පෙරපාසල් වියේ පටන් සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය මට හුරුපුරුදු තැනක්…. .

අද රංගවේදිනියක්
කතාබහ- – මාදනී මල්වත්තගේ

* වේදිකාවට හිත ගිය හැටි

මගේ ගම නුවර. තාත්තා රැුකියාව කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඔහු කලාවට හරි කැමති කෙනෙක්. ඉතිං පෙර පාසල් කාලෙ ඉඳන්ම සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය මට හොඳින් හුරුපුරුදු තැනක් වුණා. මොකද මගේ තාත්තා වසරකට වරක් එහි පැවැත්වෙන නාට්‍ය උළෙලට අපිව එක්කගෙන යනව. එහිදී දකින වේදිකා නාට්‍යවලට මගේ හිත ඇදිලා ගියේ මමවත් නොහිතුව විදිහට. එතන තමයි මගේ ගමනේ ආරම්භය.

* ගුරුහරුකම්

විශේෂයෙන්ම ජයලත් මනෝරත්නයන් මතක් කරන්න ඕන. එතුමාගෙන් ලැබුණ ගුරුහරුකම් මගේ දියුණුවට ලොකු පිටිවහලක් වුණා. තවත් බොහෝ ශිල්පීන් අතර මාලි ජයවීර අක්කාගේ සහෝදර බැඳීම බොහොම ආදරෙන් සිහිපත් කරන්න ඕන.

* පවුලේ අසිරිය

තාත්තාට ඩොල්කි, තබ්ලා හොඳට වාදනය කරන්න පුළුවන්. කලාවට තිබුණ ඒ බැඳීමත් එක්ක අපේ පවුලේ හැමෝම හරි එකමුතුවෙන් විනෝදයෙන් තමයි ලැබෙන හැම විවේකයකදීම කටයුතු කළේ. හවසට පැදුරක් එලන්න, සංගීත සාජ්ජයක් දාන්න මගේ අම්මා, අක්කා, මල්ලි වගේම තාත්තාගේ පවුලේ සියලූම දෙනාත් එකතු වෙනව.

* වැඩිදුර ඉගෙනීම
preksha2වර්තමානයේ රංගන ශිල්පිණියක් විදිහට ඉදිරියට ආවට මුල් කාලයේදී සංගීතයට තමයි වැඩි කැමැත්තක් දැක්වූවේ. මහනුවර එම්. ජේ. වී. කලා ආයතනය මුල්කරගෙන ආනන්ද පෙරේරා සහ අශෝක පෙරේරා යන මහත්වරුන්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. උසස්පෙළින් පස්සෙ

රංගනය පිළිබඳව මහරගම තරුණ සේවා සභාවේ අවුරුද්දක ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. එතනදී කේ. බී. හේරත්, ජයලත් මනෝරත්න, එච්. ඒ. පෙරේරා, ඩග්ලස් සිරිවර්ධන වගේ දැවැන්ත චරිත මට මුණගැහෙනව.

* වේදිකාවට ගොඩවෙයි

2000 වර්ෂයේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගෙ ‘කනේරු මල්’ නාට්‍යයේ රංගනයක් සමගින් පසුබිම් ගායනයක් ඉදිරිපත් කරමින් මුල්වරට ප‍්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙනව. අනතුරුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මනමේ, සිහබාහු, දයානන්ද ගුණවර්ධනගෙ මධුර ජවනිකා, බක්මහ අකුණු, ආර්. ආර්. සමරකෝන්ගෙ කැලණි පාලම, පුණ්‍යසේනගෙ දික්තල කාලගෝල, කේ. බී. හේරත්ගෙ, ජයලත් මනෝරත්නගෙ නාට්‍ය රැුසකම වගේම තරුණ නාට්‍යකරුවන් කිහිපදෙනකුගෙ නාට්‍ය වලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

* අගැයීමක්

මේ වසරට මම නාට්‍ය ක්‍ෂේත‍්‍රයට ඇවිත් වසර 20ක් සපිරෙනව. ඒ කාලය ඇතුළත වේදිකා නාට්‍ය 75කට විතර මගේ රංගන දායකත්වය ලබාදීල තියෙනවා. මුලින්ම සම්මාන උළෙලකදී හොඳම නිළිය සහ සහාය නිළිය යන සම්මානවලට මාව නිර්දේශ වෙනව. නමුත් 2007 වසරෙදි සුසිල් ගුණරත්නගෙ ‘දෙනුවර දෙන්නෙක්’ වේදිකා නාට්‍යයට හොඳම නිළියට හිමි සම්මානය මට ලැබෙනව.

* පරිනත බව සහ සාමූහික බව

වේදිකාවෙන් බිහිවුණ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් පරිනත අයෙක් විදිහට මම හිතනව. මොකද ඔවුන් නිතරම වැඩකරන්නෙ අත්දැකීම් එක්ක. මාස ගණනාවක පුහුණුවක් එක්ක තමයි පේ‍්‍රක්‍ෂකයන් ඉදිරියට එන්නෙ. ඒ වගේම ශිල්පීන් අතර බැඳීම සහ සාමූහික බව ඉතාම ඉහළයි. නාට්‍යයක් පටන්ගත්තාම මාසයද දෙකද අවුරුද්දක් ද කියල නෑ. අවුරුදු ගණනාවක් වුණත් ඔවුන් එකටමයි ඒ ගමන යන්නෙ. නමුත් මේ ප‍්‍රභල සම්බන්ධතාව ටෙලියකදි චිත‍්‍රපටයකදි දකින්න ලැබෙන්නේ නෑ.

