝඩ් පෙට්ටියක දාගෙන කුකුළු පැටව් කිය කියා ගෙවල් ගානේ ගිහින් උන් විකුණනවා. අපි එක පාරක යන්නේ එකපාරයි. අද මොරටුවැල්ලේ නම් හෙට ලක්ෂපතියේ. අනිද්දා කොරළවැල්ලේ. මේ විදියට තක්කඩි වැඩ කරලා සල්ලි අරන් මමයි රෝයි හැන්ඳෑවට පික්චර් බලනවා.* මොරිස් මට කියා ඇත.

හල්පෙ ලියනගේ අතුකෝරාළ මොරිස් ජෝසෆ් ද සිල්වා නොහොත් පසුව ෆ්‍රෙඩී සිල්වා නමින් ප්‍රකටව ජනප්‍රිය ගායකයා මෙන්ම විකට නළුවාගේ කලා ජීවිතය පටන් ගත්තේ ඒ ආකාරයෙනි. ෆ්‍රෙඩීගේ ප්‍රාණප්‍රිය නළුවා වූයේ ඔහු සිතූ ආකාරයටම ජනප්‍රිය චිත්‍රපට නළුවකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ රෝයි ඇලෝෂියස් ෆීලික්ස් ද සිල්වා නොහොත් රෝයි ද සිල්වාය.

ෆ්‍රෙඩී සිල්වා හා රෝයි ද සිල්වාට මොරටුවේ ගීත ගයන්න හැකියාව තිබූ තවත් මිත්‍රයෙක් එක්විය. ඒ පසුකලෙක ජනප්‍රිය ගායකයෙක් වූ ක්‍රිස්ටෝපර් පෝල්ය. මේ කාලයේ මොරටු නගර සභාවේ බොහෝ දෙනකුගේ විවාහ මංගල උත්සව පැවැත්වීය. කිසිම හැඳින්වීමක් නැතිව තමා රෝයි හා ක්‍රිස්ටෝපර් මංගල්‍ය උත්සවවලට සහභාගි වී හොඳට කා බී හෙමින් සීරුවේ මාරුවී එන හැටි ෆ්‍රෙඩී රස කර කර අපට කියා ඇත.

මේ මඟුල් උත්සවවල මනමාලිගේ කට්ටිය හිතන්නේ අපි මනමාලයාගේ හිතවත්තු කියලා. මනමාලයාගේ කට්ටිය හිතන්නේ අපි මනමාලිගේ පැත්තේ කට්ටියක් කියලා. බැරි වෙලාවත් අහුවුණා නම් තාමත් ගුටි කනවා.

පසුව ෆ්‍රෙඩී මොරටුවේ ප්‍රභූවරුන්ගේ ගෙවල්වල ගීත ගයන විට රෝයි ගිටාර් වාදනය කරමින් ගායනයට සහාය වී ඇත.

1938 පෙබරවාරි 6 වැනිදා මොරටුමුල්ලේ උපන් ෆ්‍රෙඩී ඉගෙනුම ලබා ඇත්තේ මොරටුමුල්ලේ මෙතෝදිස්ත විද්‍යාලයෙන් හා මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලවලිනි. ඔහු පවුලේ එකම දරුවා වූ අතර පියා වූයේ විල්ෆ්‍රඩ් ඒඩෝහස් රණබාහු ද සිල්වාය. මව වූයේ ලැටී ශ්‍රියා මියුරිසෙල් ප්‍රනාන්දුය. ෆ්‍රෙඩීගේ ඥාතිවරයෙක් වූයේ (පුංචිඅම්මාගේ පුතා) එකල මොරටුවේ ගායකයෙක් හා වාදකයෙක් ලෙස ප්‍රකටව සිටි සී.එල්. ෆොන්සේකාය. ඔහු ෆ්‍රෙඩීගේ රොක් ඇන්ඩ් රෝල් නැටුම් හා ගායන විලාසය දැන සිටියේය.

ෆ්‍රෙඩී අද සර් ජෝන්ගේ කඳවලවත්තේ පාටියක් තියෙනවා. මමත් යනවා සින්දු කියන්න. උඹත් වරෙන්. උඹේ අර රොක් ඇන්ඩ් රෝල් සින්දුව කියමු. සී.එල්. ෆ්‍රෙඩීට යෝජනා කළේය.

මට තව එකක් කියන්න කිව්වොත් මොකද? සර් ජෝන් ඔය ජොලි සින්දුවලට ආසයි කියලා මම අහල තියෙනවා. ෆ්‍රෙඩී කීය.

