එකි­නෙකා පර­යන සිතුම් පැතුම් අපි ළඟ කව­දා­වත් තිබුණේ නැහැ – බණ්ඩාර ඇහැළි­ය­ගොඩ

“දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සැබෑ වුණ සුබ සිහිනයයි

සෙනෙහසින් කුල ගෙට පියනඟන්නේ

සනුහරේ අභිමානයයි…”

 

ප්‍රවීණ ගී පද රචක බණ්ඩාර ඇහැළියගොඩ එදා එසේ ලීවේය. ඒ ඔහුගේ සිතිවිලි පමණක්ම නොවේ. දෑසේ තියාගෙන අපමණ පරෙස්සමට දියණියන් සුරකින හැම තාත්තා කෙනෙකුගේම ආදරණීය සිතිවිලිය. ඒ ගීතය පතිකුලයට යන දියණිවරුන් සිටින පියවරුන්ගේ තේමා ගීතය තරමට හදවතට සමීප විය. ඒ ගීය ලියා වසර කිහිපයකට පසුව දැන් ඔහු මෙසේ ලියන්නේය.

“පුතුට දා වී ඉපදුණත්

දුවක කුස ඇතිදැඩි වුණත්

නුඹ මගේමයි පැටවුණේ

මහරු විසිතුරු දරුසෙනේ

ළය මඬල විනිවිද දැනේ …”

 

ආදරණීය මුදු වදනින් එලෙස අමතන්නේ තම මුනුපුරු මිනිබිරියන්ටය. ඒ සුන්දර පද සංකල්පනාව ළඟදී ම ගීතයක් වීමට නියමිතය. බණ්ඩාර ඇහැළියගොඩ නම් අසහාය ගී පද රචකයා සමඟ සොඳුරු පිළිසඳරකට මුල පිරුවේ ළඟදීම පටිගත වීමට නියමිත එම ගීතයේ වතගොත ද විමසමිනි.

“ මුනුපුරු මිනිබිරියන් ගැන සීයා කෙනෙක්ගේ හදවතේ ඇතිවන ආදරය ගැන කියවෙන මේ ගීතය ලියූ මමත් සීයා කෙනෙක්. ගීතය සංගීතවත් කළ රෝහණ වීරසිංහත් සීයා කෙනෙක්. ගීතය ගයන ටී. එම්. ජයරත්නත් සීයා කෙනෙක්. ”

බණ්‌ඩාර ඇහැළියගොඩ කියන්නේ හැඟීම්බරවය. ඔහුගේ ගී පද රචනාවල ඇති විශේෂත්වය ඔහු සිය නිර්මාණ තුළින් රසිකයාගේ හදවතටත් මනසටත් ඇමතීමය. ඔහුගේ සිතිවිලිවලට සීමාවක් නැත. විටෙක ඔහු ලියන්නේ ප්‍රේමය, විරහව ගැන ය. තවත් වරෙක සිය නිර්මාණ තුළින් මනසේ මකුළු දැල් කඩා, දූවිලි පිස දමා නැවුම් මාවතක් කරා සහෘදයා කැටිව යයි. ගී පද රචකයකු ලෙස රටේ නමක් දිනූ දශක හතරකට ආසන්න සෞන්දර්යාත්මක චාරිකාව ඔහු සිහිපත් කරන්නේ සොම්නසිනි.

“මම ඉපදුණේ ඇහැළියගොඩට ආසන්න එල්ලාවල, පරණගම කියන ඉතාම සුන්දර පිටිසර ගම්මානයේ. එහෙත් එය කුඹුරු, තේ, රබර්, පොල් විතරක් නෙවෙයි මැණික් සම්පත පවා තිබුණු ගමක්. විශාල වෙල්යායක්, ඇළදොළ, සතා සිවුපාවන්ගෙන්, ගහකොළෙන් සුන්දර වූ ඒ ගම නිසා මගේ ළමා වියට සුන්දර මතක රැසක් එකතු වුණා. මගේ පියා ගොවියෙක්. මගේ පවුලේ දරුවෝ හත් දෙනෙක්. අම්මයි තාත්තයි එක්ක නව දෙනෙක්. පුංචි කාලේ ඉඳලම අපි තාත්තට කුඹුරු වැඩවලට උදවු වුණා. ගොයම් පැළ හිටවීමේ සිට අස්වනු නෙළීම දක්වා කුඩා අපිටත් හොඳ අත්දැකීමක් තිබුණා. කෙටියෙන් කියනවා නම් අද කාලේ දරුවන්ට විඳින්නට නැති බොහෝ දෙවල්වලින් අපේ ළමා කාලය සුන්දර වුණා.

අපේ ගෙදර නිතරම සෙනඟක් ගැවසුණු තැනක්. හැමදාම රෑට අයියලාගේ යාළුවෝ ඇවිත් කාඩ් සෙල්ලම් කරනවා. පංච කෙළිනවා. දාම් අදිනවා. ඒ වගේම ගමේ පන්සලේ නිතර කවි මඬු පැවැත්වුණා. ගමේ ප්‍රජා ශාලාවේ විවිධ සල්පිල් තිබුණා. ඒවාට රටේ ප්‍රසිද්ධ කවියෝ ඇවිත් කවි කියනවා. ඒවා නිසා පුංචි කාලේ ඉඳලම මගේ හිත කවියට ඇදිලා ගියා. ඊට අමතරව මගේ තාත්තගේ අයියා ඉතා ප්‍රසිද්ධ නැට්ටුවෙක්. ඔහු යටතේ මම අවුරුදු කිහිපයක් නර්තනයත් ඉගෙන ගත්තා. ඒ හැමදේකින්ම මගේ කලා ජීවිතය පෝෂණය වුණා. ඒ කාලේ දෙමවුපියෝ දරුවන් ලොකු ලොකු හීන පස්සේ යැව්වේ නැහැ. අද කාලේ වගේ රැකියා හොයාගෙන ගමෙන් නගරයට එන සංස්කෘතියක් එදා අපේ ගමේ තිබුණේ නැහැ. දරුවෙක් ඉගෙන ගෙන වැඩිම වුණොත් පාසල් ගුරුවරයෙක්, ලිපිකරුවෙක් වෙනවා මිසක් දොස්තර, ඉංජිනේරු හීන අපේ කාලයේ තිබුණේ නැහැ. මම මුලින්ම පාසල් ගියේ පරණගම ගමේ පාසලට. උසස්පෙළ කළේ ඇහැළිගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන්. එතැනින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. පාසල් කාලේ ඉඳන් කවි ලිව්වා. කවි කිව්වා. විශ්වවිද්‍යාලයේදී නාට්‍යවලට වැඩිපුර සම්බන්ධ වුණා.”

981 වසරේදී බැංකු නිලධාරියකු ලෙස පළමු රැකියාව සඳහා කොළඹට පැමිණෙන බණ්ඩාර ඇහැළියගොඩ තරුණයාගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳ අදටත් සිහිකරන්නේ බොහෝ කෘතවේදීවය.

“ධර්මසිරි ගමගේ කියන ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ හමුවීම මගේ කලා ජීවිතයට විශාල ආශිර්වාදයක් වුණා. ලේක්හවුස් ආයතනයෙන් පළ කළ යොවුන් ජනතා පුවත්පත තුළින් ඔහු ආධුනිකයන්ට විශාල වශයෙන් අතහිත දුන්නා. ලංකාව පුරා විසිරී සිටි 500ක් පමණ ආධුනිකයන් එක්තැනකට රැස්කරලා යොවුන් ජනතා පුවත්පත තුළින් ලේඛක සංවිධානයක් ඇති කළා. එය තමයි පසුකාලීනව පහන්වැට නිර්මාණ කේන්ද්‍රය ලෙස අද දක්වා පවතින්නේ. ලේක්හවුස් එකේ පියගැටපෙළ දිගේ බර අඩි තබමින් කලා ලෝකයට අප කැඳවාගෙන ආ ධර්මසිරි ගමගේ සූරීන්ගේ පහන් වැට සමඟ අප දුර ගමනක් ආවා. පුවත්පත්වලට ලිපි ලිව්වා. වැඩමුළු සංවිධානය කළා. ඒ අතර මම ගීත රචනාවට අවතීර්ණ වුණා.

 

බණ්ඩාර ඇහැළියගොඩ යොවුන් වියේදී මව සහ සොහොයුරකු සමඟ

බණ්ඩාර ඇහැළියගොඩ විසින් රචිත ජනප්‍රියත්වයට පත් පළමු ගීය වන්නේ 1983 වසරේදී ලියූ ‘තිරය ඇරෙනවා තිරය වැසෙනවා’ ගීතයයි. එහෙත් ඊට පාදක වූ සිදුවීම තම පාසල් අවධිය දක්වා ඈතට දිවෙන්නක් බව ඔහු කීවේය.

“මම ඇහැළියගොඩ පාසලේ ඉගෙනුම ලබමින් හිටි කාලයේ විද්‍යාලයට ආධාර පිණිස විශාල ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ සඳහා කොළඹ කාන්තා විද්‍යාලයෙන් පැමිණි සිසුවියන් පිරිසක් නර්තනයක් කළා බතේ උපත කියලා. ඒ දිහා බලාගෙන ඉද්දි මට හිතුණේ කුඹුරු වැඩ එක්කම ජීවිතේ ගෙවන ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි හොඳටම දන්න අපි වේදිකාව පහළට වෙලා බලාගෙන ඉද්දි කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දෑක­ැත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටන එක හරිද? අපි නෙවෙයිද එතන ඉන්න ඕනේ?’ කියලයි. 1974දී මම ලැබූ ඒ අත්දැකීම තමයි 1983 දී ගීතයක් බවට පත්වුණේ”

එතැන් සිට ගී පද රචකයකු ලෙස ඔහුගේ ගමන ස්ථාවර විය. මේ වන විට ආචාර්ය අමරදේවයන්ගේ සිට නව පරපුරේ ගායන ශිල්පීන් ඇතුළු මෙරට බොහෝ ගායන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් ලියා ඇති ගීත සංඛ්‍යාව කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. රාජ්‍ය සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ බණ්ඩාර ඇහැළියගොඩයන්ගේ කවිකම්ද බොහෝ සුන්දරය. කාව්‍ය සංග්‍රහ, චරිත කතා ඇතුළු කෘති රැසක් පළකර ඇති ඔහු ගීත රචනා කැසට් පට සහ ඩී.වී.ඩී පට ද නිර්මාණ ලෙස රසිකයන්ට දායාද කර ඇත.

“බොහෝ දෙනා මේ කාලයේ ගීත රචනාව අතහැරලා තිබෙනවා. නමුත් එසේ අතහැරීම යුතු නැහැ කියලා මම තරයේම විශ්වාස කරනවා. ඒ නිසා ඉඩක් ලැබෙන හැම අවස්ථාවකදීම මම ලියනවා. ඉස්සර අපිට ගීත රචනා ලියන්න ඕන තරම් ආයතන සහ අවස්ථාව තිබුණා. ඒත් වත්මන් පරපුරට එවැනි අවස්ථා නැතිවීම ගැන විශාල වේදනාවක් මා තුළ තිබෙනවා. අද අපිම ගීත ලියලා, ගීත හදලා ගායකයෙක් ලවා ගායනා කරවලා එය ගුවන්විදුලි නාළිකාවක විකාශනය කරගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒත් මම ලිවීම අතහැරලා නැහැ. මේ වෙද්දිත් මා ලියූ ගීත කිහිපයක් පටිගත කිරීමේ සූදානමක් තිබෙනවා. ගීත ලියද්දි මම තේමාව මොකක්ද කියන්නේ කවුද කියලා හිතන්නේ නැහැ. ගීත කියන්න පුළුවන් නම් මට ලියන්න පුළුවන්”

බණ්ඩාර ඇහැළියගොඩ පවසන්නේ අව්‍යාජ සිනහවකිනි. ආදරණීය ප්‍රේම ගී රැසක ගේය පද හිමිකරුවා වන ඔහුගේ ජීවිතය ප්‍රේමයෙන් පිරවූ ඇය තිලකා මහානාමය.

 

බණ්ඩාර ඇහැළියගොඩ බිරිය තිලකා, දූ දරුවන් සහ මුනුපුරු මිනිිබිරියන් සමඟ

“අපි විවාහ වුණේ 1983දී. කුලී ගෙදරකින් බොහොම සුළුවෙන් අපි ජීවිතය පටන් ගත්තේ. එකිනෙකා පරයන සිතුම් පැතුම් අපි තුළ කවදාවත් තිබුණේ නැහැ. ඒ නිසා ජීවිත ගමන පහසු වුණා. පසුකාලයක තමයි අපි අපේම කියලා ගෙයක් හදාගත්තේ. අමාලි, භාග්‍යා සහ අකලංක අපේ දූ පුතුන් තිදෙනාම දැන් විවාහකයි. ඔවුන්ගෙන් අපිට මුනුපුරු මිනිබිරියන් හයදෙනෙක් ඉන්නවා. බිරියගේත් දරුවන්ගේත් මුනුපුරු මිනිබිරියන්ගේත් සෙනෙහස විඳිමින් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කරනවා. ”

ඒ වදන්වල දෝරගලා යන්නේ ජීවිතයේ පරම තෘප්තිය, සැනසුම අත්විඳින හදවතක අසිරියයි. වත්මන් සමාජයේ ජීවත් වන බොහෝ දෙනකුට ඒ සැනසීම අහිමි වී ඇත්තේ ඇයිදැයි මම ඔහු විමසීමි.

“හේතු ගොඩක් තියෙනවා. මම හිතන්නේ 1977 දී ආර්ථිකය විවෘත වීමත් එක්ක රටට ගැළපෙන දේවල්වලට වඩා ආවේ නොගැළපෙන දේවල්. අනවශ්‍ය මාධ්‍ය භාවිතය අද දරුවන් සහ මවුපියන්ගේ බැඳීම් දුරස් කරලා. ඉස්සර වගේ මවුපියන්ට දරුවන් එක්කම ඉන්න ඉඩක් නැහැ. නමුත් ඒ දේවල් කළමනාකරණය කරගෙන බොහොම පරෙස්සමින් ජීවිතය ගත කළ යුතුයි. නිදහස අයුතු විදිහට පාවිච්චි කිරීමත් බොහෝ ප්‍රශ්නවලට හේතුවක්. ”

බණ්ඩාර ඇහැළියගොඩ එසේ කියද්දී මට සිහිවූයේ ඔහුගේ සිතේ ඉපදී විශාරද නන්දා මාලිනියගේ භාවමය හඬින් ගැයෙන මනරම් ගී පද සංකල්පනාවකි.

“ජීවිතේ කවියක්..

ආදරේ..සොඳුරුතම වදනක්..

කඳුළැලි බිඳක් – හසරැලි පොදක්..

එකට එක්වූ විට දැනෙයි…

පෙර නොවිදි රසයක්..

සෙනෙහසින් රැදී උන් එක දන..

පලා යයි නොකියාම ඈතක..

පවුරු පදනම් බිදී දස අත

විසිර යන යාමේ..

කවුරු නම් ළංවේද තනියට..”

එසේ කීවද ඒ හිතට නම් තනියක් නැත. ඔහු ජීවිතය පිළිබඳ ආවර්ජනය කරන්නේ තෘප්තිකර හදවතිනි.

“ආපහු හැරිලා බලනකොට පසුතැවෙන්න කම්පා වෙන්න දේවල් ජීවිතේ සිදුවෙලා නැහැ. මම හිතන්නේ ඒකට හේතු වුණේ අපේ මවුපියන්ගෙන් ලැබුණු ආභාසය. ඒ නිසාම අපිට ජීවිතේ වරදින්න ඉඩක් තිබුණේ නැහැ. මගේ ජීවිතේ විතරක් සැපවත් කරගැනීමේ අදහසක් මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අපි හැම කෙනෙකුටම මේ රට වෙනුවෙන් වගකීමක් තිබෙනවා. අපට උගන්වන්න, සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න මේ රටේ හැම අම්මා තාත්තා කෙනෙක්ම මුදල් වියදම් කරලා තියෙනවා. ඒ නිසා අපටත් ගම, රට වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් තිබෙනවා. හැමෝම එහෙම හිතනවා නම් උද්ඝෝෂණ, වර්ජනවලට යන්න හිතන්නේ නැහැ. ඊට හේතුව ආකල්පමය පසුබැස්මයි.”

සුරේඛා නිල්මිණි
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top