හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමිපාණන්ගේ 78 වැනි උපන් දිනය දෙසැම්බර් 14 වැනි දිනට යෙදී තිබිණි. මේ ලිපිය උන්වහන්සේගේ සමාජ සේවයට උපහාරයක් වශයෙනි.
පරාර්ථ චර්යාව, කරුණාව, උපාය කෞශල්‍යය පදනම් කරගෙන දානාදි දස පාරමිතා ආදිය පුරමින් බෝධිසත්ව ගුණෝපිත අයුරින් ජනතා හිතකාමී කටයුතුවල යෙදෙන කොළඹට බොදු මහ පෙරහරක් ආරම්භ කළ ගංගාරාමයේ ‘පොඩි හාමුදුරුවෝ’ අපේ රටේ භික්ෂු පරපුරට සුවිශේෂි ආදර්ශවත් හිමිනමකි.
උපන් දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්
ගලබොඩ ඤාණිස්සර හිමිපාණන්ගේ 78 වැනි උපන් දිනය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් 14 වැනි දින හුණුපිටිය ගංගාරාමයේදී සුවිශේෂී වැඩසටහන් මාලාවක් පැවැත්විණි. එහිදී මූලිකව සිදුවූයේ මෙරට විවිධ පිරිවෙන්වල ඉගෙනීම ලබන ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ 100ක් පමණ සඳහා ඉදිරි නායකත්වය, දුරස්ථ සන්නිවේදනය, භික්ෂු ආකල්ප පිළිබඳව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමයි. මෙහිදී කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන නාහිමියන් හා සම්මානිත මහාචාර්ය සුමනදාස ගල්මංගොඩ දේශන පැවැත්වූහ.
මේ සියලු භික්ෂූන් වහන්සේ ප්‍රාචීන විභාගවලට මුහුණ දෙන විවිධ ගැටලු මධ්‍යයේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවෙන භික්ෂූන් වහන්සේයි.
මීට අමතරව මෙම භික්ෂූන් වහන්සේ සඳහා “පෙරමඟට පාවාඩ” ශිෂ්‍යත්ව වැඩසටහනේ 5වැනි පියවරේ ශිෂ්‍යත්වවලින් ශිෂ්‍යත්ව 100ක් පිරිනමනු ලැබීය. මසකට රුපියල් 2500 අධ්‍යාපන ශිෂ්‍යත්වයක්, පොත්පත් සමඟ සණස රක්ෂණ සමාගමේ ජීවිත රක්ෂණයක් ද ලබාදෙන බව ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ. හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ප්රමුඛ ගංගාරාම විහාරස්ථ දායක සභාව සහ විවිධ පරිත්‍යාගශීලීහු මෙම වැඩසටහන පැවැත්වීමට අනුග්‍රාහය දැක්වූහ.
දකුණු සිරිලක මාතර ගලබොඩ නැමැති ග්‍රාමයේ උත්පත්තිය ලබා කොළඹ අගනගරයට පැමිණ හුණුපිටිය ගංගාරාමයේ ප්‍රවෘජ්ජා භූමියට පත්ව ඉතා අඩු වයසින් විහාරස්ථානයේ පාලනාධිකාරිය ලත්, විහාරාධිපති ධුරයට පත් අපේ රටේ ලෝකයේ කවුරුත් දන්නා ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේගේ සුවිශේෂි සමාජ සේවාව සැමටම සෙත ගෙන දෙයි. ගංගාරාමයේ “පොඩි හාමුදුරුවෝ” ලෙස අප ගරු කරන උන්වහන්සේ විසින් සංඝ පීතෲණ්වහන්සේ නමක් ලෙස නායකත්ව ලක්ෂණය සමාජගත වන්නේ සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමි සංඝ පරපුරේ වේහැල්ලේ පරම්පරාවට උරුමකම් කියමිණි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ භික්ෂූ උරුමය ඉදිරියට රැගෙන යාමට හැකියාව ඇති සුවිශේෂී දක්ෂතා, හැකියා සහිත සංඝ පීතෲවරයෙක් ලෙස ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ අපේ රටේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මහ වැඩ රැසක් සිදුකළහ.