ඔව්. උඹගේ සින්දු අල්ලලා ගියොත් සල්ලිත් ලැබෙයි. ඒ විතරක්ද? විස්කි, බ්‍රුන්ඩි, ජින්, නාන්න තියේවි.

මම ඇලාගෙන් ඌ කියන සින්දුව බාර් බාර් බාර් එකට ගිහිල්ලා කියන සින්දු කියන්න ඉල්ලගන්නම්. සල්ලි ලැබුණොත් අපි රුපියල් 5ක්ම ඌට දෙමු. ෆ්‍රෙඩී කීවේය.

අපි ඌට කියලා ඒ සින්දුව ඉල්ලාගමු. ඌ හොඳ එකා. සී.එල්. කීය.

ෆ්‍රෙඩී ඇලා කිව්වේ මොරටුවේ ගායකයකු ලෙස නමක් දිනා සිටි ඇලන්සන් මෙන්ඩිස්ටය. ඔහු චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ප්‍රකටව සිටියේ එකල තිරගත වූ හදිසි විනිශ්චය චිත්‍රපටයේ ඔහු රුක්මණී දේවි සමඟ ගැයූ %ප්‍රේම රජා මාගේ^ ගීතය අතිශයින්ම ජනප්‍රිය වී තිබුණි. ෆ්‍රෙඩීගේ ඉල්ලීමට ඔහු තමාගේ ජනප්‍රිය ගීතය වූ %බාර් බාර් බාර්^ ගීතය ගැයීමට අවසර දුන්නේ නිර්ලෝභීවය.

සර් ජෝන් අගමැතිතුමාගේ කඳවලවත්තේ ගීත ගැයීම ෆ්‍රෙඩීගේ සිතේ තිබූ සිහිනයකි. මේ 1955 වසරය. එදා සර් ජෝන්ගේ උපන්දින උත්සවයට වැඩි හරියක් පැමිණියේ කාන්තාවන්ය. ෆ්‍රෙඩීගේ වාරය පැමිණියේය.

බාර් බාර් බාර් බාර් එකෙන් බීලා

සූර් සුර් සූර් වෙන්න ගහලා

ටැප් ටැප් ටැප් වෙන්න වැදිලා

මේ බලන්න මට හොඳටම සූර්

ෆ්‍රෙඩීගේ මේ ගීතය ගයන විට සාදයට පැමිණ සිටි බර්ගර් කාන්තාවක් %රොක් ඇන්ඩ් රෝල්^ නැටුමක් සමඟ ඔහුට එකතු විය.

ෆ්‍රෙඩීගේ නැටුමට සර් ජෝන්ට හිනාය.

සර් ජෝන් තම පෞද්ගලික ලේකම් ආනන්ද තිස්ස ද අල්විස් කැඳවීය.

ආනන්ද කවුද මේ කොල්ලා. මුගේ කකුල් දෙකට ස්ප්‍රිං හයි කරලද? මූ නං යකෙක්.

සර් මිනිහා මොරටුවේ කොල්ලෙක්.

ආනන්ද තිස්ස ෆ්‍රෙඩීව සර් ජෝන් අසලට ගෙන ගියේය.

උඹ දස්සයෙක්. මම ලියුමක් දෙන්නම්. හෙට උදේ උඹ රේඩියෝ සිලෝන් එකට ගිහින් කොමර්ෂල් සර්විස් එකේ ලොක්කව හම්බවෙයං.

හොඳයි සර්

ආනන්ද තිස්ස සකස්කොට ගෙනා ලියුමකට සර් ජෝන් අත්සන තැබීය.

ෆ්‍රෙඩී ඒ ලියුමත් අරගෙන රේඩියෝ සිලෝන් එකට ගියේ වෙළෙඳ අංශය භාර ලිවී විජේමාන්න හමුවීමටය. විජේමාන්න වෙළෙඳ සේවා සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ. සෝමපාල කැඳවීය. ෆ්‍රෙඩීව සෝමපාලට යොමු කළේය.
තමුසෙ කොමඩි ගීත දෙකක් ලියාගෙන එනවා.

ෆ්‍රෙඩී මිටින්හල කුරුල්ලකු මෙන් මරදානේ ෂාලිමාර් හෝටලයේ පිහිටි සින්දු කාමරයට දිව ගියේය. වාසනාවට එහි ගීත ලියන සිරිල් ඒ. සීලවිමල සිටියේය.

