ෂොපින් ගිහින් කොවිඩ් ගේන්න එපා

ඉහතින් සඳහන් කළේ කොව්ඩ් සටනේ බරපතළම වගකීමක් දරා සිටින යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයකි. මේ සමඟම ඔහු පවසා සිටියේ මේ සටන අප කෙසේ හෝ ජයග්‍රහණය කරනවා යනුවෙන්ය. මේ වගකීම ඔහු බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවගෙන්ය. කොවිඩ් වෙළෙඳපොළේ විකුණන්නට තිබේ ද? නැත. එහෙත් අනාරක්ෂිතව, නිකරුණේ වෙළෙඳපොළට ගිය හොත් නොමිලේම, නොදැනීම, නොදන්වාම කොවිඩ් අප සමඟ නිවෙසට පැමිණේ. යුද හමුදාපතිවරයාගේ මේ ප්‍රකාශය සරල වුවද අර්ථය ගැඹුරුය. ඇඳිරිනීතිය ඉවත් කරන තුරු බොහෝ දෙනකු ඇඟිලි ගණින්නේ ෂොපින් යන්නටය. එක් වරක් නොව කිහිපවරක්ම ඇවිද අත්‍යවශ්‍යම නොවන්නා දේවල් එකතු කර ගන්නටය. ඇතැම් විටෙක මේ යන්නේ තනිවමද නොවේ. පවුලේ සියලු දෙනාවත් කැටුවය. කුඩා දරුවන්ද සමඟ සුපිරි වෙළෙඳසල්වල පැය ගණන් රස්තියාදු වන වැඩිහිටියන් අපට නිතර දක්නට ලැබේ.

ඇතැම් විට මේ කුඩා දරුවන්ට මුව ආවරණයක් හෝ පැලඳීමට අවබෝධයක් නැත. මෙවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට එම ආයතනවල ආරක්ෂක නිලධාරීනට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වේ. ඇතැම් විට පවුල් පිටින් සුපිරි වෙළෙඳසල්වලට පෝලිම්වල රස්තියාදු වී ගොඩ ගසා ගන්නා බඩු භාණ්ඩ ළඟ ඇති සිල්ලර කඩයකින් ද මිලට ගත හැකිය. මේ එක් උදාහරණයක් පමණි.

බොහෝ විට මෙවැනි අවස්ථාවක ඇඳිරිනීතියක් පනවන්නේ සංචරණ සීමා කිරීමටය.

ඇඳිරි නීතිය පවතින කාල සීමාවේ දී පවා විවිධ හේතු ඉදිරිපත් කරමින් නොයෙක් තැන්වල සංචරණයට උත්සාහ කරන අය ඇඳිරිනීතිය ඉවත් කළ පසු එම නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතති. අප ඇවිදින කොතැන මේ වයිරසය තිබේදැයි කිසිවකුටවත් නිශ්චිතව කිව නොහැකිය. ආරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරන ආකාරය පිළිබඳ කොතරම් දැනුවත් කළ ද ඒවා ඒ ආකාරයෙන්ම පිළිපදින බවක් නොපෙනේ. ඇතැම්හු පොලිස් නිලධාරීන් අසලදී පමණක් මුව ආවරණ පැලඳ ගනිති. ඔවුන්ගෙන් ඈත් වූ පසු මුව ආවරණය සාක්කුවේය, නැතිනම් අත් බෑගයේය. මෙවැනි අවස්ථාවක අප කල්පනා කළ යුත්තේ එළියට බසින්නේ කුමකට ද එය අත්‍යවශ්‍යම කාරණයක් ද යන්නය. මේ අනවශ්‍ය ගමන් නිසා අපට බලපාන්නේ කොවිඩ් ප්‍රශ්නය පමණක්ම නොවේ. වෙනත් වයිරස් රෝගයන්ට පවා ගොදුරු වීමට හැකිය. එවිට අපට තවත් බරපතළ තත්ත්වයන්ට එසේත් නැතිනම් අනවශ්‍ය කරදරවලට මුහුණපෑමට සිදු වේ.

සාමාන්‍ය රෝගි තත්ත්වයකට පවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට රෝහලකට යැම අවදානම් විය හැකිය. නැතහොත් අනවශ්‍ය ආකාරයෙන් පරීක්ෂණවලට යොමු වීමට සිදු විය හැකිය. මේ අවස්ථාවේ දැඩි කැප කිරීමකින් සේවයෙහි යෙදී සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ද මෙය අනවශ්‍ය කරදරයකි.

නොසැලකිල්ලෙන් කටයුතු කරන මෙවැනි පිරිස් පොදු ප්‍රවාහනය භාව්ත කරන්නේ නම් එය ද ගැටලුවකි. සීමාසහිත මගීන් ප්‍රමාණයකට පමණක් ඉඩ සැපයීමට ඔවුනට අවවාද කර තිබියදී අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන අයට ඉඩ සැපයීමෙන් රාජකාරී කටයුතුවල යෙදෙන අයට ප්‍රවාහනයේ ඉඩ අහිමි වී යා හැකිය. විශේෂයෙන් රාජකාරියට පැමිණෙන සහ රාජකාරි නිම වී යනෙන වේලාවලදී පොදු ප්‍රවාහනයේ දී වැඩි ඉඩක් දිය යුත්තේ රාජකාරී කටයුතුවලට යනෙන අයටය.

අධික ජනගහණයක් සිටින නගරවල සංචරණ සීමා කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යය. අනෙක් කාරණය නීතියට පමණක් මේ සියල්ල පාලනය කළ නොහැකි බවය. එසේම නීතියට ඇති බිය නිසාම තමන් පාලනය විය යුතුයැයි සිතනවානම් එයද ආත්මාර්ථකාමි හැඟීමකි. එවිට සිදු වන්නේ නීතිය මඟ හැර වැරදි කිරීමට පෙලඹීමය.

යුද හමුදාපතිවරයා පැවසූ ආකාරයට මේ සටන ජයග්‍රහණය කළ හැකි කාලසීමාව රඳා පවතින්නේ අප ඔබ හැසිරෙන ක්‍රමවේදය අනුවය. ඔවුන්ට උපරිම සහාය දීම මේ අවස්ථාවේ අප සියලු දෙනාට පැවරෙන වගනකීමකි.

රසිකා එස්. රණවීර – දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top