සීමා මායිම්, තහංචි නැති ජීවිතය සුන්දරයි…

සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­පති, නීතිඥ දර්ශනී සහ ලලේන්ද්‍ර මොර­වක

ඇගේ හමුවීම මගේ ජීවිතයේ අරුත්බර වෙනසක් කළා – ලලෙන්ද්‍ර

ඔහුගේ විශ්වාසය රැකීම මගේ වගකීම බව මම නිතරම හිතනවා – දර්ශනී

අපේ කාන්තාවට නිසි තැන මිසක් සම තැන අවශ්‍ය නැහැ…- දර්ශනී

‘‘බෞද්ධාගමට අනුව ගෙදර බුදුන් අම්මා ලෙස හඳුන්වා දීමෙන් කාන්තාවට විශේෂ ස්ථානයක් ලබා දී තිබෙනවා. ඒ නිසා අපේ රටේ කාන්තාවට පිරිමි හා සම තැන ඉල්ලා අරගල කරන්න අවශ්‍ය නැහැ. අනිත් රටවලට සාපේක්ෂව අපේ රටේ කාන්තාවට ඉදිරියට යන්න ආගමින් හෝ නීතියෙන් බාධා පමුණුවා නැහැ. ඒ නිසා බටහිරින් එන්නත් කරන අදහස් අපට අවශ්‍ය නැහැ. අපේ බොහෝ කාන්තාවන් ආර්ථිකයට දායක වීමෙන් විශාල සේවයක් කරනවා. ගෘහණියක්, මවක් ලෙසත් කරන විශාල අනාගත ආයෝජනය අගය කළ යුත්තක්. ඒ වගේම රටේ, සංස්කෘතියේ වටිනාකම් අගය කරන ඒවා තේරුම් ගත් දරුවකු නිර්මාණය කිරීමත් මවකගේ වගකීමක්”

ඒ හඬ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුරගේ ය. වෘත්තිකයකු ලෙස පමණක් නොව බිරියක, මවක, ගෘහණියක ලෙස භූමිකා කිහිපයක් නිරූපණය කරන ඇගේ ජීවිතයේ මෙතෙක් ආ ගමනේ සොඳුරු මං සලකුණු සොයා අප ඒ දිවි සැරියේ මතක විමසා සිටියේ කාර්යබහුල දිවියේ මඳ ඉසුඹුවක් ලද මොහොතකදීය.

“මම මූලික අධ්‍යාපනය ලැබු‍වේ දැන් සුජාතා විද්‍යාලය ලෙස හඳුන්වන නාරාහේන්පිට විද්‍යාවර්ධන විද්‍යාලයෙන්. ඒ පාසල හදලා අවුරුදු 112 කට පස්සෙ ශිෂ්‍යත්ව විභාගෙයන් සමත් වූ එකම සිසුවිය වීමට මට වාසනාව ලැබුණා. මට මතකයි ඒ වෙනුවෙන් පාසලින් ඇගයීම් උත්සවයක් පවත්වලයි මාව ඉස්කෝලෙන් යැව්වෙ.

එදා ඒ අත්දැකීම මගේ පුංචි හිතට ලොකු අභිමානයක් වුණා. මම පාසල් අධ්‍යාපනය අවසන් කළේ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. දරුවො හතර දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා වුණේ මම. මගේ තාත්තා සූපවේදියෙක්. අම්මා ගෘහණියක්. මගේ ළමා කාලය බොහාම සරලව සාමාන්‍ය විදිහට ගත වුණා. නමුත් තාත්තා හදිසි අනතුරකට ලක්වෙලා කාලයක් රැකියාව කරගත නොහැකි තත්ත්වයක හිටියා.

ඒ කාලේ අපිට ජීවිතය තරමක් අසීරු වුණා. නමුත් මම ඒ වෙලාවේ දැක්කා මගෙ අම්මා ජීවිතේ අභියෝගවලට මුහුණු දුන් ආකාරය. ඇය මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියක්. මටයි, මල්ලිටයි, නංගිලා දෙන්නටයි අම්මා ගෙදරදීම ඉගැන්වූ නිසා අපට අමතර පන්ති යන්න වුවමනා වුණේ නැහැ. මේ වෙද්දි අම්මා මිය ගිහින් මාස දෙකක් වෙනවා. මේ දක්වා පැමිණි ගමනට අම්මා මට විශාල රුකුලක්, ශක්තියක් වුණා. ගැහැනු දරුවෙක් වුණත් සමාජයට ඉදිරියට යන්න බය වෙන්න එපා කියලයි අම්මා නිතරම කිව්වේ. ඒ වගේම කුඩා කාලයේ ඉඳලම අම්මා අපේ දක්ෂතා තේරුම් අරගෙන අපට ඉදිරියට යන්න අවශ්‍ය හැම සහයෝගයම දුන්නා. ඒ වගේම අපිව විශ්වාස කළා. අම්මගේ ලැබුණු ඒ ශක්තිය ජීවිතේට හොඳ පදනමක් වුණා කිව්වොත් නිවැරදියි. ඒ වගේම බම්බලපිටියේ වජිරාරාම දහම් පාසලේ නාරද හිමි, පියදස්සි හිමි, සෝම හිමියන්ගෙන් ජීවිතයට ලැබුණු දහම් ඇසුර ජීවිතයට විශාල අලෝකයක් වුණා. ”