සිරිල් අයියා මට රේඩියෝ සිලෝන් එකේ සින්දුවක් කියන්න චාන්ස් එකක් ලැබිලා තියෙනවා. මට කොමික් සින්දුවක් ලියලා දෙන්න.

සිරිල් විසින් ලියූ ගීතය අරගෙන ෆ්‍රෙඩී ලාල් හීනටිගල සොයා ගියේ තනුවක් හදාගන්නටය. ඔහු ගැයූ මේ ගීතය එදා ගුවන්විදුලියේ වෙළෙඳ අංශයෙන් ජනප්‍රිය විය. අසන්නෝ මේ ගීතය ඉල්ලා සිය ගණනින් තැපැල්පත් එවූහ.

මමයි මොට්ටපාල දොට්ට දැම්මා පාසලෙන්

හෝ.. හෝ.. පාසලෙන්

අපේ ටීචර් මට මේ නම දැම්ම

වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා

එදා පටන් මමත් මගේ කොණ්ඩය වැව්වා

මාගේ ගජමිතුරා හෝ… රාළහාමි මම පැරදෙව්වා

සව්දොදලුයි මිරිස් මාළු දවසක් කෑවා

දිනක් ෆ්‍රෙඩීට ගුවන්විදුලියේ ද්‍රවිඩ අංශයෙන් ප්‍රචාරය වූ එක් ද්‍රවිඩ ගීතයකට හිත ගියේය. මේකට සිංහල වචන ටිකක් දාගත්තොත් කියලා හිතාගෙන ඔහු සිරිල් ඒ. සීලවිමල සොයා යළිත් සින්දු කාමරයට ගියේය. ෆ්‍රෙඩී ගීතය ගයා සිරිල්ට පෙන්නූ විට සිරිල් වචන ලියා දුන්නේය.

පරෙවියා වගේ රාජ මාලිගේ

ජීවිතේ මගේ මං ගෙවනවා ඔහේ

ඉපදුණාට පස්සෙ තාම මං අඬලා නෑ

ඇඬුවත් මට කිසිමදාක කඳුළු එන්නෙ නෑ

වර්තමානයේ වෙනත් ගායන ශිල්පියෙක් මෙම ගීතයේ මුල්පද වෙනස් කරමින් රාජ මාලිගේ පරෙවියා වගේ යනුවෙන් මේ ගීතය ගැයූ බව ෆ්‍රෙඩී ගැන අලුත් කලාවක් සොයාගත්ත මං කෘතිය ලියූ ලලිත් ප්‍රියංකර සඳහන් කර තිබුණි.

ෆ්‍රෙඩී මියයාමට පෙර මෙම ලියුම්කරු හා වරක් කියා සිටියේ 1957 වසරේ තමා මුලින්ම රඟපෑවේ ඩී.බී. නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයක බවය.

මම ඩී.බී. නිහාල්සිංහ මහත්තයගේ මිලිමීටර් ප්‍රමාණයෙන් නිපදවූ තරුණ විය කෙටි චිත්‍රපටයේ මුලින්ම රඟපෑවේ. එතකොට නිහාල්සිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලබන ශිෂ්‍යයෙක්. පදිංචිවෙලා හිටියේ මොරටුවේ ඉඩමේ ලේඩි එව්ලින් ද සොයිසා මාවතේ හැරිලා හමුවන දකුණු පැත්තේ තියෙන ලොකු නිවසේ. ඔහුගේ පියා ලංකාදීප පත්තරේ ලොක්කා ඩී.බී. ධනපාල මහත්තයා. අපි (ඇලන්සන් මෙන්ඩිස්, සුනන්ද මහේන්ද්‍ර ද මැල් (පසුව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර) රංජිත් මෙන්ඩිස් ඒ නිවෙසට නිතර යනවා නිහාල්සිංහ හමුවෙන්න. මාව නිහාල්සිංහ %තරුණ විය^ චිත්‍රපටයේ රඟපාන්න තෝරාගත්තා.