මහපොළොවේ ඇත්ත කතාවක්
‘පොඩි හාමුදුරුවෝ’ කොළඹට කැදවාගෙන එන්නේ ගලබොඩ ශ්‍රී සුනන්දාරාමයේ නායකත්වය හෙබවූ අපරැක්කේ දේවානන්ද ස්වාමීන්වහන්සේ විසින් කුල දරුවකු ලෙසය. දෙවුන්දර ශ්‍රී වාචිස්සර නායක ස්වාමීන් වහන්සේට එම කුල දරුවා භාර දෙන්නේ සුවිශේෂී අනාවැකියකුත් ප්‍රකාශයට පත්කරමිනි. අපරැක්කේ දේවානන්ද ස්වාමීන්වහන්සේ, ගමේ විදුහල්පතිතුමා හා නැකැත් ශාස්ත්‍රය පිළිබඳ ඥානයක් තිබූ අයෙකු සමඟ විහාරයට පැමිණෙද්දී, ගෑස් ලාම්පු නොදැල්වී විහාරස්ථානය අඩ අඳුරක පැවැතිණි. මේ පිරිස පන්සලට අඩිය තබද්දී ගෑස් ලාම්පු දැල්වුණු බැවින් ඉදිරියේදී මේ ස්වාමීන් වහන්සේ විහාරයට ආලෝකයක් වනු ඇතැයි ගමේ පන්සලේ හාමුදුරුවන් ගමට ගොස් සටහනක් තබා තිබේ.
අපරැක්කේ දේවානන්ද ස්වාමීන්වහන්සේ එදා ගමට ගොස් තැබූ ඒ සටහන කොයිතරම් දුරට යථාර්ථයක් වීද, මේ මහ පොළොවේ ඇත්ත කතාවක් වීද යන්න ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතය දෙස බැලූ විට පෙනේ.
1954 නොවැම්බර් 08 වැනිදා පැවිදි දිවියට පත්වූ ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ අධ්‍යාපන කටයුතු කරමින් 1965දි විශ්වවිද්‍යාල උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරී නායකත්වය දරමින් කටයුතු කළහ. එදා උන්වහන්සේ ශිෂ්‍ය නායකයකු ලෙස ලබාගත් ඡන්ද ප්‍රමාණය තවමත් වාර්තාගතය.
හුණුපිටියේ ගංගාරාමය දුෂ්කර පන්සලක් ලෙස කරගෙන ගියත් දෙවුන්දර ශ්‍රී වාචිස්සර නායක හාමුදුරුවන්ගේ ඇස් නොපෙනී යාම නිසාත්, දෙවුන්දර රතනජෝති හාමුදුරුවන් අංශභාග රෝගයට ගොදුරුවීම නිසාත් වයස අවුරුදු 16දී පන්සලේ වගකීම ගලබොඩ ඤාණිස්සර හිමියන්ට පැවරිණි.
අධ්‍යාපනය ලබාදීම සඳහා ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේගේ මුදල් වියදම් කර වත්මන් විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් ඇතුළු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ විදේශයන්ට යවද්දී උන්වහන්සේ අතීතයේ විඳි දුක් ගැහැට පිළිබඳ ශිෂ්‍ය හිමිවරුන්ට පවසන්නට ද ‘පොඩි හාමුදුරුවෝ’ අමතක කළේ නැත. ඒ අතීතය සත්‍ය වශයෙන් දන්නා පැරණි දායකයෝ කොළඹ නගරයේත් මේ රෙට්ත් සිටිති. එසේ ගොඩනගපු විහාරස්ථානයේ අධිපතීත්වය, විහාරාධිපතීත්වය උන්වහන්සේ තම නම ජනප්‍රිය කර දැක්වීමට භාවිත කළේ නැත.
උන්වහන්සේ කරපු හැම වැඩක්ම සිදු කරනු ලැබුවේ හික්කඩුවේ නායක හාමුදුරුවන්ගේ, දෙවුන්දර ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවන්ගේ, දෙවුන්දර වාචිස්සර නායක හාමුදුරුවන්ගේ නමින්ය. ඒ අතර භික්ෂු අභ්‍යාස විද්‍යාලය, ජිනරතන කාර්මික විද්‍යාලය, ජිනාලංකාර මුද්‍රණාලය ආරම්භ කිරීම ආදිය සටහන් වී තිබේ. ගලබොඩ ඤාණිස්සර ස්වාමීන්වහන්සේ උජුපටිපන්න ගුණයෙන් හා අභීත බවින් යුක්ත වූහ.
ශ්‍රී ඤාණිස්සර පිරිවෙනේ ආරම්භය
ජාතික ආපදාවකදී, ජාතික සංහිඳියාවේදී උන්වහන්සේගේ දැක්ම හා මැදිහත්වීම නිසා සියලු ආගමිකයන්, සියලු ජාතිකයන් සමඟ එකට වැඩ කළහ. එබැවින් සියල්ලෝ එකලෙස උන්වහන්සේට ගරු කළහ. එයට සාක්ෂි ලෙස දැක්විය හැක්කේ අද ද ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සිංහල බෞද්ධයන්ට අමතරව අනෙකුත් ජාතීන් ද අපේ සමාජ සේවා කටයුතුවලට සම්බන්ධව විශාල කාර්ය භාරයක් ඉෂ්ට කිරීමයි.
උන්වහන්සේ ඤාණිස්සර පිරිවෙන ආරම්භ කර එහි පරිපාලන කටයුතු කරගෙන යමින් මුලින්ම එහි ශිෂ්‍ය සංඛ්‍යාව 130 – 135ත් දක්වා සංවර්ධනය කළේය. ලංකාවේ අදටත් ඓතිහාසික සම්භාවනීය වෙහෙර විහාරස්ථානවල හා අනිකුත් නිකායවල ස්වාමීන් වහන්සේ ඉගෙන කියාගත් පිරිවෙනක් ලෙස ශ්‍රී ඤාණිස්සර පිරිවෙන හැඳින්විය හැකිය. එම පිරිවෙනේ ත්‍රිපිටක ධර්මය, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ධර්ම ප්‍රචාරය කටයුතුවල නියුතු විශාල පිරිසකි. උන්වහන්සේ කළ සේවාව අපට නොපෙණුනද එය ලෝකය පුරා පැතිර තිබේ. විදේශ රටවල ධර්ම ප්රචාරයේ නියැළෙන හිමිවරුන් අතර ප්රමුඛ වූ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන්ගෙන් ලැබූ ආභාසය, සහයෝගය, ඇසුර හේතුවෙන් අනික් ස්වාමීන්වහන්සේට විදේශගත වී ධර්ම ප්‍රචාරය කිරීමට හැකියාව ලැබුණි.
සිසුන්ට ඇස් ඇරවීමට පාඨමාලා රැසක්
‘පොඩි හාමුදුරුවෝ’ මුල්වී මුල්ම ඉංග්‍රීසි පාඨමාලාව ගංගාරාමයේ ආරම්භ කර ඇත්තේ මීට වසර 46කට පමණ පෙර ය. දරුවන්ගේ ඇස් ඇරවීම සඳහා පවත්වාගෙන ගිය කාලීන භාෂා, කාර්මික හා තාක්ෂණික විෂයන්, ඉංග්‍රීසි ඩිප්ලෝමාව, භික්ෂූන් වහන්සේලාගේ ප්‍රාචීන විභාගය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම, බී.ඒ. උපාධිය සඳහා අවස්ථාව සැලසීම, දුර්ලභ පොත්පත් නැවත මුද්‍රණය කර බෙදා හැරීම ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේගේ සමාජ සේවා කටයුතු අතර විය. පිරිවෙන් ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා උන්වහන්සේ කටයුතු කළ අතර අනාථ නිවාස, වීථි දරුවන්ට නිවාස, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් සඳහා පුනරුත්ථාපන ආදී වූ කටයුතු තම ජීවිතයේ තරුණ කාලයේදීම කළ හැකි විය. එනිසා අපේ “පොඩි හාමුදුරුවෝ” හැමදෙනාගේ ප්‍රසාදයට ලක්විය. ජාති, ආගම් භේද, පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කළ බැවින් සියලු රාජ්‍ය නායකයන් පොඩි හාමුදුරුවන් වහන්සේ ඇගයීමට ද, උන්වහන්සේගෙන් අනුශාසනා ලැබීමට ද, උන්වහන්සේ කරන වැඩකටයුතු පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමට ද පෙලඹිණ.
රාජ්‍ය නායකයන්ටත් බය නැතිව උපදෙස්
කාර් හදන්නට, වඩු වැඩ කරන්නට, මහන්නට, වයරින් කරන්නට, විවිධ භාෂා ඥානය ලබා ගන්නට උන්වහන්සේ පිහිටවූ ජිනරතන කාර්මික විද්‍යාලය තරුණ පරපුරට විශාල පිටුබලයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශකයේ ස්වයං රැකියා 10,000ක් බිහි විය. සමහරු ඒ ආභාසයෙන් තම නමින් ව්‍යාපාරික ස්ථාන ද පිහිටුවිය. 1989 කැරල්ල පැවැති සමයේ තරුණ පිරිස ආරක්ෂා කිරීමට, ඔවුන් සුමගට ගැනීමට පොඩි හාමුදුරුවෝ කටයුතු කළහ.
කතරගම විශ්‍රාම ශාලාවක් ඉදිකරමින් ගඩොල් කර්මාන්තය, වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය ප්‍රදේශයේ ජනතාවට පුහුණු කරමින් ගම්මාන සකස් කර මිනිසුන්ගේ ජීවන උපාය සැකසීමට ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ වෙහෙසවී කටයුතු කළහ.
මාතර නූපේ ප්‍රදේශයේදී විවිධ අධ්‍යාපන පාඨමාලා ආරම්භ කර තරුණ ජීවිතයට සුබවාදී දැක්මක් හා යහපත් අනාගතයක් ගොඩනැඟීමට විහාරස්ථානය මඟින් කටයුතු කළේය.
පන්සල් ආශ්‍රිතව සිදු නොකෙරුනු කාර්යයක් වූ කෝට්ටේ මාදිවෙල සුහද ළමා නිවාසය, වැඩිහිටි නිවාසය ආරම්භ කළ අතර පෙර පාසල් 60ක් 70ක් පමණ රට පුරා බිහි කරමින් විශාල මෙහෙවරක් කරනු ලැබීය. විවිධ රජයන් බලයට පත්වෙද්දී අවවාද අනුශාසනා ලබාදී රටේ සාධනීය වැඩක් සිදුවේ නම් එයට දායකත්වය ලබාදුන්හ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට ජනසවිය පිළිබඳ අදහස ලබා දුන්නේ ද පොඩි හාමුදුරුවන් විසින් වන අතර එයට මුලින්ම එකතු කළ අරමුදල රට ගොඩනැඟීමේ අරමුදල ලෙස නම් කර තිබිණි.
කොළඹට මහ පෙරහරක ආරම්භය
පාසල් නිල ඇඳුම්, වෛද්‍ය ශිෂ්‍යයන්ට හා ගිණුම්කරණ විෂය හදාරන සිසුන්ට අවශ්‍ය පොත්පත් ආනයනයේදී බදු ඉවත්කිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ යෝජනා කරනු ලැබීය. ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ එම සියලු කටයුතු අදටත් පවත්වාගෙන යන අතර රටේ ජනතාව කෙරෙහිම ඒ සියල්ල බලපෑම් කරයි. නිවැරැදි නායකත්වය ලබාදීම ඒ කාර්යයන් සාර්ථක වීමට හේතුවී ඇත.
උන්වහන්සේ කොළඹ පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පරිත්‍යාගශීලීන්ගෙන් උදවු ලබාගෙන නවම් පෙරහර ආරම්භ කර මුළු කොළඹම මුළු රටම ලෝපතළ කරන්නට කටයුතු කළහ.
පොඩි හාමුදුරුවෝ අසාධාරණය, බොරුව, රැවටීම ඉදිරියේ අසිපතක් වැන්න. දන්නා නොදන්නා කවුරු කළත් එයට නිසි දේ එවෙලේම කිරීම උන්වහන්සේගේ සිරිත ය. පිටුවහල් කළ යුත්තාට පිටුවහල් කිරීමෙන් ද, සැර විය යුත්තාට සැරවීමෙන් ද, හොඳින් කිව යුත්තාට හොඳින් කීමෙන් ද හදා ගැනීමට පොඩි හාමුදුරුවෝ දක්ෂය. වරද වරදක් ලෙස පෙන්වා දීමේ දී උන්වහන්සේට නෑ හිතවත්කම් නැත. වරදක් නම් දන්නා නොදන්නා කාටවුව “එක හැන්දෙන් බෙදීම” පොඩි හාමුදුරුවන්ගේ ලක්ෂණයකි. එවැනි දඬුවම් ඉඳහිට අප දැක ඇත. නිවැරදි, සාධාරණය ඉදිරියේ උන්වහන්සේ ප්‍රියශීලී ය. ආගන්තුක සත්කාරයෙන් ඉහළ ය.
එම සුවිශේෂී චර්යා පැවැත්මම ගංගාරාම මහා විහාරයේ බැබළීමට, ප්රියංකරභාවයට හේතු වී ඇත්තේය. බුද්ධ පුත්‍රයකු හැටියට පොඩි හාමුදුරුවෝ පරාර්ථචර්යාව බෙහෙවින් ප්‍රිය කරන්නාහ. කතරගම විශ්‍රාම ශාලාව දැනට කතරගම ඇති ප්‍රධානම වන්දනා නැවතුම්පොළයි. දවසට 3000 කට අධික පරිසකට මෙහි නවාතැන් ගත හැකිය. එහි නවතින කිසිවකුට ඒ සඳහා මිලක් නියම කර නැත. තමන් භාවිත කළ පහසුකම් වෙනුවෙන් කැමති මුදලක් පින් කැටයට දමා එන්නට පුළුවන.
‘ගස් බැංකුවක්’ හැදුවා
ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය ‘පොඩි හාමුදුරුවන්ගේ’ නිර්මාණයකි. එය රටේ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් ද ඇතුළුව විශාල දරු පිරිසක් වෘත්තීය අධ්‍යාපනය ලබන ජාත්‍යන්තරව පිළිගත් ආයතනයකි. මුදල් අයකිරීමකින් තොරව මෝටර් කාර්මික, විදුලි ශිල්පය, වායු සමීකරණ ආදී පාඨමාලා රාශියක් එහි පුහුණු කෙරේ. එමගින් පුහුණුව ලැබූ දස දහස් ගණන් දරු පිරිසකගේ අනාගතය මල්පල ගැන්වුණේ අපේ පොඩි හාමුදුරුවන්ට පින්සිද්ධ වෙන්නට ය.
“ආරාම රෝපා වනරෝපා” යන බුදු වදනට සැබෑ අරුතක් දුන් හිමිනමක ලෙස ගංගාරාමයේ “පොඩි හාමුදුරුවෝ” අපට හැඳින්විය හැකිය. ගස් බැංකුව යන සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ උන්වහන්සේය. ස්වභාව ධර්මයට හා ගහකොළට ඉමහත් ආදරයක් දැක්වූ උන්වහන්සේගේ රුක් රෝපණ වැඩපිළිවෙළ යටතේ මැහෝගනී ගස් ලක්ෂ 5කට වඩා මෙන්ම කොස් ගස් ලක්ෂ ගණනක් සිටවූ බව පොඩි හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හිමිවරු පවසති. යුද සමයේ හා විවිධ ජාතික ස්වාභාවික ආපදාවලදී පොඩි හාමුදුරුවන්ගේ මෙහෙය වීමෙන් ආපදාවලට පත්වූ ජනතාවට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළ සංවිධානය කළහ. යුද සමයේ මායිම් ගම්මාන ලෙස සැලකූ දුෂ්කර සිංහල ගම්මානවලට වියළි ආහාර, කෘෂි ආම්පන්න, කැත්ත උදැල්ල ලබාදීමට කටයුතු කළ උන්වහන්සේ සටන්වැද සිටින හමුදා සෙබළුන්ගේ අවශ්‍යතා ගැන ද සොයා බැලීමට අමතක නොකළහ. එක් වරෙක නවම් පෙරහරට ලැබුණු මහජන ආධාර ලක්ෂ ගණනින් ජාතික ආරක්ෂක අරමුදලට බැර කළහ.
ආගමික සංහිඳියාව, දෙස බස රැස සුරැකීම, සාමණේර ස්වාමීන්වහන්සේට හා තරුණ පරපුරට තම ජීවිත ඉදිරි ගමන දියුණු කිරීම සඳහා විවිධ අයුරින් කටයුතු කිරීම වැනි සමාජ සේවා රැසක් සිදු කළ ගංගාරාමයේ “පොඩි හාමුදුරුවන්” වහන්සේගේ ඉදිරි ජීවිතය සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමු.
සේයාරූ :- කැලුම් ලියනගේ
සිළුමිණ