ඒ අලෝකයෙන් තමා ජීවිතයේ විවිධ ඉසවු ස්පර්ශ කළ බව නීතිඥ දර්ශනී ලහඳපුර කීවාය. පාසල් වියේදී වයස අවුරුදු 15න් පහළ හොකී කණ්ඩාමත් වයස අවුරුදු 17න් පහළ පැසිපන්දු කණ්ඩායමත් නියෝජනය කළ ඇය ක්‍රියාශීලී පාසල් සිසුවියක වූවාය. වෛද්‍යවරියක වීමේ අපේක්ෂාවෙන් ඇය උසස්පෙළ විභාගයට පෙනී සිටින්නේ ජීව විද්‍යා අංශයෙනි.

” මෙඩිකල් කොලේජ් යන්න බැරිවීම ගැන නම් දුකක් දැනුණා. ඒ නිසාම වෙන කැම්පස් එකකටවත් ඇප්ලයි නොකර රැකියා සඳහා යොමු වුණා. ඒ අතර නීතිය ඉගෙන ගන්න ආශාවක් ඇති වුණා. නීති ප්‍රවේශ විභාගයෙන් සමත් වූ 25 දෙනා අතරට ඇතුළත් වෙමින් මම ඒ සඳහා සුදුසුකම් ලැබුවා. රැකියාවක් කරන අතර නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ අතර ව්‍යාපාර කළමනාකරණය, විධායක ලේකම්, පරිගණක වැඩසටහන් ආදී වෙනත් අංශ පිළිබඳ හැදෑරීම් කළා. නවක නීතිඥවරියක් විදිහට ගාල්ලේ සරත් බණ්ඩාර, කුමාර බණ්ඩාර නම් ප්‍රවීණ නීතිඥවරු යටතේ යම් කාලයක් සේවය කළා. වැඩිපුරම පුහුණුවීම් කළේ අපරාධ නීතිය සම්බන්ධයෙන්. නමුත් පසුකලෙක මට හිතුණා නීතියේ තවත් අංශ සොයාගෙන යා යුතුයි කියා.

මම නිතරම මට සුදුසුම ක්ෂේත්‍රය සෙව්වා කිව්වොත් නිවැරදියි. ඒ සොයා යෑම තුළ පෞද්ගලික අංශයේ පහළ මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා අවුරුදු 20ක අත්දැකීම් ලබාගන්න මට හැකි වුණා. ඒ අතර අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ රැකියාවක නිරත වෙන්න ලැබුණා. ඒ අවස්ථාවේදි මට හිතුණා මට ගැළපෙන්නේ පරිසරය බව. අපරාධ නීතිය සමඟ කටයුතු කිරීමේදී මුහුණ දෙන්නට සිදුවූ ඇතැම් අවස්ථා මගේ හිතට බරක් වූ අවස්ථා තිබුණා. ඒ නිසාම මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිසර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්තා. මුල් කාලයේ මම නිරත වූ ක්ෂේත්‍ර සැලකීමේදී මට හිතුණා විද්‍යා අංශයෙන් ලබාගත් දැනුම අපතේ ගියා කියලා. නමුත් දැන් මම නියැළී සිටින ක්ෂේත්‍රය හා සම්බන්ධ වුණාට පසුව මට වැටහුණා විද්‍යාවේ සහ පරිසරයේ සම්බන්ධය මොනතරම් ප්‍රයෝජනවත් වෙනවද කියා. අපේ සමුද්‍රයේ තියෙන වටිනාකමින් අප තවමත් නිසි පළ නෙළාගෙන නැති බව මගේ හැඟීමයි. රට වගේ අට ගුණයක් විශාල සමුද්‍ර සම්පත්වලින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදිය හැකියි.”