ෆ්‍රෙඩී සිල්වා ප්‍රසංග වේදිකාවට නැතිව බැරි ගායකයකු වූයේ අහසට නැගි රොකට් එකක් ලෙසටය. කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ හා මහනුවර ලේක් ක්ලබ් එකේ හැම සති අන්තයකම ඔහු ගී ගැයීය. ගල්කිස්සේ මුහුදු වෙරළේ රයිගමයාණනි ගම්පොළයාණනි^ (ජයතිස්ස හෙට්ටිආරච්චි සමඟ), %ගී කිව්වා ඇති දැන් – නළුකමට බහිනවා මං (මොරිස් දහනායක සමඟ) %මමයි හනුමා^ මේ ගීත අතර ප්‍රකට විය. ෆ්‍රෙඩී ගැයූ මුල් යුගයේ වැඩිම ගීත ගණනක් රචනා කර ඇත්තේ සිරිල් ඒ. සීලවිමලය. පැට්‍රික් දෙණිපිටිය සංගීතවත් කළ ෆ්‍රෙඩී ගයන මේ ගීතයේ රචනය ද සීලවිමලගෙනි.

උපන් දිනය මගෙ ළඟ හින්දා
මාවත් ඇදගෙන අපෙ උන්දා
සාරි ගන්නලු අනේ මන්දා
සාප්පු ගානේ ගියා

ෆ්‍රෙඩී ජනප්‍රිය රුල්ලේ චිත්‍රපටවල ගී ගැයීමට දොර විවෘත කර දුන්නේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාය. ඒ %සුහද සොහොයුරෝ^ චිත්‍රපටයෙනි. ඒ ගීතය ඩී. ගැයුවේ පුෂ්පරාණි ආරියරත්න සමඟය. සංගීතය රොක්සාමිගෙනි. ගීත රචනය කරුණාරත්න අබේසේකරගෙනි.

දියරුල්ල වෙරළ හැපි හැපී මේ මොකද
හාදු දෙන්නෙ
මේ කාලේ නැති ආලේ මට ඕනෑම නෑනේ

මේ ගීතය චිත්‍රපටයේ ගැයුවේ එල්.එම්. පෙරේරා සහ විජිත මල්ලිකාය.

ෆ්‍රෙඩී මුල් කාලයේ ගී ගයමින් වැඩිපුර රඟපෑවේ ජෝ දේව් ආනන්ද්ගේ චිත්‍රපටවලිනි. ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ ගලගෙදර එම්.එම්. හක් හා ටී.එෆ්. ලතීෆ් සංගීතවත් කළ මේ ගීතය එන්නේ සුජීවා චිත්‍රපටයේය.
මේ කාලයේ ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ කැපිල්ලකට ලක්වෙලා හිටියා. ගුවන්විදුලියේ සභාපතිට පෙත්සම් ආවා ප්‍රේමකීර්තිට විරුද්ධව. ප්‍රේම් මේ ගීතය ලිව්වේ ඔය කාලේ.* ෆ්‍රෙඩී වරක් කියා ඇත. ඒ මේ ගීතයයි.

අලුත් කලාවක් සොයාගත්තා මං
දියුණු වෙන්න ඕනෑ නම්
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බං පෙත්සම්

කෙනෙක් දියුණුවේ ඉහළට යනවා
බලා හිඳින්නට බැරි නම්
කරවටටම දාපියව් තොප්පියක්
ලෝකේ චාරේ ඒකයි දැන්

ෆ්‍රෙඩී සිල්වා විවාහ වූයේ 1961 අප්‍රේල් 03 වැනිදා කමලා ස්වර්ණලතා පෙරේරා සමඟ බවත් ලලිත් ප්‍රියංකරගේ කෘතියේ එයි. මහරගම විද්‍යාකර විද්‍යාලයේ ඉගෙනගත් කමලා පාසල් නැටුම් කණ්ඩායමේ සිටියාය. නැටුම් ගුරුතුමිය විසින් ජාඇළ සංවිධානය කර තිබූ නැටුම් සංදර්ශනයට සහභාගි වූ ෆ්‍රෙඩී තම මිතුරු බැසිල් ද සමඟ එය නැරඹීමට පැමිණ ඇත. සංදර්ශනය අවසානයේ ඇය පිළිබඳ සිතක් ඇති ෆ්‍රෙඩී කමලා හඳුනාගෙන කතාබහ කර ඇත. ඒ කතාබහ කෙළවර වී ඇත්තේ විවාහයකිනි.
ෆ්‍රෙඩී සහ කමලාට දරුවන් දෙදෙනෙකි. ජනේෂ් සිල්වා තම තාත්තාත් සමඟ චිත්‍රපට කිහිපයක රඟපෑවේය. දියණිය චාන්දනී සිල්වා පිය උරුමයෙන් ලද ඔහුගේම හඬින් ගීත ගැයීමට දක්ෂය.

තාත්තා සිනමාවේ විහිළු කළාට ගෙදරදී සටන් නළුවෙක් වගේ. අයුක්තියට සටන් කරනවා. අපි කලාවට එන්න හදනකොට කිව්වේ රඟපෑම වඩා හොඳට ඉගෙනගෙන හොඳ රුකියාවක් කරපං කියලා. තාත්තා විඳපු දුක අපිට දෙන්න කැමැති වුණේ නැහැ.* වරක් ෆ්‍රෙඩී පුතු ජනේෂ්ට අවවාදයක් දී ඇත. අද ජනේෂ් ජීවතුන් අතර නැත.

පසු කලෙක චිත්‍රපට ගණනක ගීත ගයමින් විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග, රෝයි ද සිල්වා ඇතුළු නළුවන් රුසක් සමඟ විකට චරිත රඟපෑ ෆ්‍රෙඩී ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑ නළුවා ලෙස ද වාර්තාවක් පිහිටුවා ඇත.
ෆ්‍රෙඩී, ප්‍රේමකීර්ති හා වික්ටර් රත්නායක සුසංයෝගයෙන් ජනප්‍රිය උපහාස ගීත සාහිත්‍යයක් ගොඩනැගී ඇත. මේ ඉන් කිහිපයකි.

එනකොට එනවා හිනා වෙවී
යනකොට යනවා කතා නොවී
ඇති ඈයෝ නැති ඈයෝ කාටත් ඇති නෑයෝ
කවුද මැව්වේ මේ නෑදෑයෝ

ගමන බිමන හරි කඩිසර
ඔසවාගෙන යයි බැරි බර
අවිහිංසක කරුණා බර
කළු කූඹියා – කඩි කූඹියා

හඳ මාමා උඩින් ඇතේ
අපෙ මාමා බිමින් යතේ

මන්නාරම් පිටිවැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩේ කඩං හඬට අඬන්
සින්දු කියන්නෙ කුණ්ඩුමනී

පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන නටතෙයි
පාන්කිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයතෙයි

මිණි ගෙජ්ජි හඬන තාලෙට අත් උස්සි කරවනා
රූකඩ නටවනවා දැක්කද තනම් තම් දෙනා
ෆ්‍රෙඩී චිත්‍රපට නාමාවලිය මෙහි ලියුවොත් ඒ සඳහා පිටු පහක් හයක්ම වෙන්කිරීමට සිදුවෙයි. ඒ අතර %මාමේ මේ බකමූණ^, %පරණ කෝට්^, %පණ පලයන් ලබන සුමානේ, අහසට බයේද පොළොවට බයේද, ගිගිරි ජගිරි හඬවනා, ජැක් ඇන් ජිල් දවසක්, පාට සරුංගල් වගේ ඉන් කිහිපයකි.

ෆ්‍රෙඩීට තම නමට නොතිබූ ෆ්‍රෙඩී යන නම තබා ඇත්තේ ඔහු දෙමාපියන්ගේ හිතවතියක් වූ ජෙනිෆර් බෝමන් නම් බර්ගර් කාන්තාවක් විසිනි. ඇය සුරතල් වියේ සිටි මොරිස්ට ෆ්‍රෙඩී බෝයි^ (Freddie Boy) නමින් ඇමතුවාය. ඒ නම ගෙදරටත් කලා ලෝකයේත් රෙජිස්ටර් විය. මේ සුරතල් නම මොරිස්ට ජනප්‍රිය වීමට ඉනිමඟක් විය.

ෆ්‍රෙඩී මළගෙවල්වලට ගියේ මධ්‍යම රාත්‍රියේය.

මම මළගෙවල්වල ගියාම මිනිස්සු හිනාවෙනවා. මේක මළ කෝලමක්නෙ. මිනිස්සු මළගෙවල්වල හිනාවෙනවද? මේ නිසා මම මළගෙවල්වල යන්නෙ මධ්‍යම රාත්‍රියට ෆ්‍රෙඩී අපට කීවේය

ෆ්‍රෙඩී 2001 ඔක්තෝබර් 29 දින මියගිය දා ද ඔහුගේ රසිකයන් තුළ තිබුණේ ෆ්‍රෙඩී බොරුවට මැරී ඇති බව වැනි හැඟීමකි. ඒ නිසා ඒ හැම දෙනාගේම මුවෙහි තිබූ සිනා රුල්ල සඟවාගෙන ඇත්තේ ආයාසයෙනි.

දේශය පුවත් පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top