* සැබෑ දක්‍ෂතාව

මම දකින විදිහට රංගන ශිල්පිණියකට සීමා මායිම් නෑ. චරිතයකට ප‍්‍රවිෂ්ඨ වීම සහ පේ‍්‍රක්‍ෂකයාට ගෙනහැර දක්වන එකයි සැබෑ දක්‍ෂතාව. රංගනයේදී මට මම නොවී රඟපාන්න පුළුවන් චරිත තමයි ලැබුණෙ. ඒ නිසා බොහොම කැමැත්තෙන් මම ඒ චරිත වැළඳ ගත්තා.

* මේවා ගැනත් බලනවා

වර්තමානය වෙනකොට අතීතයේ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. ඒ නිසා නාට්‍යයක් භාරගන්නකොට අද අපිට කරුණු කාරණා කිහිපයක් ගැන හරි සළකා බලන්න වෙනවා. ඒවායින් මූලික වෙන්නෙ ප‍්‍රමිතිය, ප‍්‍රතිපත්ති, චරිත දිගහැරීම, පිටපත, අනෙක් ශිල්පීන් සහ මුදල.

* එදා සහ අද

නාට්‍යකරුවන් විදිහට හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ආර්. ආර්. සමරකෝන් යන අයගෙ නිර්මාණයන් එදා පේ‍්‍රක්‍ෂකයන් පුදුම විදිහට වැළඳ ගත්තා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගත්තත් අද රසවින්දනය අතින් ඔවුන් ඉන්නෙ පහළ තැනක. සිරිත් විරිත් ගතිපැවතුම් හැම දෙයක්ම වෙනස් වෙලා. දෙමව්පියො, ගුරුවරු, මාධ්‍ය, තාක්‍ෂණයේ දියුණුව මේ තත්ත්වයට වගකියන්න ඕන.

* කුඩම්මාගේ සැළකිල්ල

රජයෙන් වේදිකාවට ලැබෙන සැළකිල්ල ඇත්තටම ප‍්‍රමාණවත් නෑ. ටෙලි හෝ සිනමා සම්මාන උළෙල ගත්තාම ඒ වෙනස පැහැදිලිව පෙනෙනවා. අපිට තියෙන ලොකුම සම්මාන උළෙල රාජ්‍ය නාට්‍ය උළෙල. ඒකත් අද පහළම තැනට වැටිල. මේ දේවල් ගැන හොයන්න රජය ඍජුව මැදිහත් විය යුතුයි. ඒක අත්‍යවශ්‍යයි.

* නොමැකෙන මතක

එද දවසක් ලූම්බිණි රඟහලේ මනමේ නාට්‍යයේ දර්ශන දෙකක් තිබුණා. මට මතක විදිහට 3.30 දර්ශනය. මනමේ කුමරිය මම. කුමාරයාට හිටියෙ සනත් විමලසිරි අයිය. ඔහු බොහොම කාලෙකින් තමයි මේ දර්ශන වාරයට සහභාගි වෙන්නෙ. දැන් වැදි රජුගෙයි මනමේ කුමාරයාගෙයි ද්වන්ධ යුද්ධය වේදිකාවේ සිද්ධ වෙනව. මම වේදිකාවේ ඉඳන් බලාගෙන ඉන්නව මගෙ අතට කඩුව දෙනකන්. එකපාරටම කඩුව ඉනෙන් මුදාහැරපු මනමේ කුමාරයා ඒක ගිහින් වේදිකා පරිපාලක අතට දෙනව. හිතාගන්න බෑ මොකද වුණේ කියල. ද්වන්ධ සටනත් නොනවත්වාම යනව. එදා වේදිකා පරිපාලක හැටියට හිටියෙ ධනපාල බෝගොඩ අයිය. ඔහු හිමීට කඩුව මගේ අතට ගෙනත් දෙනව. මේ අතර පේ‍්‍රක්‍ෂකාගාරයෙන් කසුකුසුවකුත් ඇහෙනව. අපිත් මුකුත් නොවුණ වගේ ඒ සීන් එක ඉවර කළා. මේක නම් මගේ ජීවිතේට අමතක වෙන්නෙ නෑ.

* බලාපොරොත්තු

මට ඉන්නෙ එක පුතයි. ඔහු තමයි එකම බලාපොරොත්තුව. දැනට නාලන්දා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබනව. ඒ වගේම සිනමාව පැත්තෙන් මගේ දායකත්වය, හැකියාව අධ්‍යක්‍ෂවරු ලබාගත්තා මදි කියලත් මට හිතෙනව. බොහෝ විට ඉදිරියේදී ඒකට අවස්ථාව ලැබෙයි. හොඳ පිටපතක් ලැබුණොත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්නත් ලොකු ආසාවක් තියෙනව. මේ තත්ත්වයෙන් රට නිදහස් වුණ දවසක ඒ ගැන බලමු.

ලිව්වේ
මහේෂ් එදිරිසිංහ – දිවයින

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top