නීතිඥ දර්ශනී ලහඳපුර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය ලෙස පත්වන්නේ ඉකුත් පෙරබවාරි මාසයේය. ඒ දක්වා පැමිණි ගමන පිළිබඳ ඇය මෙසේ කීවාය.

” ප්‍රසිද්ධ ආයතනයක සමාජ සත්කාර කළමනාකාරිනිය ‍ලෙස සේවය කරමින් සිටියදී මම නියමිත කාලයට පෙර එම සේවයයෙන් ඉවත් වෙලා පරිසර නීති සම්බන්ධයෙන් උපදේශනය සපයන පෞද්ගලික ආයතනයක් ආරම්භ කළා. ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ උපදේශකයකු විදිහටත් කාලයක් කටයුතු කළත් දේශපාලන පෙරළියෙන් පසු එයින් ඉවත් වුණා. වෘත්තිකයකු ලෙස මට අවශ්‍ය වුණේ රට වෙනුවෙන් යමක් කළ හැකි නායකත්වයකට සහයෝගය ලබාදීමයි. ඒ අරමුණම තිබෙන වෘත්තිකයන් කණ්ඩායමක් සමඟ මම අත්වැල් බැඳගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පරිසරය සම්බන්ධ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ඒ තුළින්. කාලයක් අපි එකට වැඩ කළා. 2017 ඔක්තෝබර් මාසයේ දවසක එතුමා අපේ කමිටුවේ ප්‍රධාන ක්‍රියාකාරීන් 75 දෙනකු කැඳවලා වියත් මඟ සංවිධානයේ ලේකම් ධුරය මට භාර දුන්නා. වියත් මඟ පරිසර කණ්ඩායමේ ප්‍රතිපත්ති මාලාව, ‘සෞභාග්‍යයේ’ දැක්මේ පරිසර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් මගේ දායකත්වය ලබා දුන්නා. තමන් සහභාගි වන මැතිවරණ රැස්වීම් මුළුමනින් කාබන් නිශ්ක්‍රීය ආකාරයට පවත්වන ලද ලෝකයේ පළමු ජනාධිපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. එය සිදු වුණේ මගේ යෝජනාවක් අනුවයි. ඒ ගැන මම ඉතා සතුටු වෙනවා. රට වෙනුවෙන් යමක් කිරීමේ සතුට මිසක් ඒ තුළින් තනතුරු, වරප්‍රසාද බලාපොරොත්තු වුණේ නැහැ. ”

එ‍සේ වුවද ඇයගේ දක්ෂතාවට ගැළපෙන තනතුර ඇය කරා ආවේය. මේ වන විට ඇය ජාත්‍යන්තර සම්මාන දෙකකින්ද පිදුම් ලබා ඇත. ඒ, 2014දී ආයතනික කටයුතු පිළිබඳ විශිෂ්ටතා සම්මානයෙන් සහ 2018දී CSR විශිෂ්ටතා සම්මානයෙනි. කාන්තාවක ලෙස ජීවිතයට හමුවූ අභියෝග පිළිබඳවද අප ඇය විමසුවෙමු.

” ඇතැම් අවස්ථාවලදී පුරුෂාධිපත්‍යය මතු කරන සුළුතරයක් නිසා පීඩනයට ලක්වූ අවස්ථා නැතිවා නොවෙයි. ඇතැම් පුද්ගලයන් අපේ ගමන වළක්වන්න බොහෝ දේ කරනවා. ඒ බාධාවලින් අපි නොසැලී ඉන්නකොට නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඇති කරනවා. ඒ හැම අවස්ථාවකටම මම මුහුණ දුන්නේ බෞද්ධාගම තුළින් ලැබුණු අවබෝධයෙන්. තමන් හරි දේ හරියට කරනවා නම් එකිනෙකා මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ ප්‍රශ්න, කරදර සහ අභියෝගවලට මුහුණ දීම සඳහා මට තිබෙන හොඳම ශක්තිය මම සහකම්පනයෙන් යුතු කෙනකු වීම. ඇතැම් අවස්ථාවල මම අනුන්ට යහපත කරන්න යෑම නිසා කරදරේ වැටුණ අවස්ථා තිබෙනවා. එහෙම වුණත් මම හිතන්නේ කවුරුත් නිසා මම මගේ හොඳ ගතිගුණ වෙනස් කරගත යුතු නැහැ කියලයි”

ඇයගේ සිතුම් පැතුම් සොඳුරු ය;ආදරණීය ය. ඒ ආදරණීය හදවත උණුසුම් කරන ළෙන්ගතුම නවාතැන කැදැල්ල බව ඇය කීවේද වඩාත් ආදරණීයව ය.

“මගේ සැමියා ලලෙන්ද්‍ර මොරවක. රැම්කෝ සිමෙන්ති සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානි විදහට කටයුතු කරනවා. මගේ හිතේ තිබුණේ මට වඩා හොඳ කෙනෙක් මගේ සැමියා විය යුතුයි කියන සිතිවිල්ලයි. මුලින්ම අපි රැකියා ස්ථානයේ මිතුරන් විදිහට ඇසුරු කළා. එහෙම ඇසුරු කරද්දි මට වැටහුණා ඔහු ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඒ පැහැදීම, විශ්වාසය විවාහය දක්වා අප රැගෙන ආවා. ඔහු මා හොඳින් අවබෝධ කරගෙන මගේ සියලු කාර්යයන් සඳහා උපරිම සහයෝගය දෙනවා. විවාහ වුණාට පසුවයි මම පශ්චාත් උපාධිය කළේ. රැකියාව නිසා ඔහුත් කාර්යබහුල චරිතයක් වුණත් මම කාර්යබහුල වෙන වෙලාවට ඔහු දරුවන්ගේ සහ නිවෙස් කටයුතු බලා ගනිමින් මට අවශ්‍ය මානසික නිදහස ලබාදීම මගේ ජීවිතයට විශාල පහසුවක් වී තිබෙනවා.”

ඇය එසේ පවසද්දී ඇය ගැන ඔහු පැවසුවේ මෙලෙසිනි.

” දර්ශි කියන්නේ ගොඩක් පොසිටිව් චරිතයක්. ඒ වගේම ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ හැමදේටම වැඩිය ඇයට සානුකම්පිත හොඳ හදවතක් තියෙනවා. ඇයට නිතරම තමන්ගේ යහපත, දියුණුවට වඩා තවත් කෙෙනක්ගේ යහපත, දියුණුව ගැන හිතන, ඒ වෙනුවෙන් වෙහෙසෙන කෙනෙක්. ඒ වගේම රට ගැන ලොකු ආදරයක්, ඇල්මක් තියෙන සාධාරණව වැඩ කරන කෙනෙක්. ඇය නිසා මගේ ජීවිතය තුළත් සුබවාදී වෙනසක් සිදු වුණා. ඇය දක්ෂ වෘත්තිකයකු වගේම ආදරණීය බිරියක්, මවක් වගේම හොඳ ගෘහණියක්. සමහර අවස්ථාවල වෘත්තිමය ජීවිතයේ කාර්යබහුලත්වය නිසා නිවෙසේ වගකීම් අතපසු වුණත් ඇය ඒ සියල්ල කළමනාකරණය කරගැනීමට උනන්දුවක් දක්වනවා. ඒ නිසා රාජකාරි ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබරව ගෙනයෑමට අපට හැකියාව ලැබී තිබෙනවා. ”

ජීවිතය වෙනස් කළ, සොඳුරු කළ ඇයගේ සෙනෙහස ඔහු වදන්වලට පෙරළුවේ දයාර්ද්‍ර සිතිනි. ඇය ඊට තවත් අඩුවැඩිය එක් කළාය.

“මම හිතන්නේ විවාහ ජීවිතයේ සාර්ථකත්වයට විශ්වාසය සහ අනන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත්. වෘත්තීය ජීවිතය තුළ මම ගොඩක් කාර්යබහුල වුණත් ලලෙන්ද්‍ර ඒ තත්ත්වය මනාව වටහාගෙන තිබෙනවා. ඔහු සීමාමායිම්, තහංචිවලින් මගේ ගමන සීමා කරලා නැහැ. නමුත් ඔහු මා කෙ‍ෙරහි තබා ඇති විශ්වාසය රැකගැනීම මගේ වගකීමක් බව මගේ විශ්වාසයයි.

ඒ නිසාම පුරුද්දක් විදිහට මම දවසේ කරන සියලු වැඩ කටයුතු ගැන කෙටි දුරකථන ඇමතුමකින් හෝ ඔහු දැනුම්වත් කරනවා. අප්ඩේට් කරනවා.ඒක මම කැමැත්තෙන් කරන දෙයක් මිස ඔහුගේ නියෝගයක් හෝ බලපෑමකට කරන දෙයක් නම් ෙන‍වෙයි. ඒ වගේම දවස අවසානයේ අපි දෙන්නා දරුවනුත් එක්ක එකිනෙකා දවස ගත කළ හැටි ගැන කතාබහ කරනවා. ඊළඟ දවස ගැන සැලසුම් කරනවා.

බෞද්ධයන් විදිහට අපිට ඉන්න හොඳම ප්‍රේමවන්ත යුවළ සිදුහත් කුමාරයා සහ යශෝධරාවයි. මමත් මහත්තයාත් නිතරම උත්සාහ කරන්නේ අපේ ගමන එකට යන්නයි. පුරුද්දක් විදිහට අපේ පවුලම සිල් සමාදන් වෙනවා. පවුලක් විදිහට අපි අතරත් ගැටීම්, මතවාද, ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් ඒ දේවල් කළමනාකරණය කරගනිමින් ඉදිරියට යන්න අපට හැකිවෙලා තියෙන්ෙන ආගමික පසුබිම තුළයි. විවේකයක් ලැබෙන හැම වෙලාවෙම පවුලක් විදිහට එකට ඉන්නයි මම උත්සාහ කරන්නේ.”

වගකීම් බහුල තනතුරක් දරමින් නිවෙසේ කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය ගැන ඇය මෙෙස් කීවාය.

“කාලය කළමනාකරණය කරගැනීම ලොකු අභියෝගයක්. ඒ නිසාම මම එහිදී ප්‍රමුඛතා කළමනාකරණයටත් මූලිකත්වය දෙනවා. ප්‍රමුඛතාව දිය යුතු කාර්යයන් හඳුනාගෙන අතහැරිය හැකි දේවල් අතහරිමින් දවස සැලසුම් කරනවා. ඒ වගේම මම ම කරන්න අවශ නැති වගකීම් අනිත් අයට පවරනවා. නිවෙසේදීත් දරුවන්ට විවිධ වගකීම් පවරා තිබෙන නිසා එයත් ලොකු පහසුවක්. ”

දර්ශනී- ලලෙන්ද්‍ර යුවළට දරුවන් සිවු දෙනකි. වැඩිමහල් පුතු වනුෂ්ක පෞද්ගලික ආයතනයක සේවය කරන අතර දෙවැන්නා සසික පුතු උසස් අධ්‍යාපනය ලබන්නේ විදෙස්ගතවය. දියණිය මෙතාරා විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර බාල පුතු මෙනුක අධ්‍යාපනය ලබන්නේ විදුර විද්‍යාලයේ 9 වැනි වසරේය.

“මම සින්දු අහන්න, පොත් කියවන්න ගොඩක් කැමතියි. ඒ අතරින් දැනුම මිනුම වැඩසටහන්වලට ගොඩක් කැමතියි. මගේ ප්‍රියතම ගායකයා අමරදේවයන්. ඒ වගේම දෙස් විදෙස් සංචාරයටත් ගොඩක් කැමතියි. දවස් කිහිපයක නිවාඩුවක් තියෙන වෙලාවට පවුලම එක්ක කොළඹින් පිට පළාතක ඇවිදින්න යෑමත් අපේ විනෝදාංශයක්. දරුවො කැමති කෑමබීම මගේ අතින් හදලා දෙන එකත් මම ගොඩක් ආසාවෙන් කරන්නේ.”

ඇය පැවසුවේ සැහැල්ලුවෙනි. ජීවිතය දෙස හැරී බැලීමේදී තමාට තමා හැඟෙන, දැනෙන ආකාරය සහ අනාගත අපේක්ෂා ගැන නීතිඥ දර්ශනී ලහඳපුර මෙසේ කීවාය.

“මම මේ ගමන ආවේ හිමින්. තව කෙනෙක් කපාගෙන ආව ගමනක් වෙනුවට හැකි හැමවිටම හැම දෙනාටම අත දෙමින් පැමිණි සාර්ථක ගමනක් කියලා නිහතමානී ආඩම්රයක් විඳිනවා. මගෙත් සැමියාෙග්ත් බලාපොරොත්තුව දරුවන්ගේ ඉදිරි අනාගතය ගැනයි. ලොකු තැනකට නෙවෙයි හොඳ තැනකට යන්න පුළුවන් මිනිස්සු විදිහට හැදෙන්න කියලයි මම නිතරම දරුවන්ට කියන්නේ. ඒ වගේම රට වෙනුවෙන් තවත් මා වෙතින් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් උපරිමයෙන් ඉටු කිරීමයි මගේ අපේක්ෂාව. අපේ රටේ මානව සම්පත, පිහිටීම සහ පරිසරයෙන් ලබාගත හැකි ප්‍රයෝජන රාශියක් තිබෙනවා. ඒ දේවල්වල උපරිම ප්‍රයෝජන ලබාගත හැකි නම් එය රටේ දියුණුවට විශාල රුකුලක් .”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top