පරිත්‍යාගයේ සීමාන්තික බව පසක් කරන SON-MOTHER

ලෝකයේ කොයි රටක වුවත් ගැහැනුන්ගේ ඉරණම එක සමානය. එය විවිධ රටවල විවිධ සංස්කෘතික න්‍යායන් අතර යම් යම් වෙනස්කම් වුවද, බොහෝ දුරට අත්වන ඉරණම එක හා සමාන යයි බැලූ බැල්මට පෙනේ. ඉරාන සිනමා කෘතියක් වූ ‘සන් මදර්’ චිත්‍රපටය විග්‍රහ කරන්නේද, ඒ කතාව ගැනයි..

මේ චිත්‍රපටය ගැහැනුන් අත්විඳින ඉරණමෙහි එක් පැතිකඩක් පමණි. චිත්‍රපටය විකාශනය වනුයේ පරිච්ඡේද දෙකක් හැටියටය. චිත්‍රපටයේ, මුල් කොටසෙන් හඹා යනුයේ මවගේ ජීවිතයයි. දෙවැනි කොටස එයම පුතුගේ ජීවිතය හරහා විකාශනය වේ. ‘සන් මදර්’ චිත්‍රපටය විකාශනය වන්නේ එලෙසිනි.

ලෙයිලා නම් වැන්දඹු කාන්තාවට දරුවන් දෙදෙනෙකි. ඇය කර්මාන්ත ශාලාවක සේවය කරන්නේ විවිධ දුෂ්කරතාවයන් මැදය. ඇගේ දියණිය අත දැරියකි. එකම පුතු අමීර් දොළොස් හැවිරිදි ය. උපයන මුදල ජීවත් වන්නට ප්‍රමාණවත් වන්නේ නැත. රැකියාවට යන විට, ඇය කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තබාගෙන යා යුතුය. මේ යෑම ගමන ප්‍රමාද කරයි. ඒ නිසා වැඩපොළේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නටත් ඇයට සිදු වෙයි.

මේ අතරවාරයේ එම කර්මාන්ත ශාලාවේ සේවක රියදුරකු වන කාසිම්, ඇයට විවාහ යෝජනාවක් ගෙන එයි. කාසිම් ද බිරිය මළ පුද්ගලයෙකි. මුලින් අකමැති වුවද, ඇය ඒ යෝජනාවට කැමැත්ත පළ කරන්නේ, තවත් වැඩිහිටි කාන්තාවක ගේ උපදෙස් පරිදිය. ඇයට කිසිවකුගේ රැකවරණය අවශ්‍ය වුවත් කාසිම් අමීර් භාර ගන්නට නම් අකමැතිය. ඒ කාසිම්ට ද අමීර්ගේ ම වයසේ දියණියක සිටින බැවිනි. එකම විසඳුම ටික කාලයකට අමීර් වෙනත් තැනක නතර කරවීම ය. ටික කාලයක් යනු කවරක් දැයි කිසිවකුට හෝ කිව නොහැක. එය මාසයක් විය හැකිය. දෙමාසයක් විය හැකිය. නොවේ නම් අවුරුද්දක් විය හැකිය. එහෙත් අමීර් ට නිවාසයක් සොයාගැනීම පහසු කටයුත්තක් නොවේ. අවසානයේ වැඩිහිටි කාන්තාවක ගේ උපදෙස් පරිදි අමීර්ට ටික කලකට නවතින්න සිදුවන්නේ ගොළු බිහිරි පාසලකය. එහි නේවාසික සිසුවකු හැටියට, අමීර් නතර කිරීමෙන් පසු කාසිම් හා ලෙයිලා විවාහ වෙයි. අමීර් ගොළු බිහිරි පාසලේ එබඳු දරුවකු ලෙස හැදී වැඩෙයි. මේ වැඩි මහලු ගැහැනිය, ගොළු දරුවකු හඟවා, නේවාසිකාගාරයට ඇතුළත් කරන එකම සිසුවා ද අමීර් පමණක් නොවන බව අපට මේ සිනමා කෘතිය පැහැදිලි කරයි.

අමීර් ගොළුවකු ලෙස පාසල තුළ සිටින්නේ තනි වත් නොවේ. ඔහු අනිත් දරුවකු ගේ උදව්වෙන් පාසලෙන් පැනයයි. අම්මා වැඩ කළ කම්හලට ගියද, ඇය මුණ ගැසෙන්නට ලැබෙන්නේ නැත. එහෙත් ඔහුට කාසිම් මුණගැසෙයි. කාරුණික මිනිසෙකු වූ කාසිම් අමීර් බාර නොගන්නා හේතුව ඔහුට පැහැදිලි කරයි.

චිත්‍රපටය අවසානයේ දොළොස් හැවිරිදි අමීර් යළි ගොළු දරුවන්ගේ පාසලට ඇතුළු වෙයි. ඒ අම්මා හා සොහොයුරියගේ අනාගතේ වෙනුවෙනි. කතා කළ හැකි දරුවෙක්, උපේක්ෂා සහගතව ගොළු වත වැළඳ ගනී. ලෙයිලා ගේ චරිතය, සියල්ල විඳ දරා ගන්නා අභිමානවත් ගැහැනියක් බවට පත් වද්දී, ‘සන් මදර්’ චිත්‍රපටය අමීර් ගොඩ නඟනුයේ, නිහඬව සියල්ල බලා සිටින දිරිමත් දරුවකුගේ භූමිකාවක් ලෙසය.

ඔහුට මව ගේ දුෂ්කර ජීවිතය වටහා ගැනීම අපහසු නො වේ. එබැවින් අම්මා වෙනුවෙන් දරුවාගේ කැපකිරීම, අම්මාගේ කැපකිරීම අභිබවා යන බවක් අපට හැඟේ. සිනමාකාරිය එය ගොඩ නගන්නේ සියුම් වියමනක් හැටියටය.

එහෙත් මේ සිනමාකාරියගේ ජීවිතය ද, පහසු එකක් නොවේ. ඇය (Mahnaz Mohammadi) සිනමාකාරියක මෙන්ම ඉරානයේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිණියකි. ඒ වෙනුවෙන් ඇය කිහිප වාරයක්ම සිරගත කරනු ලැබුවාය. වරක් ‘කාන්ස්’ සිනමා උලෙළට ඇයට ආරාධනා ලැබුනද, ඉරාන බලධාරීන් ඇයට රටින් පිට වන්නට අවසර දුන්නේ නැත. ඇය විසින් ලියන ලද ලිපිය ලෝකප්‍රකට සිනමාකරුවකු වන කොස්තා ගවරාස් විසින් උලෙළේ දී කියවනු ලැබීය. එහිදී ඇය කළ හෙලිදරව්ව,

ඉරානයේදී ස්ත්‍රියක හා සිනමාකාරියක වීමේ පාපයෙන්, බරපතල අපරාධ කාරියක් ලෙස හඳුන්වන බව පෙන්වා දීමය. ඇගේ මුල්ම චිත්‍රපටය වූයේ ‘වුමන් විතවුට් ෂැඩෝස්’ නම් විය. එය ඉරානයේ නිවෙස් අහිමි කාන්තාවන් පසුබිම් කරගත් චිත්‍රපටයකි.

ඇය 2007 වර්ෂයේදී මුල් වතාවට අත්අඩංගුවට පත් වූවාය. ඇයගේ නිවස ඇතුළු බොහෝ ලිපි ලේඛන නිරන්තරයෙන් ඉරාන බුද්ධි අංශ විසින් විමර්ශනයට ලක් වෙයි. ඇය ද නිකන් ඉන්නේ නැත. නිරන්තරයෙන්ම සම්ප්‍රදායික මත වාද හා ගැටෙයි. 2014 වසරේදී ඇය අත්අඩංගුවට පත් වූයේ ඉරාන පාලනයට එරෙහිව ප්‍රචාරණයේ යෙදීමේ වරදටය. මෙවර ඇයගේ දඬුවම අවුරුදු පහකට ය. එයට පෙර වතාවක ඇය අත්අඩංගුවට පත්වූයේ, සිනමාවේදී ජපාර් ෆනාහි ද සමගය.

‘සන් මදර්’ චිත්‍රපටය නරඹන්නට පළමුව, මෙහි සිනමාකාරිය තුළ මගේ හැඟීම තිබූයේ, ඉරාන පාලනය සමඟ සටන්වදින එම ගැහැනියගේ චිත්‍රපටය, නිකන්ම සටන්පාඨයක් වනු ඇති බව ය. එයට හේතුව, මෙම චිත්‍රපටයට මුදල් ආයෝජනය කර තිබුණේ චෙක් ජනරජය විසින් බැවිනි. එහෙත් මෙම චිත්‍රපටයෙන් ඉරාන ගැහැනියක ගේ ආත්මය විකාශනය කරන්නට සිනමාකාරිය සමත් විය. ඒ දේශපාලන මතවාද, ප්‍රචාර හෝ ඇයගේ සටන් පාඨ කියවන සිනමා කෘතියක් ලෙස නොවේ. මේ චිත්‍රපටය ඉරාන ගැහැනිය පිළිබඳ සටන් පාඨයක් නො වූ නිසාම, සමස්ත ගැහැනුන්ගේ ඉරණමෙන් කොටසක් බැව් අපට ඒත්තු ගන්වන්නට සිනමාකාරිය සමත්වෙයි. අමීර් පිළිබඳ පමණක් නොව, ලෙයිලා පිළිබඳවද අපට ඇතිවන්නේ අනුකම්පාවකි. මේ අනුකම්පාව ඉරානයේ මවුවරුන් සහ පුතුන් සම්බන්ධයෙන් පමණක් නොව, ලොව පුරා සිටින මවුවරුන් සහ පුතුන් සම්බන්ධවය.

අරුණ ගුණරත්න

දිණමිණ
විශේෂාංග පිටුවෙනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top