සියලුම පාපවලට මුල උඩඟුව බවත්, එම පාපය නැතිකරන ක්‍රියාදාමය සිදු වන්නේ, නිහතමානීකම, ආදරය යන පැහැපත්කම තුළින් බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති. නත්තල් උදාව වෙනුවෙන් කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දී පැවති විශේෂ නත්තල් දේව මෙහෙයේ දී උන්වහන්සේ මේ බව පැවසූහ.
“ජීවිතයේ මාර්ගය යනු තමන් පරිත්‍යාග වී අනුන් රැකගැනීමේ මාර්ගය යි. ක්‍රිස්තු ධර්මයෙන් සියලු දෙනාට උගන්වන්නේ එය වේ. තමන්ට වඩා අනුන්ට ප්‍රේම කිරීමට මෙන්ම අනුන් වෙනුවෙන් කැපවීමටයි” යැයි උන්වහන්සේ සඳහන් කරති.
සර්ව බලධාරි, සියල්ල මවා වදාළ, ඉතාමත්ම බලගතු, දෙවියන් වහන්සේ, ගව මඩුවක ඉපදෙන්නේ, එම පණිවිඩය අපිට කියාදීමට, පෙන්නුම් කිරීමට බව උන්වහන්සේ පැහැදිලි කළහ.
“අද අපේ මනුෂ්‍ය සමාජයේ විශාල පිරීහීමක් තිබේ. ඒ පිරිහීම ඇති වී තිබෙන්නේ හික්මීමක් නොමැතිකම නිසා ය. ඊට පදනම වී තිබෙන්නේ ආත්මාර්ථකාමීත්වය යි. තමන් ගැන පමණක් සිතන, තමන්ගේ අවශ්‍යතා ගැන පමණක් කල්පනා කරන සමාජයක් බිහි වී තිබෙන්නේ ආත්මාර්ථකාමිත්වය නිසා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.
“එහි ප්‍රතිඵලය පාපය, කෑදරකම සහ තණ්හාව වේ. අද තිබී හෙට නැති වී යන කෙළවරක් නැති සම්පත්වලින් ජීවිත පුරවා ගැනීමට ඇති කෙළවරක් නැති ආශාව වේ. ලෞකික දේවල්වලට තිබෙන ආශාව නිසා අද මිනිසුන් බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිතය විනාශ කරගෙන තිබේ. ජීවිතය අර්ථශූන්‍ය කරගෙන තිබේ. එවැනි පරිසරයක අද අපි ජීවත්වන්නෙමු. අද වන විට මුලු පරිසරයම දූෂණය කර මනුෂ්‍යත්වයේ සංස්කෘතියක් නොව විනාශයේ සංස්කෘතියක් බිහි කරගෙන තිබේ.” යැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.
“ධන කාමය, බල කාමය නිසා මිනිසුන්ව පාගාගෙන ජීවත්වීමට ඇතැමුන් උත්සහ කරති. අද ලෝකයේ ධනය තිබෙන්නේ කීප දෙනෙකු සන්තකයේය. බොහෝ දෙනෙකු දිලින්දන් බවට පත් වී ඇත. එදිනෙදා ජීවිතය ජීවත් වීමට නොහැකිව, අරගලයක යෙදෙමින් බොහෝ දෙනෙකු ජීවත්වන තත්ත්වයට පත් වී තිබේ.”
“සමාජය තුළ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ට ආදරය කිරීමට අද අපට අවශ්‍යව තිබෙන්නේ අධ්‍යාත්මික පැවැත්මක්, අධ්‍යාත්මික අවංකභාවයක්, අධ්‍යාත්මික නිහතමානීකමකි. ගව ලෙනක උපන් ජේසු බිලිඳා අපට පෙන්වා දෙන්නේ ආදරය කිරීමටයි. උන්වහන්සේ ආදරය වෙනුවෙන් පෙනී සිට ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කිරීමටයි පැමිණියේ. ඒ නිසා සියලු දෙනාටම පැවසීමට ඇත්තේ ආදරයෙන් ජීවත් වන ලෙසයි. ආදරයෙන් ජීවත්වීමට නම් අපි නිහතමානි විය යුතුයි. අපේ ජීවිතය තුළ අපිට වඩා අන්‍යයන් වැදගත් යැයි සිතීමට අපි පුරුදු විය යුතුය” යැයිද උන්හන්සේ පෙන්වා දුන්